Pages

Sunday, January 5, 2014

එතෆෝන් ගසා ඉදවන පලතුරු - ලෙඩ කරයි අප සුමිතුරු

එන්න නෝනා, එන්න මහත්තයා පලතුරු ටිකක්‌ අරගෙන යන්න. මේවා වස විස ගහලා ඉදවපුවා නොවෙයි. ගහේ ඉඳුණු ඔරිජිනල් බඩු... බොරු නම් කෑල්ලක්‌ කාලා බලන්න. වෙළෙඳුන්ගේ මෙවැනි වදන්වලට හසුවී අමාරුවේ වැටුණු පාරිභෝගිකයෝ අනන්තවත් සිටිති. ඔවුන් ඒ මොහොතේ කෑමට දෙන්නේ හොඳින් පැසී ඉඳුණු පලතුරුය. නමුත් විකුණන්නේ විවිධ නීති විරෝධී ක්‍රම භාවිතා කරමින් ඉදවනු ලැබූ පලතුරුය. දැන් ලංකාව පුරා බහුලව ඇත්තේ එලෙස ඉදවා ගත් පලතුරුය.

පසුගිය දිනෙක එතෆෝන් නමැති රසායනික දියරය භාවිතා කරමින් ඉදවනු ලැබූ පරිභෝජනයට නුසුදුසු රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු පලතුරු ප්‍රමාණයක්‌ පාරිභෝගික අධිකාරිය විසින් සිදු කළ වැටලීමකදී සොයා ගැනීමත් සමග මේ බව හෙළි විය.

ඊට පෙර පලතුරු ඉදවීම සම්බන්ධව ජනප්‍රියම ක්‍රමය ලෙස ප්‍රසිද්ධව පැවතියේ අමු පලතුරුවලට කාබයිට්‌ රසායනය භාවිතා කිරීමය. නමුත් එතෆෝන් භාවිත කර පලතුරු ඉදවීම ගැන ඉහත කී සිද්ධියත් සමග දැන් බොහෝ දෙනා අතර කසුකුසුවක්‌ ඇති වී තිබේ.

මේ එතෆෝන් රසායනය පිළිබඳ කතාව ඇත්තෙන්ම අලුත් කතාවක්‌ නොවේ. එය වෙළෙඳුන් පලතුරු ඉදවීම සඳහා බොහෝ කලක සිට කරගෙන පැමිණි කූට ව්‍යාපාරයකි. නමුත් මෙය ආන්දොලනාත්මක ලෙස ජනතාව අතරට යැමට හේතු වන්නේ කාබයිට්‌ තහනම් කිරීමත් සමග වෙළෙඳුන් පලතුරු ඉදවීමට වැඩි වැඩියෙන් එතෆෝල් භාවිතා කිරීම හේතුවෙනි.

එතෆෝල් යනු කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවීන්ගේ භාවිතය සඳහා නිර්දේශ කරන ලද රසායනික දියරයකි. මෙම රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් ගොවීන්ගේ බෝගවල මල් සහ බීජ ඉක්‌මනින් ලබාගත හැකිය.

බොහෝ දෙනෙක්‌ නොදන්නා කතාව වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම එතෆෝන් රසායනික ද්‍රව්‍ය පලතුරු ඉදවීම සඳහා ද නිර්දේශ කර ඇති බව යන්නය. නමුත් ඒ නියමිත ප්‍රමිතියකට අනුවය. ඒ ප්‍රමිතිකරණයට අනුව එතෆෝන් මිලිලීටර් 1 කට හුණු ග්‍රෑම් 100 ක්‌ එකතු කර වතුර මිලිලීටර් 2 ක්‌ කලවම් කළ යුතුය. පසුව එම දියරය දුම් කාමරයක්‌ තුළ තබා ඉදවීමට අවශ්‍ය පලතුරු එම කාමරයේ ගබඩා කළ යුතුයි. එතෆෝන් සහ හුණු කලවම් කරගත් ප්‍රමාණයෙන් ආස්‌ටිමෙන් නමැති වායුවක්‌ නිකුත් වේ. අමු පලතුරු බලා සිටියදී මෙන් ඉක්‌මනින් ඉදෙන්නේ මේ ආස්‌ටිමෙන් වායුවෙනි. එසේ ඉදවන ලබන පලතුරු මිනිස්‌ ශරීරයට ද අහිතකර නොමැත. එතෆෝන් භාවිතා කර පලතුරු ඉදවීමේ නිවැරදි ක්‍රමය එයයි. නමුත් අවාසනාවන්තකම වන්නේ අපේ රටේ කිසිම වෙළෙන්දකු මෙම ක්‍රමය භාවිත නොකිරීමය.

ඒ වෙනුවට වෙළෙඳුන් කරනුයේ එතෆෝන් නමැති රසායනික දියරය කෙලින්ම පලතුරුවලට ඉසිනු ලැබීමය. එවිට සතියක්‌ ඇතුළත පලතුරුවල පොත්ත කහපාට වේ. නමුත් ඇතුළ සම්පූර්ණයෙන්ම අමුයි. පිට පොත්ත කහපාට වීම නිසා හොඳින් ඉදුණු පලතුරු ලෙස දිස්‌වේ. මෙම දියර පලතුරුවලට ඉසීමේදී පිට පොත්තේ යම්කිසි අයුරකින් අදාළ පලතුර කුඩාවට හෝ සිදුරු වී තිබුණොත් එතෆෝන් දියරය කෙළින්ම එම පලතුර තුළට කාවදී. මිනිස්‌ සිරුරට ඉතා අහිතකර වන්නේ එලෙස ඉදුණු පලතුරුය. පිළිකා වැනි මාරක රෝග ද ඇතිවිය හැකි බවට වෛද්‍යවරු පවා නිර්දේශ කර තිබේ. මෙලෙස ඉදවා ඇති පලතුරුවල රසක්‌ හෝ ගුණාත්මක භාවයක්‌ නොමැත. කොටින්ම කියතොත් මෙවැනි පලතුරු තනිකරම ලෙඩ කාරක ආහාරයකි.

දැන් පලතුරු ඉදවීමට යොදාගන්නා මෙම අහිතකර ක්‍රමය ලංකාව පුරා ගෘහස්‌ථ මට්‌ටමේ සිට ව්‍යාප්ත වී තිබේ. ඒ අනුව සුළු පරිමාණ පලතුරු වෙළෙඳුන්ගේ සිට මහ පරිමාණ පලතුරු වෙළෙන්දන් දක්‌වා එතෆෝන් නමැති රසායනික භාවිතයෙන් පලතුරු ඉදවීමේ ක්‍රියාවලිය බියෙන් සැකෙන් තොරව කරගෙන යති.

ඇත්තෙන්ම වෙළෙඳුන් මෙවැනි කූට ක්‍රමවලට යොමුව සිටින්නේ ඇයි? ඊට ද ඔවුනට පිළිතුරක්‌ තිබේ. මෙලෙස ඉදවන පලතුරු මිනිස්‌ පරිභෝජනයට නුසුදුසු බව හොඳාකාරවම දන්නා එම වෙළෙඳුන් කියන්නේ වෙළෙඳපොළේ පවතින තරගකාරීත්වය නිසා දැන් මෙවැනි දේවල් කිරීමට සිදුවී ඇති බවයි.

තවත් වෙළෙන්දකු පැවසුවේ මෙවැනි කතාවකි. මම දවසකට එක්‌තරා රෝහලකට කෙසෙල් ගෙඩි පන්දාහක්‌ දෙන්න ඕනා. මේ සඳහා ඉදුණු කෙසෙල් ගෙඩි සොයා ගැනීමට අපහසු නිසා එතෆෝන් භාවිතා කර කෙසෙල් ගෙඩි ඉදවා රෝහලට සපයන බවයි. මහ පරිමාණයෙන් පලතුරු විකුණන වෙළෙන්දකු පැවසුවේ ඉදුණු පලතුරු සොයා ගැනීමට අමාරු බවත්, එසේ සොයා ගත්ත ද ඒවා ප්‍රවාහනය කිරීමේදී තැලීම්, පොඩිවීම් ඇතිවන නිසා විශාල ප්‍රමාණයක්‌ වීසි කිරීමට සිදුවන නිසා තමන්ගේ ලාභය ද අඩු වන බවයි.

මෙම තත්ත්වයන් නිසා වෙළෙඳුන් නීති විරෝධී ක්‍රම භාවිතා කරමින් පලතුරු ඉදවීම සිදු කිරීමට පෙළඹෙන බව ඔවුහු කියති.

එහෙත් ඔවුන් කුමක්‌ කීවද මේ ක්‍රියාවලිය කොතරම් සාධාරණීකරණය කළ ද මේ කූට ව්‍යාපාරය නවතා දැමීමට දැන් කාලය එළැඹ තිබේ. ඒ අරමුණු ඉටුකර ගැනීමට යන ගමනේදී පාරිභෝගික අධිකාරිය කරන වැටලීම්වලින් පමණක්‌ එය සාර්ථක කරගත නොහැකිය. මේ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීම ද වඩා ඵලදායක වනු ඇත. 

මෙය ගණනකට නොගෙන සිටින තාක්‌ සිදුවන්නේ අපි කාටත් නොදැනීම මෙම ව්‍යාපාරය තවත් දරුණු ලෙස ව්‍යාප්ත වීමය. එවිට හෙට දවසේ ඉතිරි වන්නේ මෙවැනි පලතුරු ආහාරයට ගෙන හඳුනාගත නොහැකි රෝගවලින් පීඩා විඳින රෝගකාරක පුරවැසියන්ගෙන් පිරුණ රටකි.

ගයාන් සමරසිංහ
http://www.divaina.com/2014/01/05/feature20.html

Pic Source

0 comments: