
පින්නවල අලි අනාථාගාරයේ අලියකුට පහර දෙන නීචයකුගේ පින්තූරයක් ඊයේ (28 දා) "දිවයිනේ" පළ විය. ඒ නීචයා ඇත් ගොව්වෙකි. වල් තිරිසනකුටත් වඩා අන්ත ඒකා ඇතාට පහර දෙන විට ඌට මුත්‍ර පහ විය. ඇත්ගොව්වා යනු හීලෑ අලියාට පියකු හා සමාන විය යුතු කෙනෙකි. කැලෙන් අල්ලාගෙන ආ ඒ අසරණ සතාට සිටින ලොකුම ආරක්‍ෂකයා ඇත්ගොව්වා ය. එහෙත් දැනට මේ රටේ තිබෙන තත්ත්වයට අනුව ඇත්ගොව්වන්ගෙන් වැඩිදෙනෙක් දවසේ පැය 24 පුරාම කසිප්පු ගසා අවසිහියෙන් සිටින අතර ඔහු බලා ගැනීමට අලියාට සිදු වී ඇත. කසිප්පු ගැසූ ඇත්ගොව්වකු මහ පාරේ නිදා සිටින අතර අලියා සිය පා සතරට ඔහු මැදිවන සේ සිටගෙන ආරක්‍ෂා කරන පින්තූරයක් මෙයට වසර කිහිපයකට පෙර මේ පුවත්පතේ පළ විය. හොඳ ඇත්ගොව්වනුත් මේ රටේ සිටිනවා ඇති. එහෙත් ඒ ගණන හොඳ ප්‍රයිවට් බස් රියෑදුරන් ගණන මෙන් අල්පයකි. ගණන් කළ නොහැකි තරම් ස්‌වල්පයකි.
පින්නවල අලි අනාථාගාරය පිහිටුවන ලද්දේ 1975 දීය. මව මිය යැම, රැළෙන් පලවා හැරීම, වෙඩි කා ආබාධිත වීම යන කාරණා නිසා මහ වනයේ අතරමං වන අලි පැටවුන්ට රැකවරණය දීමට මෙය පිහිටුවන ලද නමුත් 1994 න් පසු මෙහි ප්‍රධාන කාර්යභාරය වූයේ "හිතවතුන්ට" ඇති කිරීම සඳහා අලි පැටවුන් සැපයීම ය. වසර 2000 වන විට මෙය නිලමෙලාට ද දේශපාලනඥයන්ට ද අලි පැටවුන් සපයන රාජ්‍ය ආයතනය බවට පත්විය. පසු කාලයේදී පින්නවල අලි අනාථාගාරය යන නම වෙනස් කර ඇත් අතුරු සෙවණ යන නම තබන ලදී. අද එහි සේවකයෝ අලි පතුරු ගසති.
සත්භාවයෙන් පටන් ගන්නා රාජ්‍ය ආයතන ඉතා සුළු කාලයක් තුළ පරමාර්ථ වලින් පිට පැන නැවතත් රිසි ගමනෙහි යෙදීම ශ්‍රී ලංකාව වැනි රටවල සිරිත ය. අලින්ට පෙරේත දේශපාලනඥයන් සහ මුදලාලිලා විසින් පින්නවලින් පැහැරගනු ලැබ වධ දෙමින් ගස්‌වල බැඳ සිටින අලින් සිය ගණනක් රට පුරා සිටින බව ඔබ දන්නවාද? අලියකු නඩත්තු කිරීමට අවම වශයෙන් මසකට රුපියල් 50000 ක් අවශ්‍යය. ඒ මූලික ආහාර සඳහා පමණි. අලියකු ලෙඩ වුවහොත් ඒ ගණන දෙගුණ වෙයි. එහෙත් අලි පෙරේතයෝ ඉතා අවම මූල්‍ය සම්පත්, අවම ඉඩකඩ යටතේ එම සතුන් තබාගෙන වධ දෙති. පින්නවල ඇත්ගොව්වන් කරන්නේ අනාගත වධ බන්ධන සඳහා දැන්ම ම අලින් පුහුණු කිරීමද? පින්නවල අලියාට පහර දෙන නීච, අධම ගඳගහන ඇත්ගොව්වා සම්බන්ධයෙන් ඇත් අතුරු සෙවණ නමැති වධකාගාරයේ ප්‍රධානීන් ගන්නා පියවර ගැන අපි අවධානයෙන් බලා සිටිමු. ප්‍රමාද වන හැම තප්පරයකම අවාසිය එම වධකාගාරයේ ප්‍රධානීන්ට ය.
http://www.divaina.com/2014/01/29/editor.html
Pic Source
0 comments:
Post a Comment