Pages

Thursday, January 16, 2014

සම්බුදු පහස ලද, සුන්දරත්වයෙන් අනූන, ශ්‍රී පාදස්‌ථානය..!

"කරුණාවයි. කරුණාවයි. සමන් දෙවිඳු කරුණාවයි." යන මිහිරි ගී රාවය සිරිපා අඩවියෙන් රැව් පිළිරැව් දෙන සමය උඳුවප් පුර පසළොස්‌වක්‌ පොහොය උදා වෙනවාත් සමඟම ආරම්භ විය. සිරිපා වන්දනාව සිරිපා කරුණා කිරීම යෑයි වහරනු ලබන්නේ එකී වන්දනා ගමනේදී පාවිච්චි කරනු ලබන කරුණාව යන වචනය පෙරදැරි කරගෙනය. සුමන කූටයට අරක්‌ගත් සුමන සමන් දෙවි රජුන්ගේ ඇරයුමෙන් සමන්ගිර මත බුදුරදුන්ගේ වම් සිරිපා සටහන පිහිටවූ බව අපේ වංශ කතාවන්හි සඳහන් වේ. දුරාතීතයේ සිට ලක්‌වැසි ජනයා සමන් ගිර තරණය කළෝ හුදු ශ්‍රද්ධාවෙන් මිස විනෝදය පිණිස නොවේ.

ඉතිරී ගිය සැදැහැයෙන් හා අප්‍රමාණ වූ බුදුගුණ මෙනෙහි කරමින් සකස්‌ වූ මේ වන්දනා ගමනට සම කළ හැකි වෙනත් වන්දනා ගමනක්‌ දක්‌නට නොමැත. සිරිපා පුරා වෘත්තයේ සඳහන් වන විවිධ ඉතිහාසගත තොරතුරු අනුව විවිධ සමයවාදීන් හා විවිධ ජාතිකයන් නොයෙකුත් විශ්වාස පදනම් කරගෙන මෙහි ආ ගිය බව දකින්නට ඇත. කොයි කවුරු එහි ගියත් ශ්‍රී පාදස්‌ථානය බෞද්ධයන්ගේ අසහාය පූජනීය වස්‌තුවක්‌ බව අවිවාදයෙන් පිළිගෙන හමාරය.

මුහුදු මට්‌ටමින් අඩි හත්දාස්‌ තුන්සිය හැටක්‌ පමණ උස ඇති සමන්ත කූට පර්වත රාජයාට පරිවාර මෙන් ධර්මරාජගල, කුණුදිය පර්වතය, බෑන සමනළ ආදී ගල් කුළු අරක්‌ගෙන සිටියි. දිවයිනේ සතර දිගන්තයටම ශ්‍රී සෞභාග්‍යය උදාකරමින් ගලා බස්‌නා සිව් මහා ගංගා ද සමනල කන්දෙන් ආරම්භ වේ.

මේ පූජනීය ස්‌ථානය නැරඹූ "එමර්සන්" ටෙනන්ට්‌ පඬිවරයා එහි සූර්ය උදාවෙන විටත් බැසයන විටත් පෙරදිග හා අවරදිග අහසෙහි මැවෙන දර්ශනය රසවතුන්ගේ සිත් සතන් කුල්මත් කරන එකක්‌ යෑයි සඳහන් කරයි.

ස්‌වභාව සෞන්දර්යයෙන් මෙන්ම පූජනීයත්වයෙන් ද පරම පිවිතුරු පුණ්‍ය භූමි භාගයක්‌ වශයෙන් ශ්‍රී පාදස්‌ථානය වැදගත් කොට සලකන්නේ බොදු ජනතාව පමණක්‌ නොවේ. හින්දු, මුස්‌ලිම්, හා ක්‍රිස්‌තු බැතිමත්හු ද ස්‌වකීය ආගම්වලට ආවේණික පුද පූජා පවත්වමින් ශ්‍රීපාද වන්දනාව කරති.

සමස්‌ත බෞද්ධ ලෝකයාම හද පිරි බැතියෙන් ඇදහීමෙන් යුතුව සිරිපා පිණිපා කරන්නේ ඒ සඳහා පියනගන්නේ භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයෙහි වෙසක්‌ පොහෝ දින ලක්‌දිව කැලණියට වැඩම කළ දිනයේදී සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් පන්සියයක්‌ මහ රහතන් වහන්සේලා කැටුව අහසින් වැඩමකොට එහි ඉඳුනිල් මාණික්‍ය මත වම් සිරිපා සටහන පිහිටුවා එය පූජනීයත්වයට පාත්‍ර කළ හෙයිනි.

බුදුපියාණන් වහන්සේ සමනල අඩවියේ සිරිපා පිහිටුවා වදාළ බව

"තත්ථ ධම්මං දෙසයිත්වා
සත්ථා ලෝකානු කම්පණේ
උග්ගන්ත වාසුමනෙ කූට පදං
දස්‌සෙයි නාය කො" යනුවෙන් මහාවංශයෙහි සඳහන් වේ.

මේ ඓතිහාසික සිද්ධිය සද්ධර්මරත්නාවලි රචක ධර්මසේන හාමුදුරුවන් දකින්නේ මෙසේය.

"බුදුන්ගේ පියවර එබු තන්හි පෙනේවයි යන අධිෂ්ඨානයක්‌ ඇතිව විනා නොපෙනෙන්නෙයි මෙතෙක්‌ දෙනාට පෙනේවායි අධිෂ්ඨාන කළ සතර මහා දිවයින වැසි වැස එක හෙලා වතුර ගැලූ නමුත් කෙතෙක්‌ ඇත් අස්‌ ගව මහීෂාදී මැඬගෙන යෙන් නමුදු තෙස්‌සා රජස්‌ සුඟකුන් සොල්වා ලිය නොහෙති" යනුවෙනි.

දාඨ වංශයෙහි සිරිපා සටහන පිහිටුවීම ගැන විස්‌තර කරන්නේ මෙසේය.

"දේසයිත්වාන සද්ධම්මං සග්ග මොක්‌ක සුඛාචනං
සොසත්තා සුමනේකූටේ දස්‌සෙයි පද ලාංඡනං"

සිරිපා වන්දනාවේ ආරම්භය පිළිබඳව යථා තත්ත්වය එසේ වුවත් ඒ ඈත අතීතයේ පටන් මේ දක්‌වාම සිරිපා වන්දනය සඳහා ඇදී ආවා වූද එන්නා වූද සැදැහැවතුන්ගේ සංඛ්‍යාව වැඩි වේ. පැරැණි හෙළ රජ දරුවන් පවා තම ජීවිතයේ එක්‌ වරක්‌ හෝ සිරිපා වන්දනා කිරීමට අමතක නොකළ බව ඉතිහාසගත සටහන්වලින් හෙළි වේ. ශ්‍රී පාද වන්දනාවේ ගිය රජවරු අතර වළගම්බා, ශ්‍රී සංඝබෝධි, විජයබාහු, මහා පරාක්‍රමබාහු, දෙවැනි විමලධර්මසූරිය වැනි රජවරු ද මහනුවර යුගයේ විසූ නායක්‌කාර වංශික රජවරු ද වේ.

පෙර දවස සිරිපා වන්දනා කොට ඇත්තේ ජීවිතය ගැන පවා නොසලකා ගෙනය. විශාල කැපවීමකින් තුන්දොරින්ම සංවරය ඇතිකරගෙන ලොකු ඕනෑකමකින් කරුණා කළ බව පෙනේ. එහෙත් අද හැම අතින්ම පහසුකම් සලසා දී ඇත. වන්දනා බැතිමතුන්ගේ ගමනාගමනය, සෞඛ්‍ය පහසුකම්, ආරක්‍ෂා සංවිධාන ආදී සෑම පහසුකමක්‌ම මේ සඳහා යොදා ඇත.

සිරිපා මළුවට නගින බොදු උවසුවා
යංනම්මදාය නදියා පුලිනේච තීරේ
යංසච්ච බද්ධ ගිරිකේ සුමනාච ලග්ගේ
යනාදී වශයෙන් බුදුගුණ සිහිකර සිරිපා පතුල මත දොහොත් මුදුන් තබා වැඳ නමස්‌කාර කරයි.

වතුරුවිල හේමාලෝක නාහිමි
http://www.divaina.com/2014/01/15/feature02.html

Pic Source

0 comments: