Pages

Monday, February 24, 2014

එ.ජා. මානව හිමිකම් කොමිසමට විධායක බලයක්‌ නැහැ - චම්පික

ශ්‍රී ලංකාවේ සිදුවුණා යෑයි කියන යුද අපරාධ සෙවීම සම්බන්ධයෙන් අන්තර් ජාතික යාන්ත්‍රණයක්‌ පිහිටුවීමේ යෝජනා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී සම්මත වුණත් නැතත් අදාළ රටේ එකඟතාවක්‌ නොමැතිව එය ක්‍රියාත්මක කිරීමට විධායක බලයක්‌ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට නොමැති බව විද්‍යා හා තාක්‌ෂණ ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

එසේ ක්‍රියාකළ හැක්‌කේ එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලයේ හෝ මහා මණ්‌ඩලයේ අනුමැතියකින් පමණක්‌ බවත් ඇමැතිවරයා සඳහන් කළේය. 

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මූලස්‌ථානයේදී ඊයේ (23 දා) පෙරවරුවේ පැවැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව පැවැසීය.

ලබන මාර්තු 3 වැනිදා රැස්‌වන ජිනීවා මානව හිමිකම් සමුළුවට මානව හිමිකම් කොමසාරිස්‌වරිය වන නවිපිල්ලේ මහත්මිය වාර්තාවකින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කරන බවට වාර්තා වී ඇති බවත් එම යෝජනාව සම්මත වෙත්ද නැද්ද යන්න නොදන්නා බවත් පැවසූ ඇමැතිවරයා එය සම්මත වුණත් නැතත් යෝජනාව ක්‍රියාත්මක කිරීමට ඊට විධායක බලයක්‌ නැති බවත් විධායක ක්‍රියාකාරිත්වය පිළිබඳ ප්‍රශ්නයක්‌ මතුව තිබෙන බවත් පැවැසීය.

මේ සම්බන්ධයෙන් අපේ රටත් අපේ මිත්‍ර රටවල් අපි වෙනුවෙන් ඉතා වේගයෙන් ක්‍රියා කරගෙන යන බවත් හෙතෙම සඳහන් කළේය.
ඇමැතිවරයා මෙසේද කීවේය.

ශ්‍රී ලංකාව ලැබූ සාමය සංහිඳියාව නැතිකර මේ රට නැවතත් අස්‌ථාවර කරන්න මෙම යෝජනාව හරහා උත්සාහ කරනවා. කලාපයේ බොහෝa රටවල විදේශ මැදිහත්වීම් මත අස්‌ථාවර තත්ත්වයක්‌ ඇතිවුණා. එය අප රටේත් ඇති කරන්නයි මෙහි අරමුණ වී ඇත්තේ.

එම නිසා අප රටට එරෙහිව ගෙන යන මෙම ක්‍රියාදාමයට ශක්‌තිමත් පිsළිතුරක්‌ මෙම මැතිවරණය හරහා ලබාදිය යුතුයි. එම නිසා මෙය පළාත් සභා මැතිවරණයක්‌ පමණක්‌ නොව රටේ අනාගතය තීරණය කරන මැතිවරණයක්‌ වෙනවා. තමිල්නාඩුව ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය දේශපාලන පාපන්දුවක්‌ ලෙස යොදාගෙන තිබෙනවා.

රජීව් ගාන්ධි ඝාතකයන් නිදහස්‌ කරන්නැයි තමිල්නාඩු ප්‍රාන්ත සභාව තීරණයක්‌ ගත්තා. විහිළුවට කාරණය. උතුරු පළාත් සභාවේ මහ ඇමැතිවරයාත් ඔවුන්ට නිදහස ලබාදිය යුතු බව ප්‍රකාශ කරනවා.

උතුරු පළාත් සභාව තුළින් බෙදුම්වාදයට තුඩුදෙන, අත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් වී පළාත තුළ නීතිය හා සාමය පවත්වාගෙන යැමට නොහැකි තත්ත්වයක්‌ ඇති බවට හැඟී ගියහොත් පළාත් ආණ්‌ඩුකාරවරයාගේ දැනුම් දීම පරිදි ජනාධිපතිවරයාට එම පළාත් සභාව විසුරුවා හැරීමේ බලය තිබෙනවා. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 57 වගන්තිය යටතේ එම බලය පැවැරී තිබෙනවා.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා - දකුණු හා බස්‌නාහිර පළාත් සභා මැතිවරණයට අදාළ සන්ධානයේ මැතිවරණ ප්‍රකාශය මාර්තු මස 2 වන සතියේදී ඡන්දදායකයන් වෙත ලබාදීමට කටයුතු යොදා තිබෙනවා.

ඡන්දය පැවැත්වෙන දිස්‌ත්‍රික්‌ක හයේ පළමු අදියර යටතේ ඡන්ද කමිටු පිහිටුවීම අවසන් වී ගෙන යනවා. දැනට දෙවන මට්‌ටමේ රැස්‌වීම් පැවැත්වෙනවා. පළමු පෙළේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්‌වීම් මාර්තු මස 8 වැනිදා ආරම්භ වෙනවා.

අපේ මැතිවරණ ක්‍රමය අලුත් වුණාට ඒ සම්බන්ධ නීති පරණයි. එම නිසා නීතිත් සංශෝධනය විය යුතුයි. අනුපාත මැතිවරණ ක්‍රමය යටතේ මනාප අංකය ප්‍රදර්ශනය නොකර ඡන්දය දෙන්නේ කොහොමද? කොට්‌ඨාස ක්‍රමයේදී නම් පක්‌ෂයට ඡන්දය දෙන්නෙ කොට්‌ඨාසයට පක්‌ෂයකින් එක්‌ අපේක්‌ෂකයා. ඒක ජනතාව දන්නවා. මනාප ක්‍රමයේදී අංක පිළිබඳව ජනතාව දැනුවත් කිරීමක්‌ කෙරෙනවා. මෙහිදී නීතියේ තහංචි තිබෙනවා. අපි මැතිවරණ කරන්නේ මේ සියල්ල පාලනය කරගෙනයි.
එදා වගේ අද රාජ්‍ය දේපළ පරිහරණය වෙන්නේ නෑ. එ.ජා.ප. පාලන කාලයේ ජනාධිපති අපේක්‌ෂකයාගෙත් ඡන්දය හොරට දැම්මා

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය සංවිධානාත්මක මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙනවා. නමුත් විපක්‌ෂයට එවැනි වැඩපිළිවෙළක්‌ නෑ. එ.ජා.පය නායකත්ව මණ්‌ඩලයක්‌ පත් කළා. දැන් ඒක ඇතුළේ එක්‌ එක්‌කෙනා විවේචනය කරනවා. මේක හරියට එකක්‌ කඩතොලු වසාගන්නට ගොස්‌ කඩතොලු රාශියක්‌ හදාගත්ත වගේ දෙයක්‌. අඩුපාඩු දහසක්‌ තියාගෙන විපක්‌ෂය මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ඇමැති වාසුදේව නානායක්‌කාර මහතා - ඇමරිකාව ඇතුළු අධිරාජ්‍යවාදී රටවල් හිතුවක්‌කාර ලෙස රටවලට කඩා වැදීමට ලයිෂන් එකක්‌ ගන්න උත්සාහ කරනවා. මෙය තමන්ගේ රටට අයිති බලයක්‌ ලෙස අත්හදා බලන්න ඇමරිකාව උත්සාහ කරනවා. අත්හදා බලන්න හදන්නේ ලංකාවෙන්. දැන් මේක හදිසි වෙලා. මොකද දියගෝ ගාර්ෂියා මුරුසි රාජ්‍ය ඒ සඳහා අයිතිවාසිකම් කියනවා. මෙන්න ඇමරිකාවට තමන්ගේ හමුදා දුපත්වල රැඳවීමේ ඉඩකඩ පිළිබඳ විශාල ගැටලුවකට මුහුණ පාන්න සිදුවෙලා. ඉන්දියානු කලාපයේ ඇමරිකන් මුරපළක්‌ තබාගැනීම ඉතාම හදිසි කාරණයක්‌ වෙලා.

ත්‍රිකුණාමලය වරාය සෘජුව ඡේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන කාලයේ ඉල්ලා සිටියා. ඒකට විරුද්ධ වුණා. ඇමරිකාව උත්සාහ කරන්නේ ලංකාව විශාල පීඩනයකට හසුකරන්නයි.

මහජන එක්‌සත් පෙරමුණ නියෝජනය කරමින් ආයුර්වේද සංස්‌ථාවේ සභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා 
මෙම පළාත් සභා මැතිවරණයේදී අපි කොටුකරන්න බලා සිටින විවිධ බලවේගයන්ට හොඳ පිළිතුරක්‌ ජනතාව ලබාදෙනු නියතයි. 

අනුර බාලසූරිය
http://www.divaina.com/2014/02/24/news36.html

0 comments: