Pages

Thursday, January 16, 2014

විග්නේශ්වරන්ලා මැදිහත් විය යුත්තේ මෙම ගැටළු වලටය | තමිල්නාඩු දේශපාලනය පෝෂණය කරන මාළු මුදලාලිලා සහ මුදලාලිලා පිනවන දේශපාලනය

අපට වැටහෙන පරිදි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන එකම ප්‍රශ්නය මාළු බෑම පිළිබඳව තිබෙන ආරවුල ය. තම අසල්වැසියන් වූ පාකිස්‌තානය, චීනය, බංග්ලාදේශය යන රටවල් සමඟ ඉන්දියාවට දේශ සීමා අරගල තිබේ. ත්‍රස්‌තවාදී ප්‍රශ්න තිබේ. කුඩු ගැටලු තිබේ. ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන කුඩු ගැටලුව මෙන් ලක්‍ෂ ගුණයක කුඩු ගැටලුවක්‌ ඉන්දියාව සහ පාකිස්‌තානය අතර තිබේ. පාකිස්‌තානය හරහා ඉන්දියාවට එන ත්‍රස්‌තවාදීහු ඉතා භයානක ලෙස මනුෂ්‍ය සංහාරයෙහි නිරත වෙති. කොටි සංවිධානය පැවැති කාලයේදී ඉන්දියාව තුළ යම් - යම් ත්‍රස්‌තවාදී ප්‍රශ්න තිබුණ ද අද එවැන්නක්‌ ඇත්තේම නැත. වෙනත් අසල්වැසියන් මෙන් අප ඉන්දියාවට වද දෙන්නේ ම නැත. ඒ සම්බන්ධයෙන් අපට ස්‌තුති කරන ලෙස අපි ඉන්දියාවට කිසිසේත්ම බල නො කරමු. එහෙත් දෙරට අතර තිබෙන මාළු බෑමේ ප්‍රශ්නය නම් විස¹ ගත යුතු ම ය. මන්ද ඉන්දියන් ධීවරයන් ලංකාවේ මුහුදු සීමාවට වැද මසුන් කොල්ලකන ආකාරය දකින විට අපට සිතෙන්නේ නුදුරු අනාගතයේදී මාළු මිලට ගැනීම සඳහා තමිල්නාඩුවේ මාළු ලෑලි වෙත යැමට අපට සිදු වන බව ය.

ඉන්දියානු හිරගෙවල තුන් ආකාරයක ලාංකික සිරකරුවෝ වෙති. ඉන් පළමුවැනි කොටස වන්නේ ඉන්දියාවට කුඩු ගෙන යැමට ගොස්‌ එරට ගුවන් තොටුපළවලදී පොලිසියට මාට්‌ටු වූ ලාංකිකයන් ය. දෙවැනි කොටස වන්නේ ඉතා සුළු පිරිසක්‌ වූ කොටි ත්‍රස්‌තයන් ය. තුන්වැනි පිරිස ලංකාවේ ධීවරයන් ය. මෙකී තුන්වැනි පිරිස ක්‍රමයෙන් ඉහළ නගිsමින් පවතී. ලංකාවේ හිරගෙවල ඉන්දීය ධීවරයෝ ද සිටිති. එහෙත් එමෙන් දෙගුණයක්‌ ලාංකික ධීවරයෝ තමිල්නාඩු හිරගෙවල සිටිති. මේ ධීවර ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට ලංකාව සූදානම් ය. ඉන්දියන් මධ්‍යම රජය ද සූදානම් ය. එහෙත් තමිල්නාඩුවේ ජයලලිතා එයට සූදානම් නැත. ඉන්දියන් හිරගෙවල සිටින ධීවරයන් නිදහස්‌ කිරීමට බැරි බව ඇය අවස්‌ථා කිහිපයකදී කියා තිබේ. එහෙත් අවසානයේදී හෙවත් පෙරේදා (13 වැනිදා) ශ්‍රී ලංකාව තමන් භාරයේ සිටි ධීවරයන් 52 ක්‌ නිදහස්‌ කළේ ය. තමිල්නාඩුව ද තමන් භාරයේ සිටි ධීවරයන් එබඳුම ප්‍රමාණයක්‌ නිදහස්‌ කළේ ය. මේ ප්‍රශ්නය මෙතැනින් නිරාකරණය වන්නේ ද? නැත. අද දෙරටම ධීවරයන් පනහ බැගින් නිදහස්‌ කරන විට හෙට ධීවරයන් සියය බැගින් දෙරටෙහිම හිර කූඩුවලට යැමේ ප්‍රවණතාවක්‌ තිබේ. මේ නිසා මෙයට අවශ්‍ය වන්නේ එදා වේල ටුවර්ස්‌ මෙන් හිත සනසා ගැනීමේ විසඳුමක්‌ නොව ප්‍රශ්නයෙන් 75% ක්‌ වත් නිරාකරණය කර ගත හැකි විසඳුමකි.

ධීවරයකු හිර ගෙට ගිය විට ඒ පවුල මහ පාරට වැටෙයි. මාළු කොතරම් ගණන් වුවද, අසරණ ධීවරයා සදාකාලික දුප්පතෙකි. ඔහු බැඳී සිටින්නේ මාළු මුදලාලි පොහොසත් කිරීමට ය. ඔහු මුහුදු යන ඔරුව මුදලාලිගේ ය. ඔහු මුහුදට දමන දැල තවත් මුදලාලි කෙනකුගේ ය. ඔහු මුහුදේ ගත කරන කාලය සඳහා ගෙන යන සහල්, තුනපහ තවත් මුදලාලියකුගේ ය. බොහෝ විට ධීවරයාට අයත් වන්නේ ඔහු ඇඳ සිsටින යට ඇඳුම සහ සරම් කබල පමණි. මෙය ලංකාවට මෙන්ම ඉන්දියාවට ද පොදු තත්ත්වයකි. ඇතැම් විටෙකදී ලාංකික ධීවරයාගේ ජීවන තත්ත්වය ඉන්දියානු ධීවරයාගේ ජීවන තත්ත්වයට වඩා යම් ප්‍රමාණයකට යහපත් ය. එහෙත් ඔවුන් හිරේ වැටුණු විට දෙපාර්ශ්වයේම පවුල් ඉන්දු ලංකා ජාතිකත්වය නොසලකා නන්නත්තාර වන්නේ ය.

අද ලංකාවේ මාළු දේශපාලනයක්‌ නැත. එහෙත් ඉන්දියානු වෙරළ තීරයෙහි මාළු දේශපාලනය සැරටම තිබේ. එම තීරයෙහි සිටින දේශපාලනඥයන්ට වියදම් කරන්නේ මාළු මුදලාලිලා ය. එබැවින් ඔවුන්ගේ අභිමතය අනුව ලංකාව කොල්ලකෑමට ඉඩ දීම තමිල්නාඩු දේශපාලනඥයන්ගේ වගකීම වී තිබේ. මේ ජරාජීර්ණ තත්ත්වය පවතින තුරු දැනට පවතින අඳුරු තත්ත්වය නිම වන්නේ නැත. මේ අඳුර තිබෙන තුරු පෙර කී මාළු දේශපාලනය නිම වන්නේ ද නැත.

http://www.divaina.com/2014/01/15/editor.html

Pic1 Source
Pic2 Source

0 comments: