Pages

Monday, February 24, 2014

ලලිත් මෝඩි ඉන්දීය ක්‍රිකට්‌ රෙජිමය පතුරු ගසයි

ඉන්දියාව, එංගලන්තය සහ ඔස්‌ටේ්‍රලියාවේ ක්‍රිකට්‌ බලඅධිකාරීන් 3 එකතුව ගෙනෙන ලද යෝජනා, අයි.පී.එල් තරගාවලියේ ඇතුළාන්තය සහ ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ මෙන්ම මේ වන විට ඉන්දීය ක්‍රිකට්‌ ක්‍ෂේත්‍රයේ මෙන්ම ජගත් ක්‍රිකට්‌ ක්‍ෂේත්‍රයේද දැවැන්තයා බවට පත්ව සිටින එන්.සිරිනිවාසන් මහතාව දැඩි ලෙස විවේචනය කරමින්, අයි.පී.එල් තරගාවලියේ සමාරම්භක ප්‍රධානියා සහ 2008-2010 චැම්පියන්ස්‌ ලීග් තරගාවලියේ ප්‍රධානී, ඉන්දීය ක්‍රිකට්‌ ක්‍ෂේත්‍රයේ ප්‍රබලයකුවූ (මේ වන විට චෝදනාවට ලක්‌කරමින් ඉන්දීය ක්‍රිකට්‌ පරිපාලනයෙන් ජීවිතාන්තය දක්‌වා තහනමකට ලක්‌ව සිටින) ලලිත් මෝඩි පකිස්‌තානු මාධ්‍යයක්‌ වෙත සම්මුඛ සාකච්ජාවක්‌ ලබාදෙමින් දැඩි ලෙස විවේචනයට ලක්‌කර තිබේ.

මේ එම සාකච්ජාවෙන් උපුටාගත් කොටසකි.

ප්‍රශ්නය- අයි.පී.එල් තරගාවලියේ ගනුදෙනු පිළිබඳව නැගී ඇති අපකීර්තිමත් ස්‌වභාවයෙන් ලෝකයේ සෙසු ක්‍රිකට්‌ බලධාරීන්ට ඉගෙනගැනීමට පාඩමක්‌ තියෙනවාද?

පිළිතුර- ඔව්. ලෝකයා මේ අර්බුදය ගැන ලෝකය නොයිවසිලිමත් හැඟීමක්‌ තිබෙනවා. නමුත් ක්‍රිකට්‌ ලෝකයම මේකට ඇහුම්කන් දෙන්නේ නැහැ. අවම වශයෙන් ඔවුන් ඔවුන්ට මේ දැනෙන හැඟීම් මුදාහරින්නේවත් නැහැ. මොකද ලෝකයේම ක්‍රිකට්‌ ක්‍රීඩාව දුවවන්නේ සිරිනිවාසන් නිසා. කව්ද ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය මෙහෙයවන්නේ? කව්ද චෙන්නායි සුපර් කින්ග්ස්‌ කණ්‌ඩායම මෙහෙයවන්නේ. කව්ද ඉන්දීය සිමෙන්ති සමාගම මෙහෙයවන්නේ. සැබැවින්ම අනෙකුත් ක්‍රීඩාත් මේ පිළිබඳව සැලකිල්ලක්‌ දැක්‌විය යුතුයි. ක්‍රිකට්‌ කියන්නේ උදාහරණයක්‌. නියම උදාහරණයක්‌. ප්‍රේක්‍ෂකයන්ට සහ ක්‍රීඩාවේ බිම් මට්‌ටමට හානි කිරීම සම්බන්ධයෙන්.

ප්‍රශ්නය- ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ සභාපති එන්. සිරිනිවාසන්, ඉන්දීය ක්‍රීඩාව සඳහා හොඳක්‌ද? නරකක්‌ද?

පිළිතුර- නරකයි. අන්තිම නරකයි. සිරිනි (සිරිනිවාසන්) ඉන්දියානු ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය මෙහෙයවන්නේ ඔහුගේ නින්දගමක්‌ පාලනය කරනවා වගෙයි. එහි කිසිම විනිවිදභාවයක්‌ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයක්‌ නැහැ. ඔහු තමයි සියලු තීරණ ගන්නේ. ඔහුගේ ක්‍රිකට්‌ සගයන් නිකම්ම නිකම් නිල මුද්‍ර විතරයි. 'අපි මේක කළොත්, ඒ දේ ක්‍රීඩාවට හොඳයිද?' කියලා කිසිවෙක්‌ ඔහුගෙන් අහන්නේ නැහැ. මොකද ඒ සියලුදෙනාට අවශ්‍ය සිරිනි සමග ඔවුන්ගේ වරප්‍රසාද රහිත රැකියාව රැකගෙන සිටීමට විතරයි. ඒ හැමකෙනෙක්‌ම හිතන්නේ තමන් ගැන විතරයි. 

ප්‍රශ්නය- ඉන්දීය ක්‍රිකට්‌ දූෂණ වල නරකම හරිය තවම අනාවරණය වෙලා නැහැ කියලා ඔබ විශ්වාස කරනවද?

පිළිතුර- මේ සෙල්ලමේ මුල හරිය විතරයි තවම දකින්නේ. මේ සෙල්ලම් කඩාකප්පල් වන දවසක්‌ ඒවි. තරග පාවාදීමේ ඉතිහාසය බැලුවොත් එය හරිම වේදනාත්මකයි. හැන්සි ක්‍රොන්යේ තමයි මෙහි අවසන් ගොදුර. ඒ වගේම දෙයක්‌ ඉදිරියටත් වෙන්න පුළුවන්. ඒක වේදනාවක්‌ වෙයි. නමුත් ක්‍රීඩාවේ පිරිසිදුභාවය උදෙසා එවැන්නක්‌ සිදුවිය යුතුයි. 

ප්‍රශ්නය- අයි.පී.එල් තුළ තරග පාවාදීම මොනතරම් දුරට පැතිරිලාද?

පිළිතුර- මම හිතනවා බොහෝ තරගවල ඒ දේ සිදුවෙනවා කියලා. තරග පාවාදීම බොහොම පහසුවෙන් සංවිධානය කළ හැකි, නමුත් ඔප්පු කිරීමට ඉතා අපහසු දෙයක්‌. මෙය ඇත්තටම ව්‍යාපාරික ලෝකයේ සිදුවන අභ්‍යන්තර ව්‍යාපාරයක්‌ වගේ. නමුත් බලධාරීන් මේ තත්ත්වය බොහොම හෙමිනුයි හඳුනාගන්නේ.

ප්‍රශ්නය- කොහොමද මේ ක්‍රියාත්මක වන ක්‍රමයෙන් අයි.පී.එල් තරගාවලිය පිරිපහදු කරගන්නේ.

පිළිතුර- චෙන්නායි සුපර් කිංග්ස්‌ කණ්‌ඩායම තරගාවලියෙන් ඉවත් කළ යුතුයි. එයයි ආරම්භය. මේ තරග අධිකාරී ගිවිසුමේම තියෙනවා, යම් කණ්‌ඩායමක්‌ විසින් තරගාවලිය අපකීර්තියට පත්කරන්නේ නම් ඒ කණ්‌ඩායම ඉවත් කළයුතුයි කියලා. 

ප්‍රශ්නය- අයි.පී.එල්වලට යා හැකි උපරිමය කොතැනද?

පිළිතුර- මේ රෙජීමය ක්‍රිකට්‌ ජගත් මට්‌ටමෙන් ක්‍රීඩාව කරවන විදිහ සහ සැලසුම් කරන අන්දමට තව ටික කාලෙකින් ලෝකයේ ක්‍රිකට්‌ කියන්නේ අයි.පී.එල් ම පමණක්‌ වේවි.

ප්‍රශ්නය- ඉන්දියාව, එංගලන්තය සහ ඔස්‌ටේ්‍රලියාව එක්‌ව ගෙනෙන ලද ධවල පත්‍රිකාවේ වගන්ති ගැන ඔබ හිතන්නේ මොකක්‌ද?

පිළිතුර- ඒක දැඩි කලකිරීමට කාරණයක්‌. ඒක භයානකයි. මොකද මම හිතන්නේ සමස්‌ත ක්‍රිකට්‌ ක්‍රීඩාවට මෙය තර්ජනයක්‌ කියලා. මම කිව්වේ මෙය ජගත් ක්‍රිකට්‌ ක්‍රීඩාවේ මිනී පෙට්‌ටියට අවසන් ඇනය ගැසීම කියලයි. මතකද අයි.සී.සී යේ ඉලක්‌කයක්‌ ප්‍රකාශ කළා ක්‍රිකට්‌ ක්‍රීඩාව ලෝකයටම ගෙනියන්න. මොන විහිළුවක්‌ද? පෝසතා තව තවත් පෝසත් වෙනවා, දුප්පතා තවත් දුප්පත් වෙනවා. දුප්පතා කේඬෑරි වෙලා මැරිලා යනවා. එතැනින් ලෝකයේ මේ ක්‍රීඩාව අහවර වෙනවා.

http://www.divaina.com/2014/02/22/sports04.html

0 comments: