Pages

Friday, February 28, 2014

දිස්‌ත්‍රික්‌ක පහක උපදින සෑම දරුවන් 1600ක ගෙන් එක්‌ අයකුට තයිරොයිඩ් ඌනතාව

දකුණු පළාතේ හා රත්නපුර මොනරාගල යන දිස්‌ත්‍රික්‌කවල ඉපදෙන දරුවන් 1600 කින් එක්‌ අයකු උපතින්ම තයිරොයිඩ් හෝමෝන ඌනතාවයෙන් පෙළෙන බව කරාපිටිය වෛද්‍ය පීඨයේ නව ළදරු පරීක්‍ෂණ සම්බන්ධීකරණ කමිටුවේ වෛද්‍ය මංජුල හෙට්‌ටිආරච්චි මහතා පැවසීය.

මේ පිළිබඳ සිදු කළ පර්යේෂණයකදී මෙම කරුණු අනාවරණය වූ බවද වෛද්‍ය මංජුල හෙට්‌ටිආරච්චි මහතා සඳහන් කළේය. දකුණු පළාතේ හා ඉහත සඳහන් දිස්‌ත්‍රික්‌ක තුනේ උපත ලබන දරුවන්ගේ යටි පතුලෙන් ලේ සාම්පලය බැගින් ලබාගෙන මෙම පර්යේෂණය සිදු කරනු ලැබීය.

මෙකී පර්යේෂණයට අනුව 2013 වසරේ දකුණු පළාතේ හා රත්නපුර මොනරාගල යන දිස්‌ත්‍රික්‌ක දෙකේ උපත ලැබූ දරුවන් 61665 දෙනකුගේ ලේ සාම්පල් පරීක්‍ෂාවට ලක්‌ කළ අතර ඉන් දරුවන් 36 දෙනකු තයිරොයිඩ් හෝමෝන ඌනතාවයෙන් පෙළුණු බවද වෛද්‍ය මංජුල හෙට්‌ටිආරච්චි මහතා සඳහන් කළේය. ඒ අනුව ගාල්ල දිස්‌ත්‍රික්‌කයෙන් මෙවැනි දරුවන් 19 දෙනකු ද රත්නපුර දිස්‌ත්‍රික්‌කයෙන් දරුවන් 05 දෙනකු ද මාතර, හම්බන්තොට, මොනරාගල යන දිස්‌ත්‍රික්‌කවලින් දරුවන් 04 දෙනා බැගින් ද, හමුවී තිබේ. කළුතර දිස්‌ත්‍රික්‌කයේ මෙම පරීක්‍ෂණ සිදු කරද්දී මෙවැනි කිසිදු දරුවකු හමුනොවීම විශේෂත්වයක්‌ බවද මංජුල හෙට්‌ටිආරච්චි වෛද්‍යවරයා පැවසීය.

2011 සහ 2012 වසරවලදී දකුණු පළාතේ හා මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ උපත ලැබූ දරුවන්ගේ පමණක්‌ ලේ සාම්පල් ලබාගෙන පරීක්‍ෂණ කටයුතු සිදු කර ඇත. ඒ අනුව 2011 වසරේ දරුවන් 42474 දෙනකුගේ ලේ සාම්පල් පරීක්‍ෂා කොට ඇති අතර ඉන් දරුවන් 24 දෙනකු තයිරොයිඩ් ඌනතාවයෙන් පෙළෙන බවට හඳුනාගෙන තිබේ. 2012 වසරේදී දරුවන් 45479 දෙනකුගේ ලේ සාම්පල් පරීක්‍ෂා කොට ඇති අතර ඉන් දරුවන් 31 දෙනකු මෙවැනි දරුවන් බවට අනාවරණය වී තිබේ. මේ පරීක්‍ෂණය පිළිබඳ අදහස්‌ දක්‌වමින් වෛද්‍ය මංජුල හෙට්‌ටිආරච්චි මහතා මෙසේ පැවසීය.

තයිරොක්‌සින් හෝමෝන ඌනතාවයෙන් පෙළීම නිසා දරුවන්ගේ මොළය වර්ධනය වීම හා ශරීර වර්ධනය වීම අඩු වෙනවා. තයිරොක්‌සින් හෝමෝන ඌනතාවය ඇති වන්නේ අයඩින් ඌනතාවය නිසා. මේ සඳහා ප්‍රතිකාර තිබෙනවා. දරුවා ඉපදී දින 28 ක්‌ ඇතුළත ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් දරුවාගේ සියලු සංකූලතා වළක්‌වා ගන්න පුළුවන්. තයිරොක්‌සින් හෝමෝනය දරුවාට දිනපතා ලබා දිය යුතු වෙනවා. ඒ සඳහා දිනකට වැය වන්නේ රුපියල් දෙකක්‌ පමණයි. ප්‍රතිකාර නොකළහොත් දරුවාගේ කායික හා මානසික වර්ධනය නැවත සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට නොහැකි ආකාරයට අඩාල වෙන්න පුළුවන්. දරුවන් මිටි හා කුඩා දරුවන් බවට පත්වෙන්න පුළුවන්.

දැනට දකුණු පළාතේ සහ ඉහත සඳහන් දිස්‌ත්‍රික්‌ක තුනේ ඉපදෙන සියලුම දරුවන්ගේ ලේ සාම්පල් ලබාගෙන නොමිලේ පරීක්‍ෂණ කටයුතු කරාපිටිය වෛද්‍ය පීඨයේ න්‍යෂ්ඨික වෛද්‍ය ඒකකයෙන් කරනවා. අනික්‌ පළාත්වල ඉපදෙන දරුවන්ගේත් මේ පරීක්‍ෂණය කරනවා. ඒ සඳහා රුපියල් 300 ක මුදලක්‌ අය කරනවා. මේ පරීක්‍ෂණ සඳහා ජාතික පර්යේෂණ සභාවෙන් හා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශාල සහයෝගයක්‌ ලැබෙනවා යෑයි වෛද්‍ය මංජුල හෙට්‌ටිආරච්චි මහතා සඳහන් කළේය.

ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි
http://www.divaina.com/2014/02/26/news18.html

0 comments: