Pages

Tuesday, January 21, 2014

ඇමරිකාවේ කුහක වත හෙළිවීම

රුවන්ඩා ජනාධිපති පෝල් කගාමි ඉකුත් නොවැම්බර් මාසයේ ලංකාවේ පැවැති පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි වූවේය. කෙට්‌ටු ශරීරයකින් යුත් ඔහු අඩි හයකට වඩා උසැති පුද්ගලයෙකි. 1990 ඔක්‌තෝබර් මාසයේදී ඔහු රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණේ නායකයා වූ අතර උගන්ඩා හමුදාවේද සහාය ඇතිව හෙතෙම රුවන්ඩාව ආක්‍රමණය කළේය. 1994 අප්‍රේල් 06 වැනිදා රුවන්ඩා හා බුරුන්ඩි ජනපතිවරුන් රැගත් ගුවන් යානය කිගාලි අහසේදී වෙඩි තබා බිම හෙළන ලද අතර ඒ චෝදනාව එල්ල වූයේ ද පොල් කගාමිගේ දේශප්‍රේමී පෙරමුණ වෙතය. මෙයින් පසු රුවන්ඩාවේ දැවැන්ත මිනිස්‌ සංහාරයක්‌ සිදුවිය. රුවන්ඩාවේ බහුතර හුටු ජන කොටස විසින් සුළුතර ටුට්‌සිවරුන් ජනසංහාරයට ලක්‌ කරනු ලැබූ අතර අප්‍රේල් 06 වැනිදා සිට ජුලි මැද දක්‌වා කාලය තුළදී ලක්‍ෂ 5-10 ත් අතර පිරිසක්‌ ඝාතනයට ලක්‌ විය. මේ ඝාතනයට ලක්‌වූ පිරිස රුවන්ඩා ජනගහනයෙන් 20% ක පමණ පිරිසකි.

පෝල් කගාමිගේ රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණට යුද අපරාධ චෝදනා එල්ල විය. නමුත් ඔහුට සහාය දුන් ඇමරිකාව, බ්‍රිතාන්‍යය, බෙල්ජියම හා ඊශ්‍රායලය මේ චෝදනාවලින් ඔහු ගලවා දැමීමට කටයුතු කළේය. පෝල් කගාමිට කෙලින්ම ඇමරිකානු යුද ආධාර ලැබිණි. එදා පෝල් කගාමිට එල්ල වූ යුද අපරාධ චෝදනා සෝදා හරින්නට කටයුතු කළ පුද්ගලයකු වන්නේ පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ සංචාරය කළ යුද අපරාධ විමර්ශනය කිරීමේ තානාපති වූ ස්‌ටීවන් රැප්ය.

පෝල් කගාමිට එක්‌ හැන්දකින් බෙදන ස්‌ටීවන් රැප් ශ්‍රී ලංකා ජනපතිට තවත් හැන්දකින් "යුද අපරාධ" නමැති රස කැවිල්ල බෙදන්නට උත්සාහ කරන්නේ මන්ද? ලබන මාර්තුවේ පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසි වාරයේදී ශ්‍රී ලංකා රජය දඬුකඳේ ගසන්නට අවශ්‍ය යුද අපරාධ සාක්‍ෂි එකතු කිරීම සඳහා රැප් ශ්‍රී ලංකාවට පැමිණි බව රහසක්‌ නොවේ. යාපනය හා මන්නාරමේ බිෂොප්වරු රාජපක්‍ෂ රෙජීමයට එරෙහිව රැප්ට ගතු කියන්නට නොපැකිලුණහ. එය කතෝලික පල්ලියේ සිංහල බිෂොප්වරු හා දෙමළ බිෂොප්වරු අතර මතවාදී බෙදීමක්‌ පැහැදිලිව පෙන්නුම් කරන අවස්‌ථාවක්‌ විය. තමිල් සෙල්වම් සමග සිනහසෙමින් ඡායාරූපවලට පෙනී සිටි මන්නාරම රදගුරු රායප්පු ජෝශප් කිසිවිටකත් ශ්‍රී ලංකා රාජ්‍යයට වාසි සහගත ලෙස ඇමරිකාවට සාක්‍ෂි ලබාදෙන්නේ නැත.

මෙරට ඇමරිකානු තානාපති කාර්යාල ට්‌විටර් වෙබ් අඩවියේ පළවී තිබුණු වාර්තාවක්‌ නිසා රජයේ බලධාරීන්ගේ ඇස්‌ රතු විය. එහි ඡායාරූපයක්‌ සමග 'St Anthany's Ground - site of January 2009 Killing of hundred of families by Army Shelling' යනුවෙන් සටහන් කර තිබිණි. ඒ අනුව ස්‌ටීවන් රැප් හා කොළඹ ඇමරිකානු තානාපති මිෂෙල් සිසෙන් උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්ති ශෂිදරන් ඇතුළු කොටි හිතවාදීන්ගේ කේලම් ඇසීමෙන් පසුව වෙල්ලමුල්ලවයික්‌කාල් ප්‍රදේශයේ සිදුවූ ඝාතන ගැන ඒකපාර්ශ්වීය තීන්දුවක්‌ ගෙන ඇති බව පැහැදිලිය. පොල් කගාමිට එරෙහිව ලක්‍ෂ එකහමාරකට අධික වැසියන් පිරිසක්‌ ඝාතනය කිරීම පිළිබඳ චෝදනා එල්ල වුවත් ඒ චෝදනා අතහැර දැමූ ස්‌ටීවන් රැප් වෙල්ලමුල්ලවයික්‌කාල්හි ශාන්ත අන්තෝනි පල්ලියේ ක්‍රීඩාංගණය වෙත එල්ලවූ ෂෙල් ප්‍රහාර ගැන වඩා උනන්දුවෙයි. මේ ප්‍රහාර එල්ල කළේ කොටි සංවිධානය ද එසේ නැත්නම් හමුදාව ද යන්න කිසිවකු විසින් මෙතෙක්‌ නිශ්චය කර නැත. එහෙත් රැප් සියලු අපරාධ හමුදාව මත පටවා ඇත. ඇමරිකාව ශ්‍රී ලංකාව කෙරෙහි ද්වේෂයෙන් පසුවන්නේද? නැත්නම් සිය කුහකත්වය ප්‍රකාශ කරන්නේද?

ස්‌ටීවන් රැප් ලංකාවේ යුද අපරාධ ගැන සොයද්දී ඉකුත් බ්‍රහස්‌පතින්දා බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් පුවත්පතේ 2004 වසරේදී ඉරාකයේ ෆලුජා නගරයේදී ගනු ලැබූ ඡායාරූප කිහිපයක්‌ පළ කර තිබිණි. මේ ඡායාරූපවලින් හෙළි කළේ කුමක්‌ද? ඇමරිකානු සොල්දාදුවන් ඉරාක සටන්කාමීන්ගේ සිරුරු පෙට්‍රල් දමා පුළුස්‌සන ඡායාරූපයි. එක්‌ ඡායාරූපයක ඇමරිකානු සොල්දාදුවෙක්‌ සිනහසෙමින් මිනී ඔළුවක්‌ ළඟ සිටගෙන සිටී. මේ ඡායාරූප ශාන්ත ඇන්තනී පල්ලිය අසල ගනු ලැබූ ඡායාරූපවලට වඩා බොහෝ භයානකය. ඒ පල්ලිය අසල කිසිම මිනී ඔළුවක්‌ හමුවූයේ නැත. මේ ඡායාරූප මාධ්‍යයට නිකුත්වීම ඇමරිකානු ආරක්‍ෂක අංශ විමතියට පත් කිරීමකි. මේ ඡායාරූප පිළිබඳ තවත් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇති බව පෙන්ටගනය කියයි. මේ ඡායාරූප අතර ඉරාක සටන්කාමීන්ගේ මළ සිරුරු හමුදා සුනඛයන්ට ආහාරයට දී ඇති අයුරු දැක්‌වෙන ඒවාත් ඇති අතර මෙය ඇමරිකානු ආරක්‍ෂක අංශවලට බලවත් නිග්‍රහයක්‌ ඇති කරන ඡායාරූප වේ. ලෝක යුද අපරාධ පිළිබඳ විමර්ශනය කරන තානාපති ස්‌ටීවන් රැප් මහතා මේ ඡායාරූප ගැන විමර්ශනයක්‌ නොකරන්නේ මන්ද? ශ්‍රී ලංකා හමුදාව කිසිම විටක මෙවැනි අධම අශික්‌කිත ආකාරයෙන් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට සලකා නැත. එවැන්නකට කිසිදු සාක්‌ෂියක්‌වත් හමුවී නැත.

ඇමරිකානු නියෝජිත රැප් ජනවාරි 06 වැනිදා සිට 11 වැනිදා තෙක්‌ ශ්‍රී ලංකා සංචාරයක නිරත විය. ඇත්තෙන්ම මේ තානාපති නිලධාරියා ලංකාවට පැමිණියේ ද කිසියම් පූර්ව අදහසක්‌ ඇතිව බව සහතිකය. ඔහු ලංකාවේ බලධාරීන් සමග පැවැති සාකච්ඡාවලදී 2009 මැයි මාසයේදී උතුරේ වැසියන් හතළිස්‌ දහසක්‌ ඝාතනය වූයේය යන අදහස තමාට ද පිළිගත හැකි බව ප්‍රකාශ කර ඇත. එසේනම් රැප් ප්‍රකාශ කරන මතය දෙමළ ඩයස්‌පෝරාවේ මතයද? එමෙන්ම ඔහු කොටි සාමාජිකයන් පුනරුත්ථාපනය කිරීම වෙනුවට ඔවුනට එරෙහිව නඩු පැවරුවා නම් වඩා යෝග්‍ය බව ප්‍රකාශ කර ඇත. එක්‌ පැත්තකින් මියගිය දෙමළ වැසියන්ගේ මළ සිරුරු සොයන මේ ඇමරිකානු තානාපතිවරයා අනෙක්‌ පසින් කොටි සාමාජිකයන්ට එරෙහිව නඩු පැවරුවා නම් වඩා යහපත් යෑයි කියයි. මේ දෙබිඩිභාවය කවරක්‌ද? ඇෆ්ගනිස්‌තානයට, පකිස්‌තානයට, යේමනයට නොනවත්වා ෙඩ්‍රෝන් ප්‍රහාර එල්ල කරන ඇමරිකාව ඒ හරහා සිදුවන යුද අපරාධ ගැන කිසිවක්‌ නොකියයි. නමුත් යුද්ධය අවසන් වී වසර 5 ක්‌ ගතවී ලංකාවේ සියලු ජනයා සාමයෙන් සමගියෙන් ජීවත්වෙද්දී නැවතත් පරණ තුවාල පාරන්නට උත්සාහ ගනී. ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමෙන් සිදු වන්නේ කුමක්‌ද? නැවතත් ලංකා සමාජය දෙකට බෙදීමක්‌ ඇතිවේ. සිංහල, දෙමළ සංහිඳියාව විනාශ වී යයි. ඉරාකය, ලිබියාව සිවිල් යුද්ධයකට ඇද දැමූ ඇමරිකාව උත්සාහ කරන්නේ ලංකාවත් නැවත සිවිල් යුද්ධයකට ඇද දමන්නද? මුස්‌ලිම් ලෝකයම ගිනි ගනිද්දී මේ ආසියාවත් ගිනි තැබීමට ඇමරිකාවට අවශ්‍ය වී ඇත. එහෙත් මේ යුද අපරාධ උගුලෙන් ගැලවීමට ශ්‍රී ලංකා රජය වඩාත් කල්පනාකාරී ලෙස කටයුතු කළ යුතුව ඇත. නැත්නම් 2009 දී ලබාගත් ජයග්‍රහණ වියෑකී යනු ඇත.

චතුර පමුණුව
http://www.divaina.com/2014/01/19/forign.html

1 comments:

Unknown said...

සියලූම ඝනද්‍රව්‍ය උණුවී වාෂ්ප බවට පත්වේ.සියලූම ශුද්ධ වස්තු කෙළෙසී යයි.: මාක්ස් සහ එංගල්ස් කොමියුනිස්ට් ප‍්‍රකාශනය

ඉදිරියේ පුපුරා යන බව සහෝදර කල්ලිය දනිති. ඔවුන් හමුදාව ශක්තිමත් කරමින් රාජපක්ෂකරණය කරන්නේ එබැවිනි. සිංහල බෞද්ධයන් සුළු ජාතීන්ට පහරදීමට උසිගැන්විය නොහැකි නම් හමුදාවට සිංහල බෞද්ධයන්ට වෙඩි තැබීමට අණ ලැබෙනු ඇත.