Pages

Wednesday, February 26, 2014

ශ්‍රී ලංකා යුද හමුදා ස්‌වෙච්ඡා බළසේනාවේ උපසේවය වසර 34 කට පසු යළිත්

අභිමානවත් ඉතිහාසයකින් හෙබි පෞඪ සේවයක්‌ වන ශ්‍රී ලංකා යුද හමුදා ස්‌වෙච්ඡා බළසේනාවේ උපසේවය වසර 34 කට පසු යළි ස්‌ථාපිත කිරීමට පියවර ගෙන ඇතැයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය පැවැසීය.

ඒ යටතේ වෛද්‍ය, ඉංජිනේරු, නීති, මිනින්දොaරු, හෙද, වැවිලි, අධ්‍යාපන, බැංකු, විශ්වවිද්‍යාල, මාධ්‍ය ඇතුළු ක්‍ෂේත්‍ර රැසක විද්වත් වෘත්තිකයන් යුද හමුදා ස්‌වේච්ඡා උපසේවයේ අධිකාරිලත් නිලධාරීන් සහ සෙසු නිලයන් ලෙස බඳවාගනු ලබන බවද හෙතෙම පැවැසීය.

රජයේ සහ පෞද්ගලික අංශ වල වෘත්තිකයන් සඳහා මෙම ස්‌වේච්ඡා උපසේවයට බැඳිය හැකි අතර, ඔවුන්ට තම වෘත්තීන්හි කටයුතු කරගෙන යන අතරේ අවශ්‍ය අවස්‌ථාවල පමණක්‌ සක්‍රීය සේවය සඳහා කැඳවූ විට හමුදා සේවයට පැමිණීමට සිදුවනු ඇත.

මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල, ජෙනරාල් අනුරුද්ධ රත්වත්ත, ජෙනරාල් රන්ජන් විඡේරත්න, කර්නල් සී. ඒ. ධර්මපාල, මේජර් ඊ. ඒ. නුගවෙල, මේජර් මොන්ටේගු ජයවික්‍රම, කපිතාන් සී. පී. ඡේ. සෙනෙවිරත්න යන ප්‍රභූන් මෙම ස්‌වේච්ඡා උපසේවයේ නිරතව සිටි කීර්තිමත් නිලධාරීන් වන අතර තවත් බොහෝ විවිධ වෘත්තිකයන් මෙම සේවයට එක්‌වී සිටියහ.

රටේ යුදමය වාතාවරණය හේතුවෙන් 1985 වසර වන විට ස්‌වේච්ඡා උපසේවය අක්‍රීය තත්ත්වයට පත්වීම නිසා මෙම වසරේ එය නැවත ස්‌ථාපිත කිරීමට පියවර ගත් බවද බ්‍රිගේඩියර් වනිගසූරිය පැවැසීය.

රටේ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් සහ සංවර්ධන කටයුතු සඳහා දායක කර ගැනීමේ ජාතික මෙහෙවර පෙරදැරිකරගෙන රාජ්‍ය හා පෞද්ගලික අංශවල විද්වත් වෘත්තිකයන් යුද හමුදා ස්‌වේච්ඡා උපසේවය සඳහා බඳවා ගැනීම මාර්තු මස 31 වැනිදා සිට ක්‍රියාත්මක කරන බවද බ්‍රිගේඩියර් වනිගසූරිය පැවැසීය.

වයස අවුරුදු 18-55 අතර මනා ශරීර සෞඛ්‍යයකින් යුතු ශ්‍රී ලාංකික පුරවැසියන් ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම්, හැකියාව සහ පළපුරුද්ද මත මෙම සේවයට බඳවා ගනු ඇත. අධිකාරි ලත් නිලධාරීන් ලෙස බඳවාගනු ලබන වෘත්තිකයන් ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම් හා සේවා පළපුරුද්ද මත ලුතිතාන්, කපිතන්, මේජර්, ලුතිනන් කර්නල් සහ කර්නල් යන නිලයන්ටද අධිකාරි නොලත් නිලධාරීන් ලෙස බඳවා ගනු ලබන වෘත්තිකයන් කෝප්‍රල්, සැරයන්, මාණ්‌ඩලික සැරයන්, බලලත් නිලධාරි යන නිලයන්ටද පත්කරනු ඇත.

"අපි ආමි" යන තේමාව යටතේ ක්‍රියාත්මක මෙම ස්‌වේච්ඡා උපසේවය නැවත ස්‌ථාපිත කිරීමේ වැඩසටහන පිළිබඳව කොළඹ නෙළුම්පොකුණ රඟහලේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී බ්‍රිගේඩියර් වනිගසූරිය මෙම කරුණු අනාවරණය කළේය.

යුද හමුදා ස්‌වේච්ඡා බළසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ, නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරාල් වික්‍රමසිංහ, හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර, බ්‍රිගේඩියර් ගාමිණී ඇලිකේවල, කර්නල් වෛද්‍ය රන්ජන් සෙනෙවිරත්න යන "හමුදා නිලධාරීහු සහ වෛද්‍ය සුදත් දම්සිංහ, කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශයේ ජාතික පුහුණු කිරීමේ නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා යන මහත්ම මහත්මීහුද මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

සිරිමෙවන් කස්‌තුරිආරච්චි
http://www.divaina.com/2014/02/25/news15.html

Pic Source

0 comments: