Pages

Thursday, January 9, 2014

මරණ තර්ජන එල්ල කරමින් උතුරේ ප්‍රධාන ලේකම්වරිය ඉවත් කිරීමට දෙමළ සන්ධානය උත්සාහ කරනවා - ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය

දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ඩයස්‌පෝරාව උතුරු පළාත් ප්‍රධාන ලේකම් විජය ලෙච්චමී මහත්මිය ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්‌ දියත් කර ඇතැයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති කමල් පද්මසිරි මහතා ඊයේ (08 වැනිදා) පැවැසීය. 

මෙය උතුරේ ආණ්‌ඩුකාරවරයා ඉවත් කිරීමට නොහැකිවීමෙන් පසු පරිපාලන නිලධාරීන් ඉවත් කර පළාත් රාජ්‍ය සේවයක්‌ ඇති කිරීමට දරන උත්සාහයක්‌ බවට තම සංගමයට හැඟී යන බවත් හෙතෙම සඳහන් කළේය.

ඒ මහතා මෙම තොරතුරු පැවසුවේ මහවැලි කේන්ද්‍රයේදී ඊයේ (08 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ය.

මේ වන විටත් විජය ලෙච්චමී මහත්මිය එම තනතුරෙන් ඉවත් කිරීමට දේශීය හා විදේශීය වශයෙන් දුරකථන මාර්ගයෙන් ඇයට මරණ තර්ජන එල්ල කිරීම නිසා පොලිසිය මගින් පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි කමල් පද්මසිරි මහතා කීවේය. දේශීය වශයෙන් ලැබී ඇති දුරකථන සම්බන්ධතා ගැන විමර්ශනය කිරීමට අමතරව ජාත්‍යන්තර පොලිසිය මගින් ලැබී ඇති විදෙස්‌ ඇමතුම් ගැන විමර්ශනය සඳහා පොලිස්‌ දෙපාර්තමේන්තුව මගින් තොරතුරු ලබා දී ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

ඇයට ලැබී ඇති විදෙස්‌ දුරකථන ඇමතුම්වලට අමතරව එස්‌. එම්. එස්‌. මගින් මරණීය තර්ජන කර කැනඩාවෙන් පවා ඇමැතුම් ලැබී ඇතැයි ද පද්මසිරි මහතා පැවැසීය.

ප්‍රධාන ලේකම්වරිය උතුරේ පළාත් පාලන කොමසාරිස්‌ ලෙස සහ ආයතන කිහිපයක තනතුරු දරා තිබෙනවා. ඇය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරිනියක්‌. ඒ අනුවයි ඇය උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පත්කරනු ලැබුවේ යෑයි ද කමල් පද්මසිරි මහතා පැහැදිලි කළේය.

ප්‍රධාන ලේකම්වරිය මාරු කිරීමට දෙමළ ජාතික සන්ධානය උත්සාහ කරනු ලබන්නේ ඔවුන්ගේ නීත්‍යනුකූල නොවන කටයුතු සඳහා අනුමැතිය ලබා නොදීම මුල්කර ගෙන බවට මේ වන විට සංගමයට වාර්තා වීම නිසා ඇය එම තනතුරෙන් ඉවත් නොකරන ලෙස රජයෙන් තම සංගමය ඉල්ලා සිටින බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී උතුරු පළාත් ප්‍රධාන ලේකම් විජය ලෙච්චමී මහත්මිය ද මාධ්‍ය හමුවට එක්‌වෙමින් පැවසුවේ තමාට රාජකාරි කරගෙන යැමට නොහැකි වන ලෙස මරණීය තර්ජන එල්ල කරන බවත්, ඒ කවුරුන්ද යන්න හඳුනාගෙන නොමැති බවත් ය.

චමින්ද සිල්වා
http://www.divaina.com/2014/01/09/news05.html

0 comments: