Pages

Tuesday, January 21, 2014

තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීම යහපාලනයක ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණයකි

රටක, සමාජයක සිදුවන ආර්ථික, දේශපාලන, සංස්‌කෘතික හා සමාජීය ක්‍රියාවන්ගෙන් ජනතා අවශ්‍යතාවන්ට සමීප දේ පමණක්‌ තෝරාගෙන දෛනිකව හා අඛණ්‌ඩව ඒවා ජනතාව වෙත ඉදිරිපත් කිරීම ප්‍රවෘත්තිකරණය (Journalism) නමින් සරලව හැඳින්විය හැකිය.

ඕනෑම සමාජයක දිනපතා සිදුවන අරගල, ගැටුම්, ආණ්‌ඩුවක ක්‍රියාකාරකම්, වංචා, දූෂණ ආදිය පිළිබඳ සවිඥානික වීමට ප්‍රවෘත්තිකරණය ජනතාවට වැදගත් වේ. ජනමාධ්‍ය ඒ කාර්ය භාරය සිදුකරමින් සිටී.

ප්‍රවෘත්තිකරණය ඔස්‌සේ පෙර කී තොරතුරු ජනතාව වෙත ගෙන යන වාහකයා වන්නේ ප්‍රවෘත්තිකාරකය (Journalist) නැතිනම් මාධ්‍යවේදියාය.

නිවැරදි තොරතුරු, ප්‍රවෘත්ති ප්‍රකාශයට පත්කිරීමේ නිදහස මාධ්‍යවේදීන්ට හිමිවිය යුතුය. අන්‍යයන්ගේ අදහස්‌ කෙරෙහි නිසි සැලකිල්ල දැක්‌වීමටත්, සමාජ සුබ සිද්ධිය සඳහා සිය වගකීම් ඉටුකිරීමට ප්‍රයත්න දැරීමත් මාධ්‍යවේදීන් සතු වගකීමකි.

මාධ්‍යවේදියා ඉදිරිපත් කරන තොරතුරු නිවැරදි විය යුතුය. විකෘති නොකළ තොරතුරු විය යුතුය. ලැබෙන තොරතුරුවල රහස්‍ය භාවය රැක ගැනීම, මූලාශ්‍රයන්හි අනන්‍යතාව හෙළි නොකිරීම සඳහා සදාචාරාත්මක අයිතියක්‌ මාධ්‍යවේදියා සතු වන්නේය.

පාඨකයා කම්පනයට පත් කරන සිත්වේදනාවන් ඇතිවන ප්‍රවෘත්ති සැපයීමෙන් මාධ්‍යවේදියා වැළකිය යුතුය. කෲරත්වය, ප්‍රචණ්‌ඩත්වය, දුෂ්ටත්වය, කාමුකත්වය, ලිංගිකත්වය හා අශිෂ්ටත්වය ආදිය පිළිබඳ කරුණු වාර්තා කිරීමේදී ද මාධ්‍යවේදියා වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුය. ජනවාර්ගික හෝ ආගමික අසමගියට වාර්තාකරණය මගින් අනුබල නොදීමට මාධ්‍යවේදියා වග බලා ගත යුතුය. කෙනකුගේ පෞද්ගලිකත්වයට ගෞරව කරමින් කටයුතු කළ යුතු අතරම ළමයින් සම්බන්ධව වගකීමෙන් වාර්තා කිරීමද කළ යුතුය.

මේ ප්‍රවෘත්තිකාරකයකු විසින් අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති අතරින් කිහිපයකි.

රටක තෙවැනි ඇස වන්නේ මාධ්‍ය බව පැවැසේ. එමෙන්ම විධායකය, ව්‍යවස්‌ථාදායකය සහ අධිකරණයට පසුව රටේ සිව්වැනි බලවේගය ලෙස සැලකෙන්නේ මාධ්‍ය බවද පිළිගැනේ. එසේ නම් මාධ්‍යවේදියා යනු ගෞරවණීය චරිතයකි. එහෙත් ඒ ඔහු හෝ ඇය සිය වෘත්තියේ ගෞරවය ආරක්‍ෂා කරන්නේ නම් පමණි.

අද අපේ රටේ මාධ්‍යවේදියා ගෞරවණීයව සිය වෘත්තිය සිදුකරමින් සිටින්නේද යන්න ප්‍රශ්නයකි. මාධ්‍යවේදියාට සිය වෘත්තීය ගෞරවාන්විතව කරගෙන යැමට රටේ ආර්ථික, දේශපාලනික හා සමාජ පරිසරය විසින් ඉඩකඩ ලබාදී තිබේද යන්න තවත් ප්‍රශ්නයකි.

මාධ්‍යවේදීන් අතර තම වෘත්තියට වටිනාකමක්‌ ලබා දෙමින් කටයුතු කරන මාධ්‍යවේදීහු සිටිති. එමෙන්ම රජයට, දේශපාලකයන්ට ගැතිකම් කරමින්,වරදාන වරප්‍රසාදවලට යටත් වෙමින් සිය වෘත්තියේ ගරුත්වය පාවාදෙන මාධ්‍යවේදීහුද සිටිති. වෘත්තිය ප්‍රතිපත්ති කෙරෙහි අබමල් රේණුවක තරමේ සැලකිල්ලක්‌ නොදක්‌වන, මාධ්‍ය වෘත්තිය ගණිකා වෘත්තියේ යොදවන ජඩ මාධ්‍යකරුවන් ක්‍රියා කරන්නේ රටක සමාජයක සුබ සිද්ධිය තකා නොව තම බඩ වඩා ගැනීම උදෙසාය.

මාධ්‍යවේදීන්ට ස්‌වයං නියාමනයක්‌ මෙන්ම ආචාරධර්ම පද්ධතියක අවශ්‍යතාව වර්තමානයේ ඉතා තදින් දැනේ. වාර්තාකරණයේදී පෞද්ගලික භාවය සහ මහජන උනන්දුව අතර සමතුලනයකට එළැඹීමට, රජය විසින් මාධ්‍යයට අතපෙවීම වැළැක්‌වීමට ස්‌වයං නියාමනයක්‌ අවශ්‍ය කර තිබේ. වැරදි වාර්තා, පෞද්ගලිකත්වයට හානි ගෙන දෙන ලිපි, අපරාධ සහ ලිංගික පුවත්, සංවේදීව වාර්තා නොකෙරෙන අවස්‌ථා, ලිංගික අපරාධවලට ලක්‌වන්නන් නැතිනම් වින්දිතයින්ගේ නම් හෙළි කිරීම, වාර්ගික හා ආගමික භේදයන් සඳහා පොළඹවන ලිපි මගින් ස්‌වයං නියාමනයන් කැඩී බිඳී යයි. එම නිසා මේ කෙරෙහි වැඩි අවධානය යොමු කිරීමට මාධ්‍යවේදීන්, කතුවරුන් මාධ්‍ය ප්‍රධානීන්ට දැඩි වගකීමක්‌ වෙනදාට වඩා පැවැරී ඇත.

ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම 2003 වසරේදී පිහිටුවන ලද්දේ පුවත්පත්වල පළවන වැරදි තොරතුරු නිසා අගතියට පත්වන පාර්ශ්වය උදෙසාය. වඩාත් සමතුලිත, නිවැරදි, අපක්‍ෂපාතී සහ වගකීමෙන් යුක්‌ත පුවත්පත් කලාවක්‌ උදෙසාය. පුවත්පත් පැමිණිලි කොමිසම පසුගියදා සිය දසවැනි සංවත්සරය සැමරුවේද ස්‌වයං නියාමනය සහ ආචාරධර්ම සඳහා අපේ රටේ මාධ්‍ය ක්‍ෂේත්‍රය අවදි කරවමිනි. ඒ උදෙසා දෙස්‌ විදෙස්‌ මාධ්‍යවේදීන් සහ රාජ්‍ය නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් දින දෙකක ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක්‌ කොළඹදී පවත්වමිනි.

ජනමාධ්‍ය ස්‌වයං නියාමනය සහ ආචාරධාර්මික වාර්තාකරණය නමින් සැසි හතක්‌ මෙකී සම්මන්ත්‍රණය පුරා පැවැත්විණි. කැනඩාවේ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ ටෝබි මෙන්ඩල්, ඇමරිකා එක්‌සත් ජනපදයේ ප්ලැට්‌ස්‌බර්ග් විශ්වවිද්‍යාලයේ සන්නිවේදන අධ්‍යයන අංශයේ මහාචාර්ය සකුන්තලා රාවෝ, ඉන්දියාවේ ගෝවා හි ජාත්‍යන්තර මධ්‍යස්‌ථානයේ නන්දනී සහායී, යුනෙස්‌කෝහී සන්නිවේදන වැඩසටහන් විශේෂඥ ඉස්‌ක්‍රා පැවෙන්ස්‌කා මෙන්ම ඉන්දියාව, මාලදිවයින, භූතානය, මියන්මාරය මෙන්ම ඩෙන්මාර්කය, නෝර්වේ යන රටවල මාධ්‍යවේදීහුද මෙම සම්මන්ත්‍රණයට එක්‌ව ජනමාධ්‍ය නිදහස ස්‌වයං නියාමනය, ආචාරධර්ම පිළිබඳ අදහස්‌ ප්‍රකාශ කළහ.

සම්මන්ත්‍රණයේ වැදගත් මෙන්ම ප්‍රධාන වශයෙන්ම සාකච්ඡාවට බඳුන් වූයේ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳය. එවැනි පනත් ගැනය.

අද අපේ රටේ ජාතික ආර්ථිකයේ නැතිනම් ජාතික ආදායමේ අතිවිශාල කොටසක්‌ සඳහා දායකවන්නේ ජනතාවය. උපතේ සිට මරණය දක්‌වාම රටවැසියාට, රජයට බදු ගෙවන්නට සිදුව තිබේ.

විදෙස්‌ ණය හැරුණු විට අද අපේ රට ගෙන යන්නේ ජනතාවගෙන් අය කරගන්නා අධික බදුවලින්ය යන්න අසත්‍යයක්‌ නොවේ. මෙසේ රජයට බදු ගෙවන ජනතාව සතු ශුද්ධ වූ අයිතියකි තමන් ගෙවන බදුවලට රජය සිදුකරන්නේ කුමක්‌ද යන්න දැන ගැනීම. මහා මාර්ගයක්‌, පාලමක්‌, වැවක්‌, සෑදීමට කොන්ත්‍රාත්කරුට ගෙවා ඇති මුදල ඒ සඳහා වන ව්‍යාපෘතියට වෙන් කළ සම්පූර්ණ මුදල, සෞඛ්‍ය සේවාව සඳහා රජය වියදම් කළ මුදල, තම දරුවා රජයේ පාසලකට ඇතුළත් කර ගැනීම ප්‍රතික්‌ෂේප කළේ ඇයි. මේ ආදී තොරතුරු දැන ගැනීම බදු ගෙවන ජනතාව සතු පරම අයිතියකි. එය තොරතුරු දැන ගැනීමේ අයිතියයි. මේ අයිතිය සුරක්‍ෂිත කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක ලක්‍ෂණයකි. රටවැසියාගේ රහසිගතභාවය ආරක්‍ෂා වන ආකාරයට රජයේ තොරතුරු ලබා ගැනීමට ඕනෑම කෙනකුට අයිතිය ඇත. රටේ බදු ගෙවන ජනතාව වෙනුවෙන් මේ තොරතුරු දැන ගැනීමේ අයිතිය මෙන්ම ඒවා රටට හෙළි කිරීමේ වගකීම මාධ්‍යවේදියාට ඇත.

මේ වන විට රටවල් සියයකට අධික සංඛ්‍යාවක තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කර තිබේ. ඒ අතර පාකිස්‌තානය, ඉන්දියාව, නේපාලය සහ බංගලාදේශය යන දකුණු ආසියානු රටවල්ද සිටී. අවාසනාවකට ශ්‍රී ලංකාව තවමත් මෙය නීතියක්‌ ලෙස, ජනතාවගේ අයිතිවාසිකමක්‌ ලෙස පිළිගෙන නැත.

ජනමාධ්‍ය නියෝජිතයන්, විශේෂඥයන්, නීති කෙටුම්පත් නිලධාරීන්, අධිකරණ අමාත්‍යාංශය සහ නීතිපතිවරයාද සමන්විත වූ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුක්‌ත වූ කමිටුවක්‌ විසින් 2002 වසරේදී "තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනතක්‌" කෙටුම්පත් කර ඇත. ඒ සඳහා 2004 වසරේදී ඇමැති මණ්‌ඩල අනුමැතියද ලැබිණි. එහෙත් ඒ වසරේදී පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ නිසා මෙම පනත් කෙටුම්පත මැතිසබයට ඉදිරිපත් නොකෙරිණි. ඉන් පසුව අධිකරණ ඇමැතිවරයා 2010 වසරේ මුල් කාලයේදී පෙරකී පනත් කෙටුම්පත සංශෝධන සහිතව වත්මන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත. ඒ පනත් කෙටුම්පත මේ දක්‌වා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අත රැඳී තිබේ.

සංශෝධිත පනත් කෙටුම්පත ජනාධිපතිවරයා තම සන්තකයේ තබාගෙන සිටින අතරතුරදී විපක්‍ෂයේ මන්ත්‍රී කරු ජයසූරිය මහතා මීට වසරකට දෙකකට පෙර පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්‌ ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිය සුරක්‍ෂිත කර ගැනීමේ පනත් කෙටුම්පතක්‌ පාර්ලිමේන්තු න්‍යාය පුස්‌තකයට ඇතුළත් කළේය. එය විවාද කිරීමේ දිනය එළැඹිණි. කරු ජයසූරිය මහතා විවාදය සඳහා සිය පෞද්ගලික යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානම් වෙද්දී ආණ්‌ඩු පක්‍ෂය කලබලයට පත් විය. ආණ්‌ඩුව විසින් තොරතුරු දැන ගැනීමේ අයිතිය සුරක්‍ෂිත කෙරෙන පනත් කෙටුම්පතක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටින බවත් එනිසා කරු ජයසූරිය මහතාගේ පෞද්ගලික යෝජනාවට ඉඩදිය නොහැකි බවත් ආණ්‌ඩු පක්‍ෂය කාථානායකවරයාට දැනුම් දුන්නේය. විපක්‍ෂය විසින් ගෙන එන්නට සූදානම් වූ පනත් කෙටුම්පත හකුළා දැමුවේ ඒ ආකාරයෙනි. ආණ්‌ඩුව ගෙන එන්නට සූදානම් යෑයි එදා කී පනත් කෙටුම්පත තවමත් නොමැත.

කොළඹදී පැවැති ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ පළමු සැසිය වූයේ මෙම පනත පිළිබඳ සාකච්ඡා කිරීමය. දෙදින සම්මන්ත්‍රණය ඇරැඹීමට පෙර පැවැති සමාරම්භක උළෙලේදී ප්‍රධාන දේශනය කළ මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර මහත්මියද තොරතුරු දැන ගැනීමේ අයිතිය සුරක්‍ෂිත කෙරෙන පනතක අවශ්‍යතාව දැඩිව ප්‍රකාශ කළාය. ජනතාවට නිදහසේ තොරතුරු ගලා යැමට තිබෙන නිදහස සීමාකර ඇතැයිද එමගින් සංවර්ධනයට ඇති ඉඩකඩ අහුරා තබෙන බවද කී මහාචාර්ය ගුණසේකර මහත්මිය ජනතා අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීමේ වගකීම සෑම රජයකටම ඇති බවත් තොරතුරු දැන ගැනීමේ අයිතිය සුරක්‍ෂිත කරන පනතක්‌ නොමැති කලාපයේ එකම රට ශ්‍රී ලංකාව වීම පිළිබඳව අතිශයින් කනගාටු විය යුතු බවත් ඇය ප්‍රකාශ කළාය. දේශපාලනයෙන් තොරවූ පොලිසියක්‌, අපක්‍ෂපාතී අධිකරණයක්‌ ඇත්නම් මාධ්‍යයට සිය කාර්යභාරය ඉතා හොඳින් කරගෙන යැමේ පරිසරයක්‌ නිර්මාණ විය හැකි බව කී මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර මහත්මිය අපක්‍ෂපාතී අධිකරණයක්‌ සහ දේශපාලනයෙන් තොර වූ පොලිසියක්‌ නොමැති කල මෙවැනි මාධ්‍ය නිදහසක්‌ පිළිබඳ කතා කිරීම තේරුමක්‌ නොමැති බවත් කීවාය.

දෙදින සම්මන්ත්‍රණයට සහභාගි වූ බොහෝ විදෙස්‌ නියෝජිතයන් ද මහාචාර්ය ගුණසේකර මහත්මියගේ අදහස්‌ හා එකඟවන අදහස්‌ පළකරන ලදී.

සම්මන්ත්‍රණය අවසානයේදී රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීම පැවරී තිබුණේ කැනඩාවේ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ ටෝබි මෙන්ඩල් මහතාටය. කලාපයේ සෑම රටක්‌ම ඇතුළුව රටවල් සියයකට ආසන්න සංඛ්‍යාවක තොරතුරු දැන ගැනීමේ අයිතිය ස්‌ථාපිත කර ඇතත් එවන් නීතියක්‌ නැත්තේ ශ්‍රී ලංකාවේ පමණක්‌ බවත් කී මෙන්ඩල් මහතා ඒ පිළිබඳ රජයේ දැඩි අවධානය යොමු කරවීය. රජය මෙරට මාධ්‍ය නිදහසට නිල නොවන ආකාරයට ඇඟිලි ගසමින් සිටින බවත් එවැනි වක්‍රාකාර අත පෙවීම් කිසිසේත් සිදු නොවිය යුතු බවත් ඔහු සිය නිර්දේශ ඉදිරිපත් කරමින් සඳහන් කළේය. එමෙන්ම මාධ්‍යවේදීන් සඳහා වන යථාර්ථවාදී ආචාර ධර්ම පද්ධතියක අවශ්‍යතාවද ඔහු අවධාරණය කළේය. රටේ මාධ්‍ය නිදහස සඳහා මාධ්‍යවේදීන් විසින් සිදුකරන ක්‍රියාවන් ප්‍රමාණවත් නොවන බවත් අදහස්‌ ප්‍රකාශ කිරීමේ නිදහස උදෙසා මීට වඩා සක්‍රිය විය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

අන්තර්ජාලය නිසා අද ඕනෑම කෙනෙක්‌ට මාධ්‍යවේදියකු බවට පත්විය හැකි බව මෙම සම්මන්ත්‍රණයේ තවත් සැසිවාරයකදී සාකච්ඡා විය. කෙනකුට ඕනෑම දෙයක්‌ අන්තර්ජාලයට එක්‌ කිරීමේ නිදහස අද ලැබී තිබේ. එය වගකීමකින් කළ යුතු වුවත් එවන් වගකීමක්‌ අද අන්තර්ජාලය තුළ සැරිසරද්දී දක්‌නට නොලැබේ. අන්තර් ජාලය තුළ මානව හිමිකම් සුරක්‍ෂිත කිරීම පිළිබඳව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවා සම්මුති යෝජනාවන් සම්මත කර ඇතැයි මෙහිදී සාකච්ඡා කෙරිණි.

අන්තර්ජාලයට ලබාදී තිබෙන නිදහස වරදවා තේරුම්ගත යුතු නැති බවත් වෙද නළාවක්‌ සතු වූ පමණින් කෙනකු වෛද්‍යවරයෙක්‌ නොවන්නා සේ පෑනක්‌ තිබූ පමණින් කෙනෙක්‌ මාධ්‍යවේදියකු නොවන බවත් ඇමරිකා එක්‌සත් ජනපදයේ ප්ලැට්‌ස්‌බර්ග් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සකුන්තලා රාවෝ මහත්මිය පෙන්වා දුන්නාය. මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ වසර දහයක මෙහෙවරද අගය කෙරිණි. වසර දහයක්‌ මෙවැනි කොමිසමක්‌ අඛණ්‌ඩව ක්‍රියාත්මක වීම රටේ යහපත් වූ මාධ්‍ය සදාචාරයක්‌ සඳහා මනා පිටිවහලක්‌ වන බවද මෙහිදී කියෑවිණි. අදහස්‌ ප්‍රකාශ කිරීම මෙන්ම නිවැරදි තොරතුරු දැන ගැනීමද මූලික අයිතිවාසිකමකි. ඒ සඳහා වන නීති සකස්‌ කර ඒවා සම්මත කිරීමට යම් රජයක්‌ පෙළඹෙන්නේ නැති නම් ඒ හොරකමට, වංචාවට අනුබල දෙන රජයකි. ජනතා මුදල් වැය කරන ආකාරය පිළිබඳ විනිවිද භාවයක්‌ අනුගමනය නොකරන රජයකි.

රජයක්‌ අවංක නම්, ප්‍රජාතන්ත්‍රවාදී නම්, යහපාලනයක්‌ අනුගමනය කරන්නේ නම් ජනතාව වෙත නිදහසේ තොරතුරු ගලාගෙන යාමට ඉඩදිය යුතුය. තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය නීතිගත කළ යුතුය. මාධ්‍ය ආයතනවලට මාධ්‍යවේදීන්ට සෘජුව හෝ අනියම් ආකාරයෙන් බලපෑම් නොකළ යුතුය. ආණ්‌ඩු බලය හිමිකරගෙන සිටින ඕනෑම දේශපාලන පක්‍ෂයකට හෝ බලවේගයකට එවන් වූ මාධ්‍ය සදාචාරයක අවශ්‍යතාව දැනෙනුයේ විපක්‍ෂයට ගිය අවස්‌ථාවකදීය. මේ අවශ්‍යතාව ආණ්‌ඩු පක්‍ෂය තුළ ඇති කිරීම සඳහා බල කිරීමේ වගකීම මාධ්‍යවේදීන්ට, මාධ්‍ය සංගම්වලට පැවරී තිබේ. එමෙන්ම ස්‌වයං නියාමනයකට යටත්ව ආචාර ධාර්මිකව වාර්තා කිරීමේ වගකීමෙන් බැහැර වීමටද මාධ්‍යවේදීන්ට හැකියාවක්‌ නැත. මාධ්‍යවේදියාගේ වටිනාකම අවතක්‌සේරු නොවන සේ කටයුතු කිරීමේ වගකීමද මාධ්‍යවේදියා සතුය. ඒ සඳහා පරිසරය සකස්‌ කිරීම රජයේ වගකීමකි. එහෙත් මාධ්‍යවේදීන් සඳහා ස්‌වයං නියාමනයන් හෝ ආචාරධර්ම සකස්‌කර ඒවා නීති බවට පත් කිරීමේ ඉඩකඩ රජයට ලබා නොදිය යුතුය. එය කළ යුත්තේ මාධ්‍යවේදීන් විසින්මය.

අජිත් අලහකෝන්
http://www.divaina.com/2014/01/21/feature01.html

සබැඳි ලිපි -
[
තොරතුරු දැන ගැනීමේ අයිතිය සුරක්‍ෂිත කරන පනතක්‌ නැති කලාපයේ එකම රට ශ්‍රී ලංකාවයි - මහාචාර්ය සාවිත්‍රි ගුණසේකරhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_2021.html
]

0 comments: