Pages

Wednesday, January 29, 2014

ශ්‍රී ලංකා මහ බැංකුවට ප්‍රහාර එල්ලවීමේ යුද අපරාධය

76 කට අධික පිරිසක්‌ මරුමුවට පත් කරමින් කොළඹ කොටුවේ මහ බැංකුවට පුපුරණ ද්‍රව්‍ය අඩංගු ලොරියක්‌ සමග මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවකු කඩාවැදී ජනවාරි 31 දාට වසර 18 ක්‌ සපිරේ.

මෙය මුළුමනින්ම යුද අපරාධයකි.  එහෙත් මානව හිමිකම් කවුන්සිලය හෝ බටහිර රටවල් කොටි නායක ප්‍රභාකරන් යුද අපරාධකරුවකු ලෙස නම් කළේ නැත.

මෙම සිද්ධියේදී ඇමරිකානු ජපන් හා ඕලන්ද සංචාරකයන් කීපදෙනකු ද තුවාල ලැබීය. 

කොටුවේ මහ බැංකුවට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ලවීමත් සමගම ආර්. පී. ජී. යන ප්‍රහාරක අවිවලින් සැරසුණු කොටි ත්‍රස්‌තයන් දෙදෙනෙක්‌ ඉවක්‌ බවක්‌ නැතිව වෙඩි තබන්නට වූහ.

මහ බැංකු බෝම්බයට ගොදුරු වූ රජයේ සේවිකාවන්ගෙන් බොහෝ දෙනෙක්‌ අන්ධ භාවයට පත්වූහ. 

බෝම්බකරු එකී ප්‍රහාරයෙන් මියගිය අතර විග්නේශ්වරන් පාර්නියන්a හෙවත් කුට්‌ටි සහ කදිරගාමම් තම්බි ශිවකුමාර් හෙවත් රඝූ අසු විය.

එහෙත් එකී ප්‍රහාරයට දසදෙනකු සම්බන්ධ යෑයි සනාථ විය.

ඒ අනුව කොටි නායක ප්‍රභාකරන් හෙවත් තිරුබාකරන් නොහොත් කුරේ නොහොත් කරිකාලන් හෙවත් වේලුසාමිගේ පුත්‍ර ඇල්පා ෂිවෂංකර්, පොට්‌ටු අම්මාන් හෙවත් පොට්‌ටු කන්දයියා, ෂිව මොහාන් හෙවත් චාල්ස්‌, විග්නේෂ්වරන් නාලන් හෙවත් කුට්‌ටි, කදිරගාමම් තම්බි හෙවත් රඝූ සෙල්ලයියා, නවරත්නම්, රාජදුරෙ සතුරුකුලසිංහම් කන්දයියා ශ්‍රී ගනේෂ් රාමයියා, කරුපයියා කමලනාදන් යන කොටින්ට නඩු පැවරුණි. මෙම කොටින්ගෙන් අට දෙනෙක්‌ අධිකරණය හමුවේ පෙනීසිටියේ නැත. එහෙත් විග්නේෂ්වරන් නාදන් සහ කදිරගාමම් සිවකුමාර් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ප්‍රභාකරන් ඇතුළු කොටි හතරකට වසර 200 බැගින් බර වැඩ සහිතව සිරදඬුවම් ද තවත් දෙදෙනකුට ජීවිතාන්තය තෙක්‌ සිරදඬුවම් නියම කළේය. 2002 නොවැම්බර් මස ප්‍රකාශයට පත් වූ මෙම තීන්දුව නිසා එදා පැවැති රජය දැඩි භීතියකට පත්වී ඇත. සරත් අඹේපිsටිය විනිසුරුතුමා නොබියව දුන් මෙම තීන්දුව නිසා කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් පැවසුවේ කොටි සංවිධානය නඩු අසා ශ්‍රී ලංකාවේ නායකයන්ව වසර 1000 කට සිරගෙට නියම කරන බවයි. 

මේ පසුබිම යටතේ ප්‍රභාකරන් මහ බැංකු බෝම්බ ප්‍රහාරයට වරදකරු වූයේ කෙසේද?

ඒ ගල්කිස්‌ස ත්‍රස්‌ත මර්දන ඒකකයේ පොලිස්‌ පරීක්‍ෂක නිලාබ්දීන් සිය දිවි පරදුවට තබා ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු සොයා ගැනීමයි. නිලාබ්දීන් ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු සොයාගත් බව එදා විශේෂයෙන් හෙළි කළේ 'දිවයිනයි'.

ත්‍රස්‌තවාදීන්ගේන් ප්‍රශ්න කිරීමේ සහජ හැකියාවක්‌ ඇති නිලාබ්දීන් පස්‌වැනි විත්තිකාර කදිරගාමම් තම්බි සිවකුමාර් නොහොත් රගුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූයේ වේලුපිල්ලේ ප්‍රභාකරන් යෝකි කොටි කඳවුරකට පැමිණ බෝම්බ ලොරිය පදවාගෙන ගිය රාජු සහ සිවුවැනි විත්තිකාර කුට්‌ටි සමග සාකච්ඡා කර ඔවුන්ට රිදීයෙන් තැනූ සිහිවටන දුන් බවයි. නිලාබ්දීන් වැඩිදුරටත් රගුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූයේ එකී සිහිවටනය මුතූර්හි සිටින පියා දුන් බවයි.

මේ අනුව වහාම ක්‍රියාත්මක වූ නිලාබ්දීන් අතිශයින්ම විශ්වාසවන්ත කීපදෙනකු සමග මුතූර් බලා යැමට පිටත් විය. 

ත්‍රිකුණාමලයේ සිට මුතූර් වෙත පාලම්පාරුවෙන් පිටත් වූ නිලාබ්දීන් ඇතුළු පිරිස හමුදා භටයන්ට තමන් කවුද හෝ යන ගමන ගැන පැවසුවේ නැත.

එහෙත් හමුදා නිලධාරීන් පැවසුවේ සවස 5 ට පෙර මුතුර් පාලම්පාරුවට නුඹලා නොපැමිණියහොත් මරණය නියත බවයි.

සවස 5 අවසාන පාලම්පාරු ගමනින් පසු කොටි එම ප්‍රදේශයට එනවා යෑයි පාලම්පාරුව පදවන්නා ද අනතුරු ඇඟවීය.

මුතූර්හි පොල් වත්තකට ගිය නිලාබ්දීන් රගු පැවසූ පරිදි නිවස දුටුවේය. 

රගුගේ පියා ඇමතූ නිලාබ්දීන් හමුදාව මේ පළාතට එන බව කියා රගු තමන්ට කිවූ බවත් ප්‍රභාකරන් දුන් සිහිවටනය ආරක්‍ෂිත ස්‌ථානයකට ගෙන යැමට පැමිණි බවද කීවේය. 

නිවසේ කාමරයක තිබූ සිහිවටනය සහිත ඵලකය සොයාගත් නිලාබ්දීන් රගුගේ පියාවද රැගෙන පාලම්පාරුව වෙතට පැමිණෙන විට වේලාව 4.59 විය. ඒ වනවිට පාලම්පාරුව ත්‍රිකුණාමලය බලා යැමට සූදානමින් තිබිණි.

නිලාබ්දීන් ගෙන ආ සමරුඵලකයේ ඇඟිලි සටහන් සැසඳීම සඳහා පොලිස්‌ ඇඟිලි සටහන් අංශයට භාර කෙරුණි. එවකට ඇඟිලි සටහන් අංශයේ පොලිස්‌ සැරයන් ආර්. එම්. ඒ. බී. රත්නායක උප පොලිස්‌ පරීක්‍ෂක නෝමන් පෙරේරා සහ පොලිස්‌ සැරයන් පී. කේ. ආරියපාල යන නිලධාරීහු එකී සමරු ඵලකයේ තිබූ ඇඟිලි සටහන් විමර්ශනයට ලක්‌ කෙරූහ.

එහිදී සනාථ වූයේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ වම් මහපට ඇඟිලි සලකුණු සහ ත්‍රස්‌තවාදීන් දෙදෙනකුගේ ඇඟිලි සලකුණු එකී සමරුඵලකයේ තිබූ බවයි. 

ඒ වනවිට මදුරාසි පොලිසියේ තිබූ ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු රහස්‌ පොලිසියට ලැබී තිබිණි. එම ඇඟිලි සලකුණු හා සමරුඵලකයේ තිබූ ඇඟිලි සළකුණු පරීක්‍ෂා කිරීමෙන් එය ප්‍රභාකරන්ගේ යෑයි සනාථ විය. 

එදා පොලිස්‌ සැරයන් ආර්. එම්. ඒ. බී. රත්නායක සියදිවි පරදුවට තබමින් ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු සංසන්දනය කළ අයුරු ගැන සාක්‍ෂි දුන්නේය.

ශ්‍රී ලංකා මහ බැංකුව පුපුරුවා හැරීමට ක්‍රියා කිරීම ගැන නීතිපති බලධාරීන් විසින් චෝදනා 715 ක්‌ ඉදිරිපත් කර තිබුණි.

එකී චෝදනාවලින් 38 කට හැර අනිත් සියලු චෝදනාවලට චූදිතයන් 6 ක්‌ වරදකරු යෑයි අඹේපිටිය විනිසුරුතුමා නිගමනය කළේය.

වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු චූදිතයන් සිවුදෙනකුට චෝදනා 51 ක්‌ එල්ල වී තිබිණි.

ප්‍රභාකරන් හා චූදිතයන් දුටු තැන අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ද විනිසුරුතුමා රහස්‌ පොලිසියට නියෝග කළේය.

එසේම ප්‍රභාකරන් හා අනිකුත් චූදිතයන් සිවුදෙනකු සතු සියලුම නිශ්චල හා චංචල දේපළ රාජසන්තක කරන්නැයිද ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද නීතිපතිවරයාට නියෝග කරනු ලැබීය.

එහෙත් සරත් අඹේපිටිය විනිසුරුතුමාගේ නියෝග ක්‍රියාත්මක වූයේද?

කොටි සංවිධානයට සම්බන්ධ ටී. ආර්. ඒ. සංවිධානයේ බැංකු ගිණුම් කොළඹ බැංකු කීපයක තිබුණත් ඒවා රාජසන්තක වූයේ නැත.

මේ අතර ප්‍රභාකරන් වසර 200 ක්‌ සිරගෙට නියම වූ තීන්දුවට දායක වූ පොලිස්‌ පරීක්‍ෂක නිලාබ්දීන් හා ඇඟිලි සටහන් කාර්යාලයේ තිදෙනා පොලිසියට අමතක විය.

ඇඟිලි සටහන් අංශයේ උප පොලිස්‌ පරීක්‍ෂක නෝමන් පෙරේරා පොලිස්‌ පරීක්‍ෂක තනතුරටද රුපියල් 100,000 ක තෑගි මුදලක්‌ ද පොලිස්‌ සැරයන් ආර්. එම්. ඒ. බී. රත්නායක උප පොලිස්‌ තනතුරකට හා රුපියල් 75,000 ක්‌ ද පොලිස්‌ සැරයන් ආරියපාලට රුපියල් 75,000 ක්‌ ද 2003 පෙබරවාරි 17 වැනිදා, නිර්දේශ වූවත් එය ලැබුණේ නැත. විශ්‍රාම යැමෙන් පසු පොලිස්‌ සැරයන් රත්නායක 2010 වසරේ පොලිස්‌පතිට පැමිණිලි කරමින් මරණය පෙනි පෙනී ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු ගැන සාක්‍ෂි දුන් තමාට සිදුවූ අසාධාරණය ගැන කියා සිටියේය.

2011 .11. 22 රත්නායක මහතාට පොලිස්‌ දෙපාර්තමේන්තුවෙන් ලිපියක්‌ ලැබිණි. එහි සඳහන් වූයේ රුපියල් 5000 ක චෙක්‌පතක්‌ ඇති බවයි. එහෙත් රත්නායක මහතා එකී මුදල ප්‍රතික්‍ෂේප කළේය. ප්‍රභාකරන්ට එරෙහිව සාක්‍ෂි දුන් පොලිස්‌ නිලධාරියාගේ වටිනාකම වූයේ රුපියල් 5000 කි. පසුව මහ බැංකු බෝම්බය සම්බන්ධයෙන් තෑගි මුදල් ප්‍රදානය කිරීමේ උත්සවයක්‌ පොලිස්‌ මූලස්‌ථානයේදී පැවැත්වුණි. එම උත්සවයේදී ප්‍රභාකරන්ගේ සමරු ඵලකය සොයාගත් නිලාබ්දීන් හෝ ඇඟිලි සටහන් සැස» රත්නායක දකින්නට නොලැබිණි.

1996 ජනවාරි 31 වැනිදා ප්‍රභාකරන් සිදු කළ මෙම බිහිසුණු ක්‍රියාව යුද අපරාධයක්‌ බවට එදා රජය මානව හිමිකම් බලධාරීන්ට පැමිණිලි කිරීමට ක්‍රියා කළේ නැත.

එහෙත් මහ බැංකු බෝම්බය නිසා අන්ධ වූ පිරිස්‌ හා තුවාල ලැබූවන් තවමත් අප අතර වේ. එම ප්‍රහාරයට වගකිවයුතු කොටි බ්‍රිතාන්‍ය, නෝර්වේ, ජර්මනිය, ප්‍රංශය, ඇමරිකාව සහ කැනඩාවේ සිටී.

මේ පසුබිම මැද මහ බැංකු බෝම්බයට ගොදුරු වූවන් වෙනුවෙන් යුක්‌තිය ඉටු වූයේද?

ලබන මාර්තු 3 දා ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වන අවස්‌ථාවේ මහ බැංකු බෝම්බ ප්‍රහාරය මානව හිමිකම් බලධාරීන්ට සිහිපත්විය විය යුතු නොවේද?

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/01/29/feature.html

0 comments: