Pages

Friday, January 17, 2014

ධර්මපාල සටන ‘ධර්මපාල පරපුර’ට බාරයි – නාපානේ පේමසිරි මහ නාහිමි

ඉතිහාසය පුරා ඇතැම් අදුරදර්ශී පාලකයන් සිංහාසනයෙන් ඉවත් කිරීමට මෙන්ම සුදුසු පුද්ගලයන් සිංහාසනයේ තැබීමට පෙරමුණ ගත්තේ මෙරට භික්‍ෂූන් වහන්සේලා යැයිද  ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ආරම්භ කළ මේ ජාතික සටනට නැවත පනදීම ‘ධර්මපාල පරපුර.’ සංවිධානයේ වගකීම මෙන්ම එතුමාට කරන ගෞරවයක් බවද  ශ‍්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පෙමසිරි මහා නායක හිමියෝ පැවසූහ.

ඊයේ(16) බෞද්ධ සංස්කෘතික පුනර්ජීවන කමිටුවේ සභාපති මණ්ඩලය නියෝජනය කළ නාහිමිවරුන්, මැණික්හින්න හුරීකඩුව මහා පිරිවෙන වෙත ගොස් අතිපූජ්‍ය නාපානේ පෙමසිරි මහනාහිමියන් බැහැදැක ‘බෞද්ධ සංස්කෘතික පුනර්ජීවන කමිටු වාර්තාව’ පිළිගැන්වූ අවස්ථාවේදී මහනාහිමියෝ ඉහත ප‍්‍රකාශ සිදු කළහ.

එහිදී අදහස් දැක්වූ මහනාහිමිපාණෝ මෙසේද පැවසූහ.

‘රට කරවන වගකිවයුත්තන් හරිමග යැවීමට හා දේශපේ‍්‍රමී, ජාතිකාභිමානී බවින් යුත් පරපුරක් බිහි කිරීමට අවශ්‍ය නායකත්වය දීම ශ‍්‍රී ලාංකික භික්‍ෂූන් වහන්සේගේ පරම යුතුකම වෙනවා. මෙය මැනවින් වටහාගත් වියත් යතිවරයාණන් වහන්සේලා හා දේශපේ‍්‍රමී, ජාතිකාභිමානී ගිහි වියතුන් එකතුව සැකසූ මෙම යෝජනා මාලාව ක‍්‍රියාත්මක කිරීමට ඔබට ශක්තිය, ධෛර්යය ලැබේවා.. ත‍්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.. ‘මානිවත්ථ අභික්ඛම’ නොනැවතී ඉදිරියට යන්න’

මෙම බෞද්ධ සංස්කෘතික පුනර්ජීවන කමිටුවේ අවසන් වාර්තාව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් වෙත පිළිගැන්වීම ඊයේ(16) සහ අද(17) යන දෙදින තුළ සිදු විය. ඊයේ දිනයේදී ශ්‍යාමෝපාලි නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල මහ නාහිමිපාණෝ වෙතද එම වාර්තාව පිළිගැන්විණි.

එසේම අද(17) දිනයේදී ශ්‍යාමෝපාලී නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමිපාණන් වෙතද ශ‍්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර මහා නායක හිමිපාණන් වෙතද බෞද්ධ සංස්කෘතික පුනර්ජීවන කමිටුවේ අවසන් වාර්තාව පිළිගැන්විණි.

බෞද්ධ සංස්කෘතික පුනර්ජීවන කමිටු වාර්තාව ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ට පිළිගැන්වීමේ ඉහත අවස්ථාවන්ට එම කමිටුවේ සභාපති මණ්ඩලය නියෝජනය කරමින් විද්‍යෝදය පරිවේනාධිපති පූජ්‍ය බලංගොඩ සෝභිත නාහිමි, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ කාරක සංඝසභික ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමි, බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති පූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද අනුනාහිමි, ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතාද සහභාගී වූහ.

http://lankacnews.com/sinhala/news/108651/

0 comments: