

මෙවර දූවිලි ඇල්ල මංපෙත ඔස්‌සේ ඇවිද ගොස් උඩදූවිලි ඇල්ල ගල් ලෙනේ එවන් රාත්‍රියක් ගත කිරීමට අපට යළිත් අවස්‌ථාවක් උදාවිය. ඒ රඹුක්‌ඔළුව ගමේ විදුහලට තෑගි බෝගත් රැගෙන නෑගම් ආ පන්නිපිටියේ මාධව මහතා ඇතුළු පිරිසේ ඉල්ලීම නිසාය. අගනුවර වාණිජ බැංකු කිහිපයක මෙන්ම වෙනත් රාජකාරිවලද නියුක්‌ත මෙම පිරිසේ උදවිය දූවිලි ඇල්ල ගල්ලෙනේ රාත්‍රියක් ගත කරන්නට වෙන්කර ගත්තේ පසුගිය අප්‍රේල් මාසයේ සිටය. ඒ අනුව සංවිධානය වුණු මෙවර චාරිකාව අප පටන් ගත්තේ රඹුක්‌ඔළුවට තෑගි බෙදාදීමේ කෙටි, චාම් අවස්‌ථාවෙන් පසුවය.
ගමනට මාත් සමග මාධවගේ පවුල, ඔහුගේ සොයුරු ඇතුළු පවුල, කවදත් වන ගමන්වලදී පෙරමුණ ගන්නා ඉනෝකා, වෛද්‍ය ලලීන්ද්‍ර ඇතුළු දොළොස් දෙනකුගෙන් පමණ පිරිසක් එක්‌වූහ. දුම්බර මිතුරන්ගෙන් ජයසිංහ මල්ලීද, වසන්ත හා රඹුක්‌ඔළුවේ කැලෑව පීරූ තවත් පළපුරුදු ගම්වැසියන් දෙදෙනකුද ගමනට එක්‌වූහ. ඒ මේ ගමනේ ඇති අසීරුතාව නිසාමය. මුහුදු මට්‌ටමේ සිට අඩි හාරදහස් පන්සියයක් පමණ ඉහළින් පිහිටි දූවිලි ඇල්ල ගල් ලෙනට යන ගමන අතිශය දුෂ්කර බාධක පිරි ජල දුර්ග, ගිරි දුර්ග මැදින් යා යුතු ගමනකි. එවන් අභියෝග සියල්ලක් භාර ගනිමින් කණ්‌ඩායමේ අපි දූවිලි ඇල්ල වනගත චාරිකාව ආරම්භ කළෙමු. ගල්මුල් උඩින් පැන දිය පහරවලින් බැස පාද දොවමින් දුම්බර වන වදුල තුළින් ඇවිද යන කල වනාන්තරයක අපූරුව කොතරම් විශ්මිත දැයි හැඟේ. රැහැයියන්ගේ මෙන්ම මූකලන් කොට්‌ටෝරුවන්ගේ නාදය වනාන්තරය පුරා රැව් පිළිරැව් දෙන අරුමැක්‌කේ අපි දූවිලි ඇල්ල සොයාගෙන ගියෙමු.
රඹුක්‌ඔළුවේ සිට දූවිලි ඇල්ලට අවම තරමින් කිලෝමීටර් 13 ක් වත් දුර ඇත. හෝරාවලින් නම් පැය 5 - 6 ක ගමනකි. එනම් දූවිලි ඇල්ල නරඹන්නට යන්නේ නම් එය තනිකරම එක්‌දින චාරිකාවකි. එක රාත්‍රියක් දූවිලි ඇල්ලේ ගතකළ යුතුමය. අපේ ගමනේදී දූවිලි ඇල්ලේ එක රාත්‍රියක් ගතකරන නිසා අපට මේ ගමන් ලොකු බරක් සැහැල්ලු වී ඇත. එහෙත් දණ බිම ගෑවෙන කඳු නැගීමට ඇති මේ චාරිකාව තනිකරම දුෂ්කර ක්‍රියාවකි. එය කියා විස්‌තර කරන්නට නොහැකියි. අත්දැකීමෙන් පමණක් විඳිය යුතු ඒ දුෂ්කරතාව විශේෂයෙන් කාන්තා පක්‌ෂය විඳ ගත්තේ අපගේ පරම්පරාවද සිහිපත් කරමින් බව මම විශ්වාස කරමි.
කෙසේ හෝ දහවල් තේ විවේකයෙන් පසු දහවල් එක පමණ වන විට අප දුම්බර කැලෑවේ සෑහෙන පමණ දුර ගෙවා නිමකර තිබිණි. එහෙත් අපේ ගමනට මහා බාධාවක් වෙමින් දහවල් දෙකට පමණ මුරුගසන් වර්ෂාවක් කඩා හැලෙන්නට විය. නොකඩවා ඇද වැටුණු මෙම වැස්‌සෙන් අප මෙන්ම අපගේ ගමන් මලු සියල්ලද තෙත බරිත වූ නමුත් දූවිලි ඇල්ලේ අපේක්‍ෂිත චාරිකාව අතහැර දමන්නට අප කවුරුත් කැමැති වූයේ නැත. සියල්ලන්ගේම එකඟතාව පරිදි ගමන ඉදිරියටම ගිය අතර සවස තුනට පමණ අපට පාත දූවිලි ඇල්ලට ළඟාවීමට හැකිවිය. ඒ වන විට වැස්‌ස මඳක් තුරල් වී තිබුණු නිසා පාත දූවිලි ඇල්ලේ අසිරිය විඳ ගැනීමෙන් පසු පෙරදා නවාතැනෙන් බැඳගෙන ආ දහවල් බත් ගෙඩිය පාත දූවිලි ඇල්ලේ ගල් තලාවේ දිග හැරගෙන කා වෙහෙස මඳක් නිවා ගත්තේ මීළඟට එළැඹෙන ගමනේ බැරෑරුම්ම කොටසට නව ජීවයක් ලබා ගන්නට මෙනි.
ජගත් කණහැරආරච්චි
http://www.divaina.com/2014/01/05/feature15.html
0 comments:
Post a Comment