Pages

Friday, September 4, 2015

එක්‌නැලිගොඩ - අතුරු කථා

දශක තුනක කාලයක්‌ අපේ රටේ පැවති යුද්ධය නිසා ජීවිත අහිමිවූ හා විනාශ වූ මිනිස්‌ ජීවිත ප්‍රමාණය සුළු පටු නොවේ. රාජ්‍ය නායකයන් කීප දෙනකුම මෙම යුද අත්දැකීමට මුහුණදී ඇත. දැන් යුද්ධය නිම වී උතුරේ ජනතාවත් දකුණේ ජනතාවත් සාමය භුක්‌ති විඳිමින් සිටිති. ඒත් දැන් යුද අපරාධ සම්බන්ධයෙන් ගැටළු මතු කරමින් යුද්ධය නිමා කිරීමට ක්‍රියා කළ රාජ්‍ය නායකයන් මෙන්ම හමුදාවේ හමුදා බුද්ධි අංශවලත් කටයුතු විවේචනය කරමින් ඔවුන්ට එරෙහිව ජාත්‍යන්තරය කරලියට පැමිණ ඇත.

ඒ සඳහා පසුබිම් නිර්මාණය කරන දෙමළ ඩයස්‌ පෝරාව ක්‍රියාත්මක වන අන්දම ගැන අපි මේ තීරුවෙන්ම සාකච්ඡා කළෙමු. පසුගිය සති කීපය තුළ ජිනීවා මානව හිමිකම් කොමිසම සහ ඊට අදාළ ප්‍රචාරක ව්‍යාපාර දෙමළ ඩයස්‌පෝරාව සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය අමුතුවෙන් කිව යුතු නැත. ඒ සම්බන්ධ සෑහෙන ප්‍රමාණයේ ප්‍රවෘත්ති අපේ මුද්‍රිත හා විද්යුත් මාධ්‍යයන්ගෙන්ද ප්‍රචාරය කර ඇත.

ඩයස්‌පෝරාව අලුතෙන්ම අපේ රටට එරෙහිව නඟන ප්‍රබල චෝදනාව වී ඇත්තේ මාධ්‍යවේදී එක්‌නැලිගොඩ සිද්ධියයි. මේ සිද්ධියට අදාළව පසුගිය අඟහරුවාදා ''දිවයින'' මුල් පිටුවේ පළවූ වාර්තාවකින් පෙන්වා දී ඇත්තේ හමුදා බුද්ධි අංශ පත්ව ඇති අසීරුතාව සම්බන්ධයෙනි. එදිනම ''දිවයින'' කතුවැකියෙන්ද ඒ පිළිබඳ සාකච්ඡාවට බඳුන්කර තිබූ කරුණු ඉතා කාලෝචිතය. අප සමාජයේ විවිධ අංශවලද එක්‌නැලිගොඩ සම්බන්ධයෙන් කෙරෙන ප්‍රකාශයන් ඉහළ ගොස්‌ ඇති බවක්‌ පෙනෙන්නට ඇත. මේ අතර එංගලන්තය හා කැනඩාව වැනි රටවල් ශ්‍රී ලංකා විරෝධීව ගෙන යන ප්‍රචාරයන්ද එලෙසම ක්‍රියාත්මක වේ. ටැමිල්නෙට්‌ වෙබ් අඩවිය හා ටැමිල් ගාඩියන් මුද්‍රිත පුවත්පත මගින්ද එක්‌නැලිගොඩ සිද්ධියට පුළුල් ප්‍රචාරයක්‌ ලබාදෙන අතර ලන්ඩනයෙන් ප්‍රචාරය කෙරෙන දෙමළ ගුවන් විදුලි වැඩ සටහන් තුළද ඊට වැඩි ඉඩකඩක්‌ ලබාදී ඇත.

එක්‌නැලිගොඩ සම්බන්ධයෙන් නැවත කථාබහට ලක්‌ වූයේ පසුගිය ජුනි මාසයේදීය. එය මතු වූයේ පාර්ලිමේන්තුවේ දී විපක්‍ෂය විසින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන මහෙන්ද්‍රන් මහතා සම්බන්ධව මතු කරන ලද ප්‍රශ්නයකට ආණ්‌ඩු පක්‍ෂයේ පිළිතුරු ලබාදීමේදීය. එම පිළිතුර සැකෙවින් මෙසේය.

පසුගිය රාජපක්‍ෂ රෙජීමය රට පාලනය කළ යුගයේ තිබූ භීෂණය හා මර්දනය නිසා අර්ජුන් මහෙන්ද්‍රන් වැනි පිරිසක්‌ රට අතහැර ගියා. එසේ නොගියේ නම් ඔවුන්ටද ප්‍රගීත් එක්‌නැලිගොඩ හා ලසන්ත වික්‍රමතුංග වැනි අයට හිමිවූ ඉරණමම අත් වන්නට ඉඩ තිබිණි.''

මෙම ප්‍රකාශනය සම්බන්ධයෙන් ටැමිල් නෙට්‌ වෙබ් අඩවියත් ටැමිල් ගාඩියන් පුවත්පතත් විශාල ප්‍රසිද්ධියක්‌ ලබාදී තිබිණි. වරින්වර ඒ පිළිබඳව එම මාධ්‍ය මෙම ප්‍රවෘත්තිය විවිධ අයුරින් නැවත නැවත පළ කිරීම ගැනද අපේ අවධානය යොමු විය යුතුය. ලන්ඩන් ගුවන් විදුලි දෙමළ වැඩසටහන් වලදී මෙම ප්‍රවෘත්තිය පළ වූයේ ඊට අදාළ හැන්සාඩ් වාර්තාවල පිටු අංකද සඳහන් කරමිනි.

මේ සියලු කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමේදී පැන නගින ප්‍රශ්නයක්‌ ඇත. ඒ හමුදාවට බුද්ධි අංශයක්‌ අවශ්‍යද නැද්ද යන්නය. ලෝකයේ බොහෝ රටවල හමුදා බුද්ධි අංශ හා රහස්‌ ඔත්තු සේවා ක්‍රියාත්මක වන්නේ අතිශය රහසිගතවය. ඇමරිකාවේ සී. අයි. ඒ. ඉන්දියාවේ ''රෝ'' මහ බ්‍රිතාන්‍යයේ ඇම්ෆයිව් වැනි සියල්ල එසේ රහසිගතව ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතනයන්ය.

අපේ රටේ පැවැති දරුණු යුද්ධයෙන් මිනිස්‌ ජීවිත ලක්‍ෂ ගණනක්‌ විනාශ වූ බව අපි දනිමු. යුද්ධයකදී එසේ සිදුවීම වැළැක්‌වීමටද නොහැකිය. එසේ වුවද සිවිල් සමාජයේ ජීවිත බේරා ගනිමින් අපේ හමුදාව යුද ජයග්‍රහණය මෙහෙයවා ඇති ආකාරය ප්‍රශංසාවට ලක්‌විය යුතුය. නමුත් සිදු වන්නේ එහි අනෙක්‌ පැත්තය. අප එක්‌ කරුණක්‌ පිළිගත යුතුය. ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශයේ බුද්ධි අංශය කොටි සේවාවේ ඔත්තු සේවාව තරම් ශූර නොවීය. ඊට හේතුව ප්‍රභාකරන්ගේ හෝ පොට්‌ටු අම්මාන් ගේ දක්‍ෂකම් නොව ලොව පුරා විහිදී සිටින දෙමළ ඩයස්‌ පෝරාවේ ධන බලය හා උපාය මාර්ගයන් නිසාය. 

පසුගිය කාලයේ ඉන්දියාවේ තමිල්නාඩුව ශ්‍රී ලංකා කච්චතිව් දූපත පිළිබඳව උනන්දුවක්‌ දැක්‌වීය. මේ වන විට ඒ උනන්දුව හීනවී ගොස්‌ ශ්‍රී ලංකාවේ සිදුව ඇති යුද අපරාධ පිළිබඳ පරීක්‍ෂණ ජාත්‍යන්තරයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක විය යුතු බවට උද්ඝෝෂණද පවත්වයි. මේ අතර අපේ රටේ විද්වතුන් පිරිසක්‌ද එක්‌නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතු බවත් එසේ නොවන්නේ නම් ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ සඳහා ඉල්ලීම් ඉදිරිපත් කරන බවත් සඳහන් කර ඇත. ජාත්‍යන්තර පරීක්‍ෂණයකට සහාය ලබා ගත යුත්තේ ජිනීවාහි පිහිටි මානව හිමිකම් පිළිබඳ ප්‍රධාන කාර්යාලයෙනි. මේ අනුව ඉතා සූක්‍ෂම අයුරින් ශ්‍රී ලංකාවට එරෙහිව සියලු දෙනාම එකම ස්‌ථානයකින් මෙහෙයවන බව පැහැදිලි කර ගත හැකිය.

අපේ හමුදා බුද්ධි අංශ මේ ආකාරයෙන් අවස්‌ථා කීපයකදීම අසරණ කර ඇත. 2002-2003 වර්ෂවලදී අතුරුගිරිය මිලේනියම් සිටි හි පිහිටුවා තිබූ බුද්ධි අංශයට සිදු වූයේ කුමක්‌දැයි අමුතුවෙන් කිව යුතු නැත. අප අපේ හමුදාවට චෝදනා එල්ල වූ හැම විටම ඒ පිළිබඳව කටයුතු කිරීමට පසුබට වී නැත. කොටි ත්‍රස්‌තවාදීන්ට ඔත්තු සැපයූ බවට චෝදනා ලැබ වරදකරුවූ හමුදා මේජර්වරයකු ඇතුළු චූදිතයන් ගණනාවකට පසුගිය කාලයේ දඬුවම් කළ අයුරු අපි දනිමු. නමුත් විවිධ චෝදනා යටතේ දැනට අත්අඩංගුවේ පසුවන ඇතැම් චූදිතයන්ට වහාම සමාව ලබාදිය යුතු බව දෙමළ ජාතික සංධානය හා උතුරු පළාත් සභාව තරයේ ප්‍රකාශ කිරීම සාධාරණ දැයි අප විමසා බැලිය යුතුය.

බොරදියේ මාළු බාගන්නවා සේ දෙමළ ජාතික සංධානය බලය බෙදීම ප්‍රතික්‍ෂේප කර බලය පැවරීමක්‌ සිදුවිය යුතු බවට ප්‍රකාශ කර ඇත. මෙහි ඇති අදහස අවබෝධ කර ගැනීමට අපහසු නොවනු ඇත.

ඉන්දියාවේ ක්‍රියාත්මක වන ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව ලෝකයේ ශක්‌තිමත්ම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ලෙස පිළිගෙන ඇත. එය බහු වාර්ගික බහු සංස්‌කෘතික සමාජයට ගැළපෙන සේ සකස්‌ කර ඇති ව්‍යවස්‌ථාවකි. එම ව්‍යවස්‌ථාවෙන් ප්‍රාන්ත රාජ්‍යවල බලය හා මධ්‍යම රජයේ බලය පැහැදිලිව දක්‌වා ඇත. ව්‍යවස්‌ථාවට පටහැනිව කිසියම් ප්‍රාන්ත රජයක්‌ කටයුතු කළහොත් එම ප්‍රාන්තයේ පාලනය තාවකාලිකව මධ්‍යම රජයට පරවා ගන්නේය. ඒ සඳහා ව්‍යවස්‌ථාවෙන්ම ප්‍රතිපාදන සලසා දී තිබේ. දෙමළ ජාතික සංවිධානයේ ප්‍රකාශය අනුව ඔවුන් ඉන්දියාවේ ව්‍යවස්‌ථාවද අභිබවා බලයක්‌ තමන්ට ලබා ගැනීමට උත්සාහ කරන බවක්‌ පෙනේ. බලය පැවරීමක්‌ ලෙස ඔවුන් සඳහන් කරන්නේ වෙන කුමක්‌ද?

ඇෆ්ගනිස්‌තානයේ හිටපු ජනාධිපති හමීඩ් කර්සායි මහතා පසුගිය සඳුදා කළ දේශනයේදී ඉතා වැදගත් ප්‍රකාශයක්‌ කර ඇත. ඔහු පෙන්වාදී ඇත්තේ අන්තවාදය හා ත්‍රස්‌තවාදය යන දෙකම භයානක උවදුරු බවය. අන්තවාදය තුළින් ජාතීන් හා මිනිස්‌ වර්ගයා අතර වෛරය ඇති කරන්නේය. මේ අනුව ශ්‍රී ලංකාවේ ජනවර්ග අතර වෛරය ඇති කිරීමේ වැඩි වගකීම පැවරෙන්නේ උතුරුකරයේ දේශපාලනඥයන්ටය. බණ්‌ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම අවලංගු කිරීම සිංහල සමාජයේ උගත් බුද්ධිමත් පිරිස පිළිගන්නේ වරදක්‌ ලෙසය. ඩඩ්ලි සේනානායක, චෙල්වනායගම් ගිවිසුම නිෂ්ප්‍රභා කිරීමද එවැනිම ක්‍රියාවකි. මේ පිළිබඳව මැදිහත්ව කෙරෙන විවේචන බොහෝමයකි.

අද අපට අවශ්‍ය වන්නේ සංහිඳියාව බව පිළිගෙන තිබේ. ඒ සඳහා ජාතීන් අතර වෛරය ඇවිස්‌සීමේ ප්‍රකාශ නිකුත් කිරීම විශාල බාධාවකි. මෙම බාධාවන් මතුවන්නේ දෙමළ ජාතික සන්ධානය, උතුරු පළාත් සභාව ඉන්දියාවේ ඇතැම් දේශපාලනඥයන් හා දෙමළ ඩයස්‌පෝරාවෙන් බව පැහැදිලිය. යුද්ධය නිමවීමෙන් පසු උතුරේ හා දකුණේ ජනතාව අතර ගොඩනැගෙමින් තිබූ හා තිබෙන අනොන්‍ය අවබෝධය හා ජාතික සංහිඳියාව විනාශ කර දමා දෙමළ අන්තවාදීන් කීපදෙනකුගේ න්‍යාය පත්‍රයන්ට අනුව කටයුතු කිරීමට එරෙහිව ලොව කිසිවකුත් ''කට අරින්නේ නැත'' එහි පසු බිමේ සිටින්නේ දෙමළ පුනරුත්ථාපන සංවිධානවලට මුවාවූ එල්. ටී. ටී. ඊ. යේ ක්‍රියාකාරිත්වය නොවේදැයි විමසා බැලිය යුතුය.

ලොව රටවල් එල්. ටී. ටී. ඊ. සංවිධානය තහනම් කර ඇතත් දෙමළ පුනරුත්ථාපන සංවිධාන තහනම් කර නැත. එමෙන්ම එම සංවිධානවල ක්‍රියාකාරිත්වය පිළිබඳ අවධානයෙන් පසුවන්නේදැයි සැක සහිතය. රුද්‍රකුමාර් ගේ ප්‍රධානත්වයෙන් ඇමරිකාවේ පිහිටුවා ඇති නිදහස්‌ දෙමළ රාජ්‍යද අප රටට නොසෑහෙන තරමේ බලපෑම් ඇති කරන බව නොරහසකි. අපට දරුණු යුද්ධයක අත්දැකීම් ඇත. නැවත යුද්ධයක්‌ ඇති නොවීමට නම් ''නියපොත්තෙන් කඩා ඉවත් කළ හැකි දේ පොරොවෙන් කොටා ''ඉවත් කිරීමට බලා සිටිය යුතු නැත. අප ලොව ක්‍රියාත්මක වන අන්තවාදීන්ට විරෝධය දක්‌වන සියලු ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා ශක්‌තිමත්ව ගොඩ නඟා ගත යුතු අතර අපේ රාජ්‍ය බුද්ධි අංශයන්ද ශක්‌තිමත් කළ යුතු නොවේද?

සංවාද සටහන - ජයසූරිය උඩුකුඹුර

http://www.divaina.com/2015/09/04/feature01.html

2 comments:

Anonymous said...

yaha paalane tharama thamayi. me blog ekath yahapaalaneta kade giya hati apita mathakayi. dan bayila gahanna epa. wena dewal baraganna lasthi wenna. dan hakeem badiyudeen ehemath yahapalanae paththe inne. muslim anthawadaya gana liyanna kalin yahapalanata gahala thiyena mukkuwa ayin karaganna.

Anonymous said...

මහින්දගෙ ගොට්ටන්ට මහින්ද කරපුව ඔක්කොම හොඩයි. බඩ්ඩුද්දීන්ට විල්පත්තුව බෙදල දුන්න එකත් හොඩයි. සජින්වාස් අපේ සල්ලි වලින් නිල් බලපු එකත් හොදයි. හකීම් නීති විද්යලෙට තම්බි පුරෝපු එකත් හොඩයි. සාම විනිසුරුවො බහුතරයක් තම්බින්ට දුන්නු එකත් හොඩයි. අනේ බයියනේ, හරිදේ හරියටත් වරඩි දේ වරඩියටත් දකපල්ලා