Pages

Monday, February 24, 2014

දෙමාපියන්ගේ කුඹුරු අක්‌කර 2 1/2 උකස්‌ කර අනුරපුර සිසුවෙක්‌ නියර බඳින යන්ත්‍රයක්‌ නිපදවයි!

කුබෝටා වර්ගයේ ට්‍රැක්‌ටරයක එන්ජිමක්‌ භාවිත කරමින් කුඹුරක නියර බඳින, නියර රහින, හීවැල් දත්ත කපන, නියර තලන යන්ත්‍රයක්‌ නිපදවීමට අනුරාධපුර වලිසිංහ හරිස්‌චන්ද්‍ර විදුහලේ 12 වසරේ සිසුවකු සමත් වී ඇත. ඩබ්ලිව්. ඒ. නාමල් උදාර පියසිරි (17)නමැති දරුවා තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොටසේ 434 සෝලම තුලානයේ පදිංචි අයෙකි. මෙම සිසුවා මුලින් ම පළමු වසර සිට 4 වන වසර දක්‌වා සෝලම විදුහලේ ඉගෙන ගෙන ඇති අතර 5 වසර සිට 11 වසර දක්‌වා බෙල්ලන්කඩවල මහ විද්‍යාලයේ ඉගෙන ගෙන අ.පො.ස. සා.පෙළ සමත් වී අ.පො.ස. (උ.පෙළ) සඳහා 2012 වර්ෂයේ සුදුසුකම් ලබාගෙන 2013 වර්ෂයේ දී තාක්‌ෂණ විෂය ධාරාව හැදෑරීමට වලිසිංහ හරිස්‌චන්ද්‍ර විදුහලට ප්‍රවේශ වී ඇත.

මෙම සිසුවාගේ පියා ඩබ්ලිව්. ඒ. පියසිරි 45 වන අතර මව එස්‌.ජී. දයානි ප්‍රෙමසිරි යන අය සෝලම පදිංචි වී ගොවිතැන් කරමින් ජීවත් වෙයි. පියාගේ කුඹුරු වැඩවලට මිලදී ගත් ලෑන්ඩ්මාස්‌ටර් කුබෝටා ට්‍රැක්‌ටරයේ රොටරිය භාවිත කරමින් කුඹුරේ සී සෑම නියර බැඳීම කුඹුරේ හීවැල් දත්ත කැපීම, නියර තැලීමට උපකරණය නිපදවා කොළඹ ශ්‍රී ලංකා ඉංජිනේරු පරීක්‌ෂණ ආයතනයට පාසල මගින් ඉදිරිපත් කොට 2013 වර්ෂයේ පරීක්‌ෂණය සමත්වී පේටන්ට්‌ බලපත්‍රය ලබාගෙන ඇත.

මෙම උපකරණය ඇතුළත් මෙම ඉඩම් වාහනය මෙවර කුලියාපිටිය මධ්‍ය මහා විදුහලේ දැයට කිරුළ ප්‍රදර්ශනාගාරයේදී උතුරු මැද පළාත් සභාවේ ප්‍රදර්ශන භාණ්‌ඩ ප්‍රදර්ශනය කර ඇති ශාලාවේ ප්‍රදර්ශනය සඳහා තබා තිබේ. මෙම ඉදිරිපත් කිරීමට අමතරව මෙම සිසුවා විසින් ගොයම් කපන භූතයා නමින් හැඳින්වෙන යන්ත්‍රයක ඇන්ජිමක්‌ භාවිත කරමින් සී සෑම, පස්‌ කැපීම, නියර රැහීම, නියර බැඳීම හීවැල් දත්ත කැපීම, කුඹුරවල පෝරූ ගෑමට යන්ත්‍රයක්‌ නිපදවා තිබේ. මෙම යන්ත්‍රයද එළඹෙන පෙබරවාරි 25 වැනිදා කොළඹ ශ්‍රී ලංකා ඉංජිනේරු පරීක්‌ෂණ ආයතනයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.

මෙම සිසුවා මෙයට අමතරව 2005 වර්ෂයේ උතුරු මැද පළාත් සභාවේ ප්‍රදර්ශනයේ දී කුඩා සුනාමි යන්ත්‍රයක්‌ද, 2009 වර්ෂයේදී පිඟන් සෝදන යන්ත්‍රයක්‌ ද 2010 වර්ෂයේදී ඕනෑම ශාක පත්‍රයකින් තෙල් සිඳින යන්ත්‍රයක්‌ ද 2011 වර්ෂයේදී අකුණු සරෙන් නිවාස වල විදුලි භාණ්‌ඩ වලට සිදුවන හානිය වැළැක්‌වීමට ආරක්‌ෂක උපකරණයක්‌ද නිපදවා පළාත් ප්‍රදර්ශනය ජයග්‍රහණය කොට තිබේ. මේ සඳහා සහතික හා සම්මාන ලබා ඇති අතර විදුලි උපකරණ ආරක්‌ෂා කිරීම සඳහා සකස්‌ කොට ඇති උපකරණය අකුණු හෙණ ගසා නිමවීමෙන් පසුව යළිත් යථා තත්ත්වයට පත්වන බව පැවසීය. බහුකාර්ය මැෂිම නිපදවීම සඳහා මෙම දරුවාට රු.ලක්‌ෂ දහයක්‌ පමණ වැය වී ඇත. වැයවූ මෙම මුදල් සොයා ගැනීමට මොහුගේ පියා ඔහුට අයත් රන් භාණ්‌ඩ ද මඩ කුඹුරේ අක්‌කර දෙකහමාරක්‌ උකස්‌ කොට මුදල් ලබාගෙන තිබේ. මෙම සිසුවාට එක්‌ සහෝදරයකුද සහෝදරියන් දෙදෙනකුද සිටිති. පියා ගොවිතැන් කරමින් ජීවත්වේ.

මෙම සිසුවාගේ දක්‌ෂතා අගයා උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මුදලින් රු. 45.000 ක්‌ ද පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා මුදලින් රු. 50,000 ක්‌ද වලිසිංහ හරිස්‌චන්ද්‍ර විද්‍යාලයේ විදුහල්පති සහ ආදි සිසුන් රු. 22,000 ක්‌ද පරිත්‍යාග වශයෙන් ලබාදී තිබේ.

මෙම සිසුවා සම්බන්ධව තොරතුරු ලබා ගැනීමට තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් මධුෂ ඉලංගසේකර මහතාද සමෘද්ධි කළමනාකාර නිහාල් රත්නසිරි මහතාද තුලාන භාර ග්‍රාම නිලධාරි වයි. ජී. සෙනෙවිරත්න මහතාද සමෘද්ධි සංවර්ධන නිලධාරි එස්‌. රණසිංහ මහතාද ලබාදුන් සහාය පිළිබඳ ස්‌තුති කරන්නෙමු. කිසියම් අයෙකු මෙම දරුවාට උදව් උපකාර කිරීමට බලාපොරොත්තු වේ නම් දුරකථන පණිවිඩ අංක 0714480396 ට අමතා ඒ පිළිබඳව ඔබට යමක්‌ දැන ගත හැකිය. 

තඹුත්තේගම - සී.එම්.ආරියපාල
http://www.divaina.com/2014/02/22/provin04.html

0 comments: