Pages

Tuesday, January 21, 2014

අතිපූජ්‍ය වැලිගම ඤාණරතන මාහිමියන්යන්ගේ අපවත්වීම - ජනපති, විපක්ෂ නායකද ඇතුළුව දසතින් සොව පළවේ

සම්මා සම්බුදු සසුනට  සිදුවූ බලවත් පාඩුවක්‌ - ජනපති

පුරා අසූනව වසරක්‌ම අමිල ශාස්‌ත්‍රීය දායාදයන් රැසක්‌ දැහිතකාමීත්වයෙන් පූජා කළා වූ මහානායක හිමිපාණන් වහන්සේ නමකගේ අපවත්වීම සම්මා සම්බුදු සසුනට සිදුවූ බලවත් පාඩුවක්‌ යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශෝක පණිවුඩයක්‌ නිකුත් කරමින් කියා සිටී.

අමරපුර ශ්‍රී ධර්ම රක්‍ෂිත මහා නිකායේ මහා නායක රාජකීය පණ්‌ඩිත විනය විශාරද ධර්ම කීර්ති ශ්‍රී සුමංගල විද්‍යාවතංශ අග්ගමහා පණ්‌ඩිත රත්මලාන මල්ලිකාරාමාධිපති ආචාර්ය අති ගෞරවාර්හ වැලිගම ඤාණරතන හිමිපාණන් වහන්සේගේ අපවත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිකුත් කළ ශෝක පණිවුඩයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ මහානායක, රත්මලාන මල්ලිකාරාමාධිපති රාජකීය පණ්‌ඩිත විනය විශාරද ධර්ම කීර්ති ශ්‍රී සුමංගල විද්‍යාවතංස අග්ගමහා පණ්‌ඩිත ආචාර්ය අතිගෞරවාර්භ වැලිගම ඤාණරතන මහානායක ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අපවත්වීම ඇසීමෙන් මම බලවත් සංවේගයට පත්වීමි.

අභිමානවත් දේශයේ දකුණුලක මාතර වැලිගම නම් වූ ගම් පියසේදී වර්ෂ 1913 ඔක්‌තෝබර් මස 14 වැනි දින ජන්ම ලාභය ලැබූ අප මහානාහිමිපාණන් වහන්සේ තමන් වහන්සේගේ දිවියට දොළොස්‌ වසරක්‌ සපිරෙත්ම අහංගම එළුකැටිය ශ්‍රී බිම්බාරාමයේදී වැලිගම ඤාණරතන නමින් පැවිදි දිවියට පිවිසුනාහ.

එතැන් පටන් අප මහානායක මාහිමිපාණන් වහන්සේ උතුම් ආර්ය මහා සඟ සසුනේ හර පද්ධතීන් මැනැවින් අවබෝධ කරගන්නට මහත් වෙහෙසක්‌ ගත්තා සේම විද්‍යෝදය පිරිවෙනෙන් විසල් දහම් දැනුම් සම්භාරයක්‌ ලබන්නටත් ඇප කැප වූයේ ස්‌වනිකායත්‍රයත්, ගිහි පැවිදි සමාජයත්, රටත් දහමින් ගුණෝපලක්‍ෂිත කිරීමේ උත්තම ෙච්තනාව සාක්‍ෂාත් කර ගැනීම උදෙසාමය.

වර්ෂ 1933 දී උපසපන් භික්‍ෂූත්වයට පිවිසි ඤාණරතන මහානායක ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේ පසු කලෙක මල්ලිකාරාමස්‌ථ ධර්ම රක්‍ෂිත ත්‍රිපිටක ධර්මායතනයත්, ගාල්ල, තල්පේ නිග්‍රෝධාරාමස්‌ථ සිරි ඤාණරතන මහ පිරිවෙනත් ආරම්භ කරන්නට මූලික වූයේ සඟ පරපුරේ හසල බුද්ධිමතුන් රැසක්‌ මේ උතුම් දහම් දිවයිනට දායාද කිරීමේ පරම පූජනීය පවිත්‍ර අභිලාෂයෙනි.

සුවාසු දහසක්‌ වූ ශ්‍රී සද්ධර්මස්‌කන්ධයේ මතු පැවැත්මත් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්‌ථිතියත් පතා පැවැති හය වැනි ධර්ම සංගායනාව සඳහා ලක්‌ මාතාව නියෝජනය කරමින් එදා බුරුමයට වැඩම කළ නායක ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේලා අතරින් සුජීවත්ව මෙතෙක්‌ කලක්‌ වැඩ වාසය කළ එකම බහුශ්‍රැත පඬිරුවන වූයේ ද අපේ ඤාණරතන මහානායක ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේය.

'යම්හි සච්චං ව ධම්මො ව අහිංසා සඤ්ඤමො දමො

සවෙ වන්තමලො ධිරො ථෙරො ඉති පවුච්චති'

යනුවෙන් අප ශාන්ති නායක අමාමෑණි ලොව්තුරා සම්බුදුරජාණන් වහන්සේ විසින් එදා අනුදැන වදාළන්නට යෙදුන පරිද්දෙන් උතුම් චතුරාර්ය සත්‍යයත්, නවලෝකෝත්තර ධර්මයත්, අහිංසාවත්, තැන්පත් කමත්, ඉන්ද්‍රිය දමනයත් මෙන්ම කෙලෙසුන් පහ කර දමා ආර්ය මහා සංඝරත්නයට දැහැමි දිවි මග පසක්‌ කළා වූ අසිරිමත් විද්වතාණන් වහන්සේ නමක්‌ වශයෙන් ඤාණරතන මහානායක ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේ හැඳින්වීම බෙහෙවින් කාලෝචිතය.

බුදුදහම ව්‍යාප්ත කිරීමට දිවි හිමියෙන් කටයුතු කළා - ම එ පෙ

අපවත්වී වදාළ අග්ගමහා පණ්‌ඩිත වැලිගම ශ්‍රී ඤාණරතන මහ නාහිමියන් සසුන්කෙත අස්‌වද්දන්නට ලබාදුන් පෝෂණය ලක්‌ පොළොව මත පමණක්‌ නොව සමස්‌ථ ධරණිතලයම පුරා සංසරණය වනු ඇති බව මහජන එක්‌සත් පෙරමුණ උන්වහන්සේගේ අපවත්වීම පිළිබඳ ශෝක පණිවිඩයක්‌ නිකුත් කරමින් කියා සිටී.

එම පක්‍ෂයේ ප්‍රධාන ලේකම් කථිකාචාර්ය කරුණාතිලක දිසානායක මහතාගේ අත්සණින් යුතුව නිකුත් කළ එම සම්පූර්ණ ශෝක පණිවිඩය පහත දැක්‌වේ.

දැයක්‌ එකළු කළ සංඝ පීතෘවරයෙකු වූ අග්ගමහා පණ්‌ඩිත වැලිගම ශ්‍රී ඤාණරත්න මහ නාහිමියන්ගේ අපවත්වීම පිළිබඳව මහජන එක්‌සත් පෙරමුණේ නායක ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රධාන අප පක්‍ෂය බලවත් සංවේගයට පත්ව සිටිමු.

ප්‍රෞඩ සංස්‌කෘතිය නිසාවෙන් මේ කුඩා දේශයත් ජනතාවත් ජාත්‍යන්තර කීර්තියට හා ගෞරවාදරයට පත්ව තිබෙන බව නොරහසකි. එයට ප්‍රධාන ලෙසම හේතුවන්නේ එදා සිටම මේ දිවීපයේ ජනතාව මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ශ්‍රී ලංකාද්වීපයට ලැබුණු ශ්‍රේෂ්ඨ ධර්මදායාදය මගින් හික්‌මවනු ලැබූ පිරිසක්‌ වීම හා අපේ සංස්‌කෘතිය, බුද්ධ ධර්මය මගින් පෝෂණය කරනු ලැබුවක්‌ වීමත්ය. එවක්‌ පටන් නිර්මළ බුදු දහම සුරැකී මහා පවුර ගරුතර මහා සඟරුවන විය. එවන් වූ ශ්‍රී ලාංකික භික්‍ෂු වංශයේ ඉතිහාසය දෙස්‌ විදෙස්‌ පතලය. ලක්‌වැසියා දිවිහිමියෙන් සුරැකි බුදුදහම ලොව පුරා ව්‍යාප්තකරන්නට එවක්‌ පටන් මේ දක්‌වා කැපවූ යතිවරුන් බොහෝය. අග්ගමහා පණ්‌ඩිත වැලිගම ශ්‍රී ඤාණරත්න මහ නාහිමියන් වහන්සේද එවන් මෙහෙවරක නිරතවූ යතිවරයෙකි. උන්වහන්සේ සිංහල භික්‍ෂු පරපුර වර්ධනය කිරීමට කුළ දරුවන් රැසක්‌ සසුන් බිමට එක්‌කරමින් ශ්‍රී ලංකාවේ නොයෙක්‌ ප්‍රදේශවල විහාරාරාම ඇති කිරීමට විසල් මෙහෙවරක නිරත වූහ. එහි ප්‍රතිඵලයක්‌ ලෙස විවිධ පුදබිම්, දෙස්‌ විදෙස්‌ පතල භික්‍ෂු පරපුරක්‌ ජාතියේ වන්දනාවට පත්කිරීමට කටයුතු කළහ.

ශාසනික හා සමාජ සේවය අතිමහත් - විපක්‍ෂ නායක

අමරපුර ධර්මරක්‌ෂිත මහා නිකායේ මහානායක අතිපූජ්‍ය වැලිගම ඤාණරතන හිමිපාණන් වහන්සේ සිදු කළ ශාසනික හා සමාජ සේවය අතිමහත් යෑයි උන්වහන්සේගේ අපවත්වීම සම්බන්ධයෙන් ශෝක පණිවුඩයක්‌ නිකුත් කරමින් විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී.

එම ශෝක පණිවුඩයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

අමරපුර ධර්මරක්‍ෂිත මහා නිකායේ මහානායක ධූර්ණ ප්‍රවචන විශාරද සාහිත්‍යශූරී පරම පූජනීය වැලිගම ඤාණරතන මහානායක ස්‌වාමින්ද්‍රයාණන් වහන්සේ අපවත්වූ පුවත සැලවීමෙන් සංවේගයට පත්වීමි.

වත්මන් යති සසුනෙහි වැඩ වාසය කළ ධර්මධරයාණන් වහන්සේ නමක මෙන්ම ඤානශීල, තපෝ ගුණැති මහතෙරනමක්‌ සේද සම්භාවනාවට පාත්‍ර පරම පූජනීය වැලිගම ඤාණරතන මහානායක ස්‌වාමින්ද්‍රයාණන් වහන්සේ රට දැය පොබකළ මහානායක හිමිපාණන් වහන්සේ නමක සේ හැඳින්විය හැකිය. අපවත්වී වදාළ පරම පූජනීය පැලෑනේ ශ්‍රී වජිරඥන මහානායක හිමිපාණන්ගේ ශිෂ්‍ය පරම්පරාවෙන් සසුන් දිවි සිරිත ප්‍ර්‍රභාමත් කළ අප මහානායක හිමිපාණන් වහන්සේ මෙරට වැඩ වාසය කළ උත්තම ගණයේ පැවිදි පඬිරුවනක්‌ ද වේ.

හෙළ බස, බොදු සංස්‌කෘතිය, ඉතිහාසය, පුරාවිද්‍යාව වියරණය මෙන්ම ජ්‍යෙතිෂ්‍යදවේය, ආයුර්වේදය ආදී නන් විද විෂයයන් පිළිබඳව ප්‍රාමාණික වියත් බවකින් ගුණැති වූ මහානායක ස්‌වාමින්ද්‍රයාණන් වහන්සේ මෙකී විවිධ විෂයන් පිළිබඳව ලියා පළ කර ඇති කෘති ශාස්‌ත්‍රීය විද්වතුන්ගේ නොමඳ අවධානයට බඳුන්ව ඇත්තේය. ත්‍රිපිටකය පිළිබඳ ගැඹුරු අවබෝධයකින් යුතු උන්වහන්සේ විශේෂයෙන්ම විනය සාහිත්‍ය පිළිබඳ විරල ගණයේ විශාරදයකු වශයෙන්ද ප්‍රසිද්ධය. 1950 දශකයේදී අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රය මහනාහිමිපාණන් විසින්, ලක්‌දිව ධර්ම දේශකයන් වහන්සේලා අතර, විශිෂ්ටතමයා ලෙස අභිෂේක කරන ලද්දේද අප මහානායක හිමිපාණන් වහන්සේය.

සිදුකළ ජාතික හා ජාත්‍යන්තර සේවය අපමණය - ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන

අපවත්වී වදාළ රත්මලාන මල්ලිකාරාමාධිපති රාජකීය පණ්‌ඩිත විනය විශාරද අග්ගමහා පණ්‌ඩිත ආචාර්ය වැලිගම ඤාණරතන මහා නාහිමියෝ වසර 89 ක ශාසනික ජීවිතය තුළ සිදුකළ ජාතික හා ජාත්‍යන්තර සේවය අපමණ යෑයි ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ශෝක පණිවුඩයක්‌ නිකුත් කරමින් කියා සිටී.

එම ශෝක පණිවුඩයේ මෙසේද සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස අතර මූලික ස්‌ථානය දරන්නාවූ පිරිස භික්‍ෂූන් වහන්සේ වන්නේය. භික්‍ෂූන් වහන්සේ වූ කලී ශාස්‌තෘන් වහන්සේගේ ඉගැන්වීමෙහි ක්‍රියාත්මක අංශය නිරූපණය කරන ජීවමාන නිදර්ශනය වේ. මෙම භික්‍ෂූන් වහන්සේ අතරට කලකට වරක්‌ ඉතා විරල ධර්මධර විනයධර සුවිශේෂී වූ භික්‍ෂූන් වහන්සේලා පහළ වන්නේය.

මීට වසර එකසිය එකකට පෙර මෙලොව එළිය ලබා ඇති විශාල ශාසනික හා සමාජීය සේවාවක්‌ ඉටුකළ අතිපූජ්‍ය වැලිගම ඤාණරතන මහානායක නාහිමි කලකට පහළ වන යතිවරයන් වහන්සේ නමකි.

මහනායක හිමියන් ශාස්‌ත්‍රීය ධර්ම ග්‍රන්ථ 64 ක්‌ පමණ රචනා කර ඇත. මීට අමතරව භික්‍ෂු චරිතාපදානයෝ පහලොවකට අධික ප්‍රමාණයක්‌ රචනා කළේය. එසේම පුවත්පත් සඳහා සිය ගණන් ලිපි පළකර ඇති වැලිගම ඥාණරතන මහනායක නාහිමි සමාජයේ අවිඳු අඳුරු දුරු කරමින් ජනතාවට නිවන අවබෝධ වනු පිණිස විශාල ධර්මප්‍රචාර වැඩ සටහන් රැසක්‌ ක්‍රියාත්මක කළහ.

http://www.divaina.com/2014/01/21/news33.html

ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදන මණ්‌ඩලයේ සංවේගය

ලක්‌දිව ධර්ම - විනයධර බහුශ්‍රැත පැවිදි පඬි රුවනක්‌ ලෙස සම්බුද්ධශාසනයත් ප්‍රාචීන භාෂා ශාස්‌ත්‍රාදියත් උද්දීප්තියට පත් කරමින් අගනා ලෝ - සසුන් මෙහෙවරක්‌ සිදු කළ, අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ මහානායක ධුරය හෙබැවූ අග්ගමහාපණ්‌ඩිත අතිපූජ්‍ය වැලිගම ඤාණරතන මහානායක මාහිමියන් වහන්සේගේ අපවත් වීම පිළිබඳව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සංක්‍ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්‌ඩලයේ දැඩිතර සංවේගය මෙසේ පළ කර සිටිමු.

1993 වසරෙහි දී ආරම්භ කරන ලද අප සංක්‍ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්‌ඩලයේ ආරම්භයේ සිට 2011 වසර දක්‌වා වසර 18 ක්‌ සභාපති ධුරය හොබවන ලද්දාහු අතිපූජ්‍ය වැලිගම මහානායක මාහිමිපාණන් වහන්සේය. ත්‍රිපිටක පරිවර්තන කාර්යයේ චාතූර්යය පමණක්‌ නොව, ත්‍රිපිටක ධර්මය හා එහි අටුවා, ටීකා පිළිබඳව උන් වහන්සේ තුළ වූ ගැඹුරු දැනුම පුදුම එළවන සුලු විය. ධර්මාර්ථ හා භාෂාත්මක විවිධ ගැටලු සාකච්ඡා කැරෙන විටෙක එහි අවසාන නිරවුල් නිගමනය ලබා දුන්නාහු අප මහනාහිමිපාණන් වහන්සේය. එම කාර්යය පිළිබඳව උන් වහන්සේ තුළ වූ කැපවීම හා ලැදියාව සැම දෙනටම දිරිය ලබා දෙන්නක්‌ විය.

සැබැවින්ම මහ නාහිමිපාණන් වහන්සේ ඥාන රත්නයකි. ධර්ම භාණ්‌ඩාගාරයකි. මහ පඬි රුවනකි. විනය පිළිබඳ වූ ආදර්ශ ප්‍රතිබිම්බයකි. පැරැණි පැවිදි මහ පඬි පරපුරේ ශාසන පෞරුෂය උන්වහන්සේගේ චරිතයෙන් අපි මැනැවින් දුටුවෙමු. එබඳු මහ පඬිරුවනක ගේ අපවත් වීම සසුනටත් රටටත් පිරිමැසිය නොහෙන පාඩුවකි.

අග්ගමහා පණ්‌ඩිත අතිපූජ්‍ය වැලිගම ඤාණරතන මහානායක මාහිමිපාණන් වහන්සේ උතුම් වූ නිවන් සුව අත්පත් කෙරෙත්වා යි සංවේග පූර්වකව ප්‍රාර්ථනය කරමු යෑයි දවුල්දෙණ ඤාණිස්‌සර මහානායක ස්‌ථවිරයෝ (ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක) නිවේදනයක්‌ නිතුක්‌ කර සිටිති.

http://www.divaina.com/2014/01/21/news14.html

සබැඳි ලිපි -
[
අවුරුදු 101ක්‌ ආයු වළඳා වැලිගම ඤාණරතන මහනාහිමියෝ අපවත් වෙතිhttp://denethharinna.blogspot.com/2014/01/101.html
]

0 comments: