Pages

Friday, February 21, 2014

ව්‍යවථානුකූල වියයුතු උතුරේ පාලනය සහ දකුණට වාතයක්‌ නොවන පරිදි උතුර සංවර්ධනය කිරීම

උතුරේ දියුණුවට එම පළාත් සභාව විසින් යෝජනා තුනක්‌ සම්මත කරගෙන තිබේ. ඉන්දියාවට යාපනයේ සිට ගමන් කළ හැකි පරිදි යාපනයේ ගුවන් තොටුපළ දියුණු කිරීම, තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවට නැව් සේවයක්‌ පටන් ගැනීම, ඉන්දියන් නැව් කන්කසන්තුරේට ගෙන්වා ගැනීම සඳහා එහි වරාය දියුණු කිරීම මෙම යෝජනා ය. මෙ මගින් අපේක්‍ෂිත අලුත් රැකියා ප්‍රමාණය 10,000 කි. මෙරට දේශපාලන ඉතිහාසය තුළ උතුරු පළාත සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු වඩාත්ම සාධනීය යෝජනා තුන හැටියට ඉහත සඳහන් යෝජනා හැඳින්විය හැකි ය. මෙහිදී මතුවන එකම ප්‍රශ්නය වන්නේ මෙම යෝජනාව පිටුපස තිබෙන සද්භාවයේ ප්‍රමාණයයි. මන්ද උතුර වෙනම රටක්‌ හැටියට පවත්වාගෙන යනු පිණිස අවශ්‍ය කරන ප්‍රධාන සාධක සියල්ලම පාහේ මෙහි තිබෙන හෙයිනි. මේ යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් පසු උතුරේ පළාත් සභාවට තවත් පියවර කිහිපයක්‌ ඉදිරියට තබා වෙනම රාජ්‍යයකට ගොඩවිය හැකි ය. 1993 දී ඉතියෝපියාවෙන් කැඩී වෙනම රාජ්‍යයක්‌ බවට පත් වූ එරිටි්‍රයාව එම ක්‍රියාවලියේදී තම ප්‍රදේශය තුළ වූ වරාය සහ ගුවන් තොටුපළ ඒ සඳහා පාවිච්චි කළේය. අන්තිමේදී එරිටිත්‍රියාව කැඩී වෙන් වූ විට ඉතියෝපියාවට සිය මුහුද පවා අහිමි විය. අන්තිමේදී ඔවුන්ගේ නැව් හමුදාව වෙන්දේසි කර විකුණන ලද අතර එරිත්‍රියාව පරණ යකඩවල බරට එම නැව් හමුදාව ඉතියෝපියාවෙන් මිලට ගත්තේය. එරිත්‍රියාවෙන් භාගයක්‌ පමණ කුඩා රටක්‌ නිසාත්, දූපත් රාජ්‍යයක්‌ නිසාත් ලංකාව තුළ එවැනි තත්ත්වයක්‌ හට ගැනීමට තිබෙන ඉඩකඩ අඩු ය. අප නිකමට වාගේ මේ ප්‍රකාශ කළේ බෙදුම්වාදය පිළිබඳ ජාත්‍යන්තර අත්දැකීම් සිය ගණනකින් එකකි. නරක වෙලාවට මෝල්ගහත් පත්තු වේ. මිනිසුන්ගේ හැඟීම් පරිහානිගත වූ කල කොළඹ නගරය හෝ ගම්පහ දිස්‌ත්‍රික්‌කය වෙනම රාජ්‍යයක්‌ ලෙස ප්‍රකාශයට පත් කරන ව්‍යාපාර ඉදිරියට ඒමට පුළුවන. පාකිස්‌තානයේ වාණිජ අගනුවර වූ කරච්චියේ විශාලත්වය වර්ග සැතපුම් 2500 කට අඩුය. එහෙත් මේ නගරය වෙනම රටක්‌ හැටියට ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා තිස්‌ අවුරුද්දක්‌ තිස්‌සේ සටන් වදින ත්‍රස්‌තවාදීහු පිරිසක්‌ පාකිස්‌තානයේ සිටිති. මෙය වැදගත් මර්මස්‌ථානයකි. හේතුව මුහුදට යාබදව තිබෙන එම නගරයෙහි ගුවන් තොටුපළ දෙකක්‌ සහ සකලාංග සම්පුර්ණ වරායක්‌ තිබීමයි. අප මේවා කියන්නේ නිකමට ය. අපි කණාමැදිරියාටත් බිය ඇති ජාතියක්‌ව සිටිමු. අපට ලැබී ඇති අතීත පාඩම් සමූහය ඒ තරමටම නරක ය.

උතුරේ වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමේදී සිතට ගත යුතු වැදගත් කාරණා කිහිපයක්‌ අපගේ පුංචි සිත් තුළ පවතී. ඉන් පළමුවැන්න මෙබඳු සංවර්ධන කටයුතු සඳහා සල්ලි කොහෙන්ද යන්නයි. මෙවැනි කටයුතු සඳහා උතුරු පළාත් සභාවට වත්කමක්‌ නැත. එසේ නම් මෙය කළ යුත්තේ මධ්‍යම ආණ්‌ඩුවේ අරමුදල්වලිනි. මේ දිනවල මධ්‍යම ආණ්‌ඩුවට ද අතේ සතේ නැත. ආණ්‌ඩුව ද එදා වේල සොයා ගන්නේ පොඩි පොඩි ජල්බරි වැඩවලිනි. ඒ නිසා අලුත් සංවර්ධන යෝජනා ක්‍රම සඳහා වෙනත් රටවලින් මුදල් ගැනීමට ආණ්‌ඩුවට සිදුවනවා ඇත. යම් හෙයකින් මේ ගොඩනැඟීමට යන්නේ උතුර නිසා ජාත්‍යන්තර ප්‍රජාව විසින් පනවනු ලබන විවිධ මළ කෝළම්වලට යටත් වීමට ආණ්‌ඩුවට සිදුවීම නොවැළැක්‌විය හැකි ය. මේ වැඩපිළිවෙළට මුදල් ගන්නේ චීනයෙන් නම් ඉන්දියාව වහා කලබල වනු ඇත. ඉන් පසු ඒ සඳහා මුදල් දීමට ඉදිරිපත් වනු ඇත. එවිට උතුර නැගෙනහිරට ගෙවල් සෑදීමට දී දිගින් දිගටම වැඩේ ඇද්දාක්‌ මෙන් මේ කටයුත්ත ද අදිනවා ඇත. මෙහිදී බලවත් කෝපයට පත්වන විග්නේෂ්වරන් මහ ඇමැතිතුමා ඇතුළු පිරිස ආණ්‌ඩුව උතුර සංවර්ධනය නොකරන බව කියමින් ජාත්‍යන්තර ප්‍රජාවට පෙත්සම් ගසනවා ඇත. මෙය නැති ලෙඩක්‌ හදා ගැනීමකි. උතුර සංවර්ධනය ඉතා හොඳ බව නැවත වරක්‌ කියමු. එහෙත් එය කළ යුත්තේ දකුණට වාතයක්‌ නො වන ලෙස ය.


http://www.divaina.com/2014/02/21/editor.html


Pic Source

0 comments: