Pages

Tuesday, January 21, 2014

පක්ෂි ගැටුම් නිසා බාධාවන මත්තල ගුවන් ගමන්

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ යළිත් වරක්‌ ජනතාවගේ කතාබහට ලක්‌ව ඇත. ඒ පසුගිය 11 වන දින මොනරුන් දෙදෙනකු නිසාවූ ගුවන් අනතුර සම්බන්ධවය. ගුවන් මගීන් 180 රැගත් FLY DUBAI ගුවන් සේවයට අයත් බෝයිං 737 ගුවන් යානයක්‌ ගුවන් ගත කිරීමට යැමේදී මෙම අනතුර සිදුවී ඇති අතර එයින් ගුවන් මගීන් කිසිවෙකුටත් හානියක්‌ සිදුවී නොමැත. මින් පෙරද මෙවැනිම ගුවන් අනතුරු දෙකක්‌ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් වාර්තා විය. දිගින් දිගටම සිදුවන මෙවැනි අනතුරු මගින් ශ්‍රී ලාංකික අනන්‍යතාවක්‌ සහිත ආචාරශීලී ගුවන් සේවාවක්‌ ඉටු කරන අප රටේ ගුවන් සේවයටද පොදුවේ රටටද අත්වන්නේ තරමක නරක ප්‍රතිඵලය.

පසුගිය 11 දා කටුනායක ජාත්‍යන්තර ගුවන් පථයෙන් ඉහළ අහසට නැගෙන බෝයිං 737 ගුවන් යානයේ ගමනාන්තය වී ඇත්තේ මැදපෙරදිග දොaහා කටාර් රාජ්‍යය. එය මත්තල ගුවන් පථය වෙත ගොඩබස්‌සනු ලබන්නේ දොහා කටාර් වෙත යැමට නියමිත ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන් 28 දෙනෙකු එම ගුවන් යානය වෙත මත්තලින් ගොඩවීමට සූදානම් කර තිබූ සැලසුමකට අනුවය. මගීන්ගෙන් සමන්විත යානය නැවත ගුවන්ගත කිරීමට යැමේදී මෙම අනතුර සිදුවී ඇති අතර පසුව එම ගුවන් ගමන අවලංගු කොට වෙනත් ගුවන් යානයක්‌ මගින් දොaහා කටාර් වෙත ගුවන් මගීහු පිටත් කොට යෑවූහ.

අදාළ සිදුවීම සම්බන්ධව අප රටේ මෙන්ම විදේශයන්හීද විවිධ පුවත්පත් මගින්ද අනෙකුත් මාධ්‍යයන් ඔස්‌සේද ඡායාරූප සහිතව විස්‌තර පළවෙන්නට පටන් ගත්තේය.

ඒ සම්බන්ධව මෙරට සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලාධාරි එච්. එම්. සී. නිමල්සිරි මහතා මාධ්‍යයට අදහස්‌ පළකරමින් කියා තිබුණේ ගුවන් යානාවල පක්‍ෂීන් ගැටෙන එක වැලැක්‌විය නොහැකි බවය. පක්‌ෂීන් ගැටීම හේතුවෙන් ගුවන්යානා ගුවන්ගත කිරීමෙන් වැලකී නොසිටිය හැකි බවය. මෙවැනි අනතුරු සාමාන්‍ය සිදුවීම් ලෙස සැලකිය යුතු බව කියා සිටින ඒ මහතා පසුගිය වසර තුළ කටුනායකදී පමණක්‌ පක්‌ෂීන් ගැටීම් 29 ක්‌ වාර්තාවූ බවත් මත්තලින් වාර්තා වෙන්නේ එවැනි සිදුවීම් 03 ක්‌ පමණක්‌ බවත් සඳහන් කර සිටින්නේය.

ඒ මහතාගේ දැක්‌මට අනුව මත්තල සිදුවීම සාමාන්‍ය දෙයක්‌ වුවත් සිදු වූ අනතුර මගින් ජාත්‍යන්තරයට රැගෙන යන පුවතින් කියවෙන්නේ අප රට සම්බන්ධව රටේ ගුවන් සේවය සම්බන්ධව අසුභ ආරංචිය. ගුවන් මගීන්ගේ වාසනාවට මෙම අනතුරින් මගීන් කිසිවෙකුට හානියක්‌ සිදුවූයේ නැත. මත්තල ගුවන් අනතුර යානයට පමණක්‌ හානි පැමිණවීමෙන් හමාරවීම වගකිවයුත්තන්ට සැනසුම් සුසුම් හෙළීමට සමත් කාරණයක්‌ වී ඇත. එහෙත් මත්තලින් විදේශගතවීමට හෝ මෙරටට පැමිණීමට සැලසුම් කර සිsටින ගුවන් මගීන්ගේ සිත්වලින් මෙම සිදුවීම සම්බන්ධව "සසල වීම" බැහැර කළ නොහැකි වී ඇත.

ජාත්‍යන්තර මට්‌ටමින් ගුවන් ගමන් සිදුකළ හැකි තවත් ගුවන් තොටක්‌ රටට අවශ්‍ය යෑයි පිරිසක්‌ මත පළ කරද්දී තවත් පිරිසක්‌ තව එකක්‌ කන්නදැයි යන අදහසේ සිටියේය. මත්තල ගුවන් තොටුපළ ඉදිවන්නේ ඒ පරිසරයෙහිදීය. එය ඉදිකිරීමේදී විවිධ පාරිසරික ගැටලු මතුවන්නට විය. ඉන් ප්‍රධානතම තැනක්‌ ගත්තේ යාල අභයභූමිය ආශ්‍රිතව ජීවත්වන සතුන් සම්බන්ධවය. ගුවන්තොට ඉදිකිරීම පිණිස ඉඩම් හෙක්‌ටයාර් 2000 ක භූමියක්‌ වෙන්වන්නේ එහි නිදහසේ සැරිසැරූ වන සතුන් දහස්‌ ගණනක්‌ උපන් බිම තුළ අනාථයන් බවට පත් කරමින්ය.

එහි පළමු අදියරේ ඉදිකිරීම් හෙක්‌ටයාර් 800 ක භූමි ප්‍රමාණයක ඉදිවූ අතර පසුගිය වසරේ මාර්තු 18 වන දින එය ජනතා අයිතියට පත්වන්නේද ජනාධිපතිවරයා අතිනි. ඉතිරි ඉදිකිරීම් කටයුතු 2017 වර්ෂයේදී අවසන්වීමටද නියමිතය.

1963 දී ආරම්භකොට ඉන් වසර පහක්‌ ඉක්‌මගිය තැන ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා යොදාගත් කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉදිකිරීමේදී පවා එය අනවශ්‍ය ඉදිකිරීමක්‌ යෑයි තර්ක කළ පිරිසක්‌ සිටියහ. එබැවින් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ හොඳ ද, නරකද යන්න තීන්දු වන්නේ අනාගතයේදීය. එහෙත් වන සතුන් නිසා ගුවන් තොටට සිදුවන හානියත් ගුවන්තොට නිසා වන සතුන්ට මත්තලදී විඳින්නට වෙන හානියත් ලෙහෙසියෙන් බැහැර කළ නොහැකි යථාර්ථයක්‌ බව පිළිගත යුතුය.

මත්තලින් මේ වන විට පෙනෙමින් පවතින්නේ මිනිසා විසින් සොබාදහමට එරෙහිව නැඟී සිටීමේ අනිටු විපාකය. මත්තල ගුවන් පථයෙන් ගුවනට එසවෙන ගුවන් යානයක අධික වායු පීඩනය හේතුවෙන් අසල ගැවසෙන මොනරෙක්‌ ගුවන් යානය වෙත ඇදී එන්නේත් ඉන් ගුවන් අනතුරු සිදු වන්නේත් එය වන සතුන් නිදහසේ සැරිසැරූ බිමක ඉදිවීම හේතුවෙන්ය. ඉදිරියේදීද මෙවැනි අනතුරු මත්තලදී සිදු නොවේ යෑයි සහතික වීමට මේ වන විට කිසිවෙකුට නොහැකිය. මත්තල ගුවන්තොට ආරක්‍ෂාකාරි ගුවන් ගමනක්‌ සඳහා සුදුසු ස්‌ථානය බවට පත්විය යුතුය. ඉදිරියේදී එය සැබෑවක්‌ වීම මත්තල ගුවන් තොට ඉදිකිරීම තරමටම වැදගත් විය යුතුය. ලොව විශාලතම ගුවන් යානයක්‌ වන A 380 වැනි යානා පවා අපහසුවකින් තොරව ගොඩ බැස්‌සවිය හැකි මත්තල පිළිබඳවත් එය ආරක්‍ෂිත ගුවන් ගමනක්‌ සඳහා සුදුසු තැනක්‌ බවත් ලොවට ඒත්තු ගැන්වීම වගකිවයුත්තන්ගේ රාජකාරිය විය යුතුය.

පසුගිය 11 දා සිදුවීම සුළු සිදුවීමක්‌ ලෙස අර්ථ ගන්වනු ලබන්නේ එය ගුවන් යානයට පමණක්‌ හානි සිදුවීමෙන් කෙළවර වූ නිසාය. බැරිවෙලාවත් එය ෙඛේදවාචකයකින් කෙළවර වූයේ නම් එසේ වන්නේ මිනිස්‌ ජීවිත 180 ක්‌ද සමගය. එයින්ද වැඩි පිරිසක්‌ විදේශිකයන්ය. අනතුර හේතුවෙන් තමන්ට විඳින්නට සිදුවූ මානසික පීඩනයත් දොහා කටාර් රාජ්‍ය වෙත යැමේදී සිද්ධවූ ප්‍රමාදයත් හේතුවෙන් වරද පැටවී ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් සේවය වෙතය.

දීර්ඝ ගුවන් ගමනක යෙදෙන වෙනත් රටක ගුවන් යානයක්‌ වේවා ශ්‍රී ලංකාවට අයිති ගුවන් යානයක්‌ වේවා අප රටේ ගුවන් පථයක්‌ වෙත ගොඩ බස්‌සනු ලබන්නේ රටට විශාල ආර්ථික වාසි සමූහයක්‌ද සමග බැවින් ඉන් රටට අත්වන්නේ විශාල යහපතකි. සංචාරක කර්මාන්තයෙන් රටට විදේශ විනිමය රැගෙන ඒමත් ඉන් සංවර්ධන ඉලක්‌ක කරා ළඟාවීමත් සහිත ආර්ථික සැලසුමක්‌ ඇති මෙවැනි සිදුවීම් සුබදායී ප්‍රතිඵල ගෙන දෙන්නේ නැත. අප යළි යළිත් කල්පනා කළ යුත්තේ මේ යථාර්ථයයි.

රුවන් ජයවර්ධන
http://www.divaina.com/2014/01/19/feature05.html

0 comments: