Pages

Wednesday, January 8, 2014

පුරාවිද්‍යාව නින්දට වැටෙද්දී රංගිරි දඹුලූ පූජා භූමියේ පාරක්‌ කපලා... නටබුන් රැසක්‌ විනාශ මුඛයේ

ඓතිහාසික රංගිරි දඹුල්ල ලෙන් විහාර සංකීර්ණය පිහිටි ප්‍රදේශයේ නිරිත දිග බෑවුමේ පිහිටි දහයියාකන්ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිසි අවසරයකින් තොරව අඩි 20 ක්‌ පළලට විශාල මාර්ග පද්ධතියක්‌ මේ දිනවල ඉදිකරමින් පවතී.

මෙම ඉදිකිරීම් කඩිනම් පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදුකරනු ලබයි.

ලෙන් විහාර සංකීර්ණයේ බටහිර දිශාවට මුහුණලා පිහිටි ක්‍රි. ව. 1 - 2 සියවස්‌වලට අයත් බව සැලකෙන සෝමාවතිය දාගැබ් විහාර සංකීර්ණයට අයත් නටබුන් සහිත ප්‍රදේශයට යාබදව දහයියාකන්ද පිහිටා තිබීමත්, ඓතිහාසික තොරතුරු ගවේෂණය තවමත් ප්‍රාථමික මට්‌ටමේ පැවතීමත් නිසා දැනට සිදුකරමින් පවතින ඉදිකිරීම් හේතුවෙන් පුරා විද්‍යාත්මක නටබුන්වලට මෙන්ම පාරිසරික පද්ධතියටද දැඩි ලෙස හානි සිදුවෙමින් පවතින බව ප්‍රදේශයේ ජනතාව කියති. මාර්ගය ඉදිකිරීමේදී ගල් කුළකින් ජල උල්පත්ද මේ වනවිට මතුව තිබේ. 

දඹුල්ල නාගරික සංවර්ධන කාර්යාලයේ ප්‍රකාශකයකුගෙන් මේ පිළිබඳ දුරකථනයෙන් විමසීමේදී කියා සිටියේ පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව මෙම ඉදිකිරීම් සිදුකරන බවය. මධ්‍යම පළාතේ ප්‍රාදේශීය පුරාවිද්‍යා සහකාර අධ්‍යක්‍ෂ එල්. එම්. ගුණතිලක මහතා සඳහන් කර සිටියේ මෙම ඉදිකිරීම් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය නිසි අවසරයක්‌ ලබා ගෙන නොමැති බවය. කෙසේ වෙතත් පුරාවිද්‍යාත්මක ස්‌ථානයන්ට හානි නොවන අයුරින් පූජා භූමි ව්‍යාපෘතියට අදාළ සංවර්ධන සැලැස්‌මක්‌ සකස්‌ කරමින් පවතින බවය.

සරත් එරමිණිගම්මන - දඹුල්ල
http://www.divaina.com/2014/01/08/provin06.html

0 comments: