Pages

Tuesday, January 21, 2014

බොදු ජනතා අයිතිය විග්නේශ්වරන්ට යටකිරීම

ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක්‌ ලෙස තමන් පිළිනොගන්නා බවටත්, ද්‍රවිඩ ජනතාව සුළු ජාතිකයන් නොවන බවටත් උතුරේ මහ ඇමැති විග්නේශ්වරම් ප්‍රකාශයක්‌ කර ඇති බව පුවත්පත් මගින් දැකගත හැකි විය. 

මේ නම් අපූරු ප්‍රකාශයකි. මහ ඇමැතිතුමනි, ඔබතුමා වාසය කරන්නේ ශ්‍රී ලංකාවේය. දිව්රුම් දී ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුවය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය පිරිනමන්නේය. එහෙයින් 10 වැනි ව්‍යවස්‌ථාවෙන් සහ 14 වැනි ව්‍යවස්‌ථාවේ 1 වැනි අනු ව්‍යවස්‌ථාවේ (ඉ) ඡේදයෙන් සියලුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්‍ෂා කරදෙන අතර බුද්ධ ශාසනය සුරක්‍ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය. උතුරේ මහ ඇමැතිවරයා කතාකර ඇත්තේ අරුම පුදුම කතාවකි. 

ශ්‍රී ලංකාව ගැන නොව උතුරු පළාත් සභා බල ප්‍රදේශය වෙනම රාජ්‍යයක්‌ සේ සිතා මේ අන්දමේ ප්‍රකාශයක්‌ කළාද? උතුරු පළාතේ බහුතරයක්‌ දෙමළය. ඒ පළාතට අනුව නම් දෙමළ සුළු ජාතියක්‌ නොවේ. ඉකුත් කාලයේ හිටපු සිංහල, මුස්‌ලිම් අයද පළවාහැර ඇත. දැන් දෙමළ අය වැඩියෙන් ජීවත් වේ. ඒ අයගේ ආගමද, බුද්ධාගම නොවේ. දෙමළ ජාතිකයන් ඉදිරියේ වහසිබස්‌ දොඩන දෙමළ මහ ඇමැතිවරයාට ඔහුගේ බිරිඳගෙන් හෝ දැනගෙන ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවගේ ආගම කුමක්‌ද? යන්න දැන ගැනීමට හැකිය. 

උතුරේ මහ ඇමැතිතුමනි, කොළඹ වාසභූමිය කරගෙන ජීවත් වූ ඔබ යාපනයේ නල්ලූර් කෝවිලට හැර දඹකොළ පටුනට හෝ නාගදීප විහාරයට ගොස්‌ නැද්ද? අප මහා සම්බුදුරජාණන් වහන්සේගේ පාද ස්‌පර්ශය ලත් නාගදීපයද ශ්‍රී ලංකාවට ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කළ නැව්තොට දඹකොළ පටුනද, ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය ගැන කියන්නට අපහට උතුරුකරයෙන්ම ඇති ඓතිහාසික සාක්‍ෂිය. ඒ තැන්වලට ගොස්‌ නැද්ද?

මේ සිංහල අපගෙ රටයි. අප ඉපදෙන මැරෙන රටයි. සිංහල බෞද්ධයන් වශයෙන් අපට එසේ කියන්නට අයිතියක්‌ ඇත. විග්නේශ්වරම්ට හෝ ප්‍රභාකරන්ට එසේ කියන්නට බැරිය. අපි ඒ බව දනිමු. කෙසේ වෙතත් ඔහු කළ ප්‍රකාශය වැරැදිය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ගරු නොකිරීමය. එය කෙසේ වෙතත් ඔහුගේ සාමාන්‍ය දැනුමද නිවැරැදි කළ යුතුව ඇත. සිංහල බෞද්ධයන් වැඩියෙන් ජීවත් වන ශ්‍රී ලංකාවේ දෙමළ හා මුස්‌ලිම් සුළු ජාතියකි. රටේ නායකයා සිංහල බෞද්ධය. නිර්මල බුදු දහම වසර 2600 කට වැඩි කාලයක්‌ තිස්‌සේ රැකී ඇත්තේ මේ ධර්මද්වීපයේය. බුදු හාමුදුරුවන් උපන් දේශයටත් වඩා බුද්ධාගම රැකී ඇත්තේ මේ සිංහල දේශයේය. 

විග්නේශ්වරම් මහ ඇමැතිතුමනි, ඔබතුමාටද ඥතිත්වයක්‌ ඇති කරගෙන සිටින වාසුදේව ඇමැතිතුමන් සිංහල, දෙමළ භාෂාවන් එක ලෙසට ගෙන සිංහල භාෂාවට මෙන්ම දෙමළ භාෂාවටද නිසි තැනක්‌ දීමට කරන කටයුතු ඔබතුමා කෙසේ වෙතත් අපි අගය කරන්නෙමු. සිංහල මෙන්ම දෙමළ භාෂාවද ඉගෙන ගැනීමට පාසල් දරුවන් පමණක්‌ නොව රාජ්‍ය නිලධාරීන්ද පියවර ගෙන ඇත. 

ශ්‍රී ලංකාව බහුජාතික, බහු ආගමික රටකි. දෙමළ සුළු ජාතියකි. මහ ජාතිය සිංහලය. 

සිංහලයට හෝ දෙමළට නොව ඉංග්‍රීසි භාෂාවට මුල් තැනක්‌දී කටයුතු කරන පාලකයන් සිටින රටක අනගාරික ධර්මපාල වැනි අය යළි ඉපදිය යුතුව ඇත. අද සිදුවෙන බොහෝ දේ අත්විඳින අපට හිතෙන්නේ අනේ ධර්මපාලතුමා හිටියා නම් කියා නොවේද?

දේශපාලන පක්‍ෂ මාරු කරන්නා සේ අපට ආගම් මාරු කළ නොහැකියි. දේශපාලන පක්‍ෂ මාරු කරන දේශපාලනඥයන් තම පක්‍ෂයට පශ්චාත්භාගය හරවා පාර්ලිමේන්තුව තුළදී හෝ පළාත් සභාවකදී හෝ ප්‍රාදේශීය සභාවකදී නිරුවතින් සිටින අන්දමට ආගමකින් ආගමකට ගොස්‌ කතා කළ නොහැකිය. නොයෙකුත් ලාභ සත්කාර අපේක්‍ෂාවෙන් මූලධර්මවාදීන් පසුපස ගිය උදවිය වුවද තමන්ගේ උපන් ආගමට නිගරු කරන්නේ නැත. විග්නේශ්වරම් කුමක්‌ කීවත් අප කලබල විය යුතු නැත. ඔහු ජාතිවාදියෙකි. ආගම්වාදියෙකි. ඔහු කටයුතු කරන්නේ උතුරේ දෙමළ ජාතිකයන්ගේ හිත සුව පිණිසය. අපට රටක්‌ ඇත. ආගමක්‌ ඇත. ඔහුට රටක්‌ නැත. ඇත්තේ ප්‍රාන්තයක්‌ පමණි. නමුත් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්‌ බව අමතක කර කතා කිරීම දඬුවම් ලැබිය යුතු වරදකි. මේ අන්දමේ කතා කියන ලද ප්‍රභාකරන්ලා දැන් වළපල්ලේය. නමුත් ඔවුන්ගේ දර්ශනය නොනැසී පවතී, විග්නේශ්වරම්ලා කියන්නේ ඒ අඳුරු අතීතයේ කතා ය.

අනාදිමත් කාලයක සිට අප රටේ සිංහල බෞද්ධ හැදියාව තුළින් පෝෂණය කළ ජාතික සමගිය, සමාජ සාධාරණත්වය බටහිර අධිරාජ්‍යවාදීන්ගේ බිහිසුණු ආක්‍රමණයත් සමග විනාශ විය. ඔවුන් විසින් බෝ කරන ලද ආගමික මතවාද බෞද්ධ මෙන්ම හින්දු ආගමටද බලපෑවේය. මෙරටට බෝ කරන ලද ආගමික මතවාද අනෙකාට හෙණ ගැසුවත් තමන්ගේ කාර්යය ඉටුවේ නම් සියල්ල යහපත්ය යන ආත්මාර්ථකාමීත්වය වගකීම් කුණු ගොඩට දමා අයිතිවාසිකම් පමණක්‌ ඔසවා තැබීම සදාචාරය අසභ්‍ය වචනයක්‌ කොට දුරාචාරය ඉස්‌මතු කළේය. සිංහල බෞද්ධයිනි, දැන් ඔබටත් සිතන්නට දෙයක්‌ තිබේ. අප මේ ගතකරමින් සිටින්නේ අඳුරු අධර්මිෂ්ඨ යුගයකය. පන්සිල් නොරකින සමාජයකය. මත්පැන්, මත්ද්‍රව්‍ය, ස්‌ත්‍රී දූෂණ මිනීමැරුම් මේ සියල්ල සිදුවෙන රටක විග්නේශ්වරම්ලා කියන කතා ගැනද අපට සිතා බලන්නට සිදු වේ. 

ජාතීන් අතර ආගම් අතර ඇතිවී තිබෙන වාද භේද අමතක කර ධර්මිෂ්ඨ සමාජයක්‌ ඇති කර ගැනීමට උත්සාහ ගනිමු. එදා මෙරට ජීවත් වූ සියලු ජන කොටස්‌ එකම හෙළ ජාතියක්‌ ලෙස නැගී සිට ජාතියේ අභිමානය රැකගත්හ. අද වන විට මේ ඒකීයභාවය නැත. විවිධ ජන කොටස්‌ වෙන් වෙන්ව පෙනී සිටිති. එකම රට එකම ජාතිය විවිධ ජාතීන්ගේ දේශයක්‌ බවට පත් කරගෙන ඇත. එහෙයින් තම උපන් රටේ ඉතිහාසය, හැදියාව, උරුමය ගැන නොදන්නා යටත්විජිත මානසිකත්වයෙන් පෙළෙන මානසික රෝගීන් මෙන් බහුභූත කථා කියමින් රටම වනසන උන් ගැන අපි අවදියෙන් සිටිය යුතුව ඇත්තෙමු.

ශ්‍රී ලංකාව යනු අපි සැමට සෙවණ සලසන පිං බිමකි. දෙමළ හෝ වේවා, මුස්‌ලිම්, සිංහල හෝ වේවා මේ කොයි ජාතීන් වුවද මේ හෙළ දිවයිනේ ජීවත් විය යුතුව ඇත. ඒ ඒ ජාතිකයන්ට ඇදහීම සඳහා ආගමක්‌ ඇත. ඒ කුමන ආගමක්‌ වුවද හෙළා දැක කතා කිරීම වරදකි. ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක්‌ ලෙස ලෝකයාම පිළිගනී. ඒ නිර්මල බුදු දහම ස්‌ථාපිත වී ඇති ලෝකයේ රටවල් අතර 

ශ්‍රී ලංකාව සුවිශේෂී වී ඇති බැවිනි. විග්නේශ්රවම් පිළිගත්තත් නැතත් අපට කම් නැත. ඔහුට ඔහු අදහන ආගම වටින්නා සේ අපටද අප අදහන ආගම ලොකුය. කෙසේ වෙතත් ජන නායකයකු වශයෙන් ඔහු කියා ඇත්තේ නායකයකු නොකිය යුතු කතාවකි. නායකයෙක්‌ සෑමවිටම එක්‌ ජන කොටසකට නොව සියලුම ජනයාට නායකයකු විය යුතුව ඇත. දෙමළ, හින්දු අයගේ නායකයෙකු වශයෙන් මිස විග්නේශ්වරම් ජාතික නායකයකු නොවේ.

අක්‌මීමන - කේ. මතිලාල්
http://www.divaina.com/2014/01/21/feature02.html

Pic Source

0 comments: