Pages

Sunday, February 16, 2014

'හා' කීවොත් අවාසී! 'බෑ' කීවොත් අපි නසී! අයි.සී.සී. ගිරයේ 'ශ්‍රී ලංකා ක්‍රිකට්‌' පුවක්‌ ගෙඩිය - ජයසූරිය අදහස් දක්වයි

මුත්තයියා මුරලි දරන්ගේ දුස්‌රා වටත් ෂේන් වෝන්ගේ ගුග්ලි පන්දුවටත් පිතිකරුවෝ දැවී ගියහ. තවත් විටෙක අමාරුවෙන් කඩුලු රැක ගත්හ. ඒ දුස්‌රාවටත් ගුග්ලි පන්දුවටත් වඩා භයානක පන්දුවක්‌ අයි.සී.සී. ය විසින් පසුගියදා ලෝක ක්‍රිකට්‌ පිටියට යොමු කළේය. එය අපි 'ගුණ්‌ඩුව' ලෙස හඳුන්වමු. මේ ගුණ්‌ඩුවෙන් බේරීමට එංගලන්තය, ඔස්‌ටේ්‍රලියාව සහ ඉන්දියාව හැර අනිත් සියලු ටෙස්‌ට්‌ වරම් හිමි රටවලට පිත්ත නැතුව ඔළුවෙන් මුහුණ දීමට සිදුවිය.

ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය විසින් බලය බෙදීම සහ මූල්‍ය ප්‍රතිපාදන වලින් බහුතරය ඉන්දියාව ඇතුළු එංගලන්තය සහ ඔස්‌ටේ්‍රලියාවට බෙදී යන සේ නව සංශෝධන රැසක්‌ පසුගියදා සිංගප්පූරුවේදී පැවැති අයි.සී.සී. ප්‍රධාන රැස්‌වීමේදී සම්මත කර ගැනීමට සමත් විය. ඒ අනුව ලබන 2015 වසරෙන් පසු අයි.සී.සී. තරග කාලසටහනකට අනුව තරග නොපවැත්වෙනු ඇත. ද්විපාර්ශ්වික එකඟතා මත තරග පැවැත්වෙන අතර ලෝක කුසලාන තරගාවලි පමණක්‌ අයි.සී.සී. තරග සටහනට ඇතුළත් වේ. ඒ අනුව නතර කර දැමූ චැම්පියන්ස්‌ කුසලාන එක්‌දින තරගාවලියද යළිත් පැවැත්වීම ස්‌ථිර වී තිබේ.

වත්මන් ලෝක ක්‍රිකට්‌ ක්‍රීඩාවේ 'සල්ලි රජා' ඉන්දියාවය. ඔවුන්ගේ මුදල් පසුම්බියට ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයම දෙවැනි තැනට පත්වෙයි. ඒ තරමට ඉන්දියාව ක්‍රිකට්‌ අතින් පොහොසත්ය. ඉන්දියානු කණ්‌ඩායමක්‌ සමග තරග කරන විට සෙසු රටවල්වල ක්‍රිකට්‌ ආයතනවලට ප්‍රසාද දීමනා ලැබෙයි. ඒ තරමට ඉන්දියාව සහභාගි වන තරගවල රූපවාහිනි විකාශන අයිතිය සහ වෙනත් අනුග්‍රාහකයන් ඉහළ ගෙවීමක්‌ කරනු ලබයි. ක්‍රිකට්‌ යුගයේ මුල් පුරුක්‌ වන එංගලන්තය සහ ඔස්‌ටේ්‍රලියාවද ඉන්දියානු ක්‍රිකට්‌ ආර්ථිකයට පිටුපසින් දෙවැනි සහ තෙවැනි ස්‌ථානවල පසුවේ. ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට්‌ ආයතනවල සුපිරිම පැලැන්තිය ලෙස ඉන්දියාව, එංගලන්තය සහ ඔස්‌ටේ්‍රලියාව දැන් බහතුර බලය නිල වශයෙන් ලබා සිටියි. 

මූල්‍ය අතින් සෘන අගයකට පත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට ඉන්දියාව නුරුස්‌සවා ගැනීම කළු ගලේ ඔළුව ගසා ගැනීමක්‌ බඳු විය. එහෙත් කොන්ද කෙළින් තියා අපේ ක්‍රිකට්‌ ජවයෙන් ලද ප්‍රාණය හමුවේ අයි.සී.සී. යේ ඕනෑම 'ගුණ්‌ඩුවකට' අත උස්‌සනවා වෙනුවට එය තවත් සාකච්ඡාවට බඳුන් විය යුතු යෑයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති ඇතුළු නිලධාරීන් පසුගියදා අයි.සී.සී. යට දැනුම් දුන්නේය. ඒ අනුව ශ්‍රී ලංකාව විසින් යෝජනා කරන ලද ඉල්ලීම් කිහිපයකට සාවධානව කන් දුන් අයි.සී.සී. ය නව කෙටුම්පතේ වෙනස්‌කම් කිහිපයක්‌ පසුගියදා සිදු කරමින් සිය සංශෝධනය සම්මත කරගත්තේය. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය දැන් රැවුලත් කැඳත් දෙකම බේරාගැනීමේ මෙහෙයුම පටන් ගෙන තිබේ. 

පළමුව අයි.සී.සී යෝජනාවට විරුද්ධව කෑ මොර දුන් දකුණු අප්‍රිකානු ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය විධායක සභාවේ තනතුරක්‌ හිමිකරගැනීමේ 'මස්‌ කටුව' ලෙවන්නට ලැබුණු සැනින් සිය ස්‌ථාවරය පසෙකට විසිකර අයි.සී.සී යෝජනාවට එකපයින් එකඟ විය. එයට හේතුව ඉන්දියාවේ 'ගුණ්‌ඩුවක්‌' විය හැකිය. අනතුරුව ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය පමණක්‌ තනිවිය. 

අයි.සී.සී. නව සංශෝධන මගින් ක්‍රිකට්‌ ආර්ථිකයේ බලය හිමි ඉන්දියාව, එංගලන්තය සහ ඔස්‌ටේ්‍රලියාවේ මුදල් පසුම්බිය තවත් පිරෙනු ඇත. ඒ හරහා ඉන්දියාවට අයි.පී.එල්. තරගාවලිය ජයටම පවත්වාගෙන යා හැකිය. ඉන්දියානු ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායම තරගවලට සහභාගි වනවාට වැඩි මුදලක්‌ අයි.පී.එල්. ඔස්‌සේ ඉන්දිය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය සොයනු ඇත. එවිට සෙසු රටවල ප්‍රධාන ක්‍රීඩකයන්ටද අයි.සී.සී. තරග සටහනක්‌ නැති බැවින් කරදරයකින් තොරව අයි.පී.එල්. වලට ගොස්‌ පෞද්ගලික මුදල් පසුම්බිය අයි.පී.එල් හරහා තර කර ගත හැකිය. එසේ වුවහොත් ප්‍රශ්නය පැන නගින්නේ සෙසු ජාතික කණ්‌ඩායම්වල ප්‍රගතිය කෙරෙහිය.

ඉන්දියානු ක්‍රිකට්‌ පාලක මණ්‌ඩල සභාපති එන්. සිරිනිවාසන් සහ එංගලන්ත ක්‍රිකට්‌ සභාපති ගිලීස්‌ ක්‌ලාර්ක්‌ අතර මීට මාස කිහිපයකට පෙර ලන්ඩනයේදී පැවැති දීර්ඝ සාකච්ඡාවකින් පසු අදාළ යෝජනාව අයි.සී.සී හමුවට පැමිණ ඇති බව වාර්තා වේ. 

කෙසේ වෙතත් මීළඟ අයි.සී.සී සභාපතිවරයා ලෙස අසුන් ගැනීමට සිටින ඉන්දියානු ක්‍රිකට්‌ සභාපති එන්. සිරිනිවාසන්ගේ බෑනා වන ගුරුනාත් මෙයියප්පන් බුකී කරුවකු වන කිට්‌ටි සමග එකතුව තරග පාවාදීමේ සිද්ධිවලට සම්බන්ධ බව වාර්තා වෙමින් තිබේ. ඉන්දියානු ක්‍රිකට්‌ නායක මහේන්ද්‍ර සිං දොනි ඇතුළු තවත් ක්‍රීඩකයන් කිහිප දෙනකුද තරග පාවාදීම්වලට සම්බන්ධ යෑයි චෝදනා කිරීමට හිටපු අයි.පී.එල්. ප්‍රධානියකු වන ලලිත් මූඩි උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ. මේ අනුව අසීමිත බලය සහ මුදල මත ඉදිරියේදී ඉන්දියාව සමස්‌ත ක්‍රිකට්‌ ප්‍රජාවම නන්නත්තාර කරනු ඇතිද? එය අනාගතයේදී මාතෘකාවට බඳුන් විය යුතුය. 

කෙසේ වෙතත් අයි.සී.සී නව සංශෝධන සමග ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ඉදිරියට රැගෙන යැමේ නව සැලැස්‌ම පිළිබඳව සනත් ජයසූරිය 'දිවයින ඉරිදා සංග්‍රහය' සමග විශේෂ සාකච්ඡාවකදී මෙසේ කතිකාවක යෙදුණි.

ප්‍රශ්නය - අයි.සී.සී නව සැලැස්‌ම පිළිබඳව ඔබේ ආකල්පය මොකක්‌ද? 

ජයසූරිය - එක එක්‌කෙනාගෙ පෞද්ගලික තීරණ වෙනස්‌ වෙන්න පුළුවන්. ඒත් අපි බලන්න ඕන ශ්‍රී ලංකාවට කොහොමද මෙයින් වාසි සහගත බවක්‌ ලබාගන්නෙ කියන එක ගැන. අපේ ක්‍රිකට්‌ සභාපති ජයන්ත ධර්මදාස මහතා ඇතුළු කණ්‌ඩායම හොඳ විදිහකට මේ ප්‍රශ්නයට මුහුණ දුන්නා. අයි.සී.සී අවසන් සාකච්ඡාවේ අන්තිම වෙලාවෙදිත් අපේ ඉල්ලීම් සංශෝධනය කළා. එතනදි අපේ ස්‌ථාවරය කැපී පෙනුණා. විශේෂයෙන් ජයන්ත ධර්මදාස මහතා මුල ඉඳලම මේ ගැන අවබෝධයකින් මොනවද ඉදිරියට වෙන්නෙ කියන එක ගැන සොයා බැලුවා. විධායක සභාව දැනුවත් කළා. අපි මේකට ඡන්දය දුන්නත් නැතත් අයි.සී.සීය කොහොමත් යෝජනාව සම්මත කර ගන්න බවත් දැනගෙන හිටියා. ඒ නිසා අපි තවත් මේ ගැන සාකච්ඡා කරන්න ඕන කියල කට්‌ටියම තරහ නොකර ඡන්දය දීමෙන් වැලකී සිටියා.

ප්‍රශ්නය - අයි.සී.සී. නව සංශෝධන අනුව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කුමන මාවතක සිටිය යුතුද?

ජයසූරිය - අපේ පැත්තෙන් පුළුවන් තරම් ඉක්‌මනට අනිත් ක්‍රිකට්‌ ආයතනත් එක්‌ක සාකච්ඡා කරල ක්‍රිකට්‌ තරග ලබා ගන්න ඕන. විශේෂයෙන් ඉන්දියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම් සමග වැඩි තරග සංඛ්‍යාවක්‌ ලබා ගැනීමට කටයුතු කරන්න ඕන. ඒ පිළිබඳව දැනටමත් අපි සාකච්ඡා කරමින් ඉන්නවා. අපි මීළඟ අවුරුදු 10 ගැන හිතලා වැඩපිළිවෙළක්‌ සකස්‌ කරන්න ඕන. ඊට පස්‌සෙ මේ නීති ආයිත් වෙනස්‌ වෙන්න පුළුවන්. දැනටමත් අපි ඒ ගැන සාකච්ඡා කරල හොඳ සැලැස්‌මක්‌ නිර්මාණය කරමින් ඉන්නවා.

ප්‍රශ්නය - මූල්‍යමය පැත්තෙන් ශ්‍රී ලංකාවට මොන වගේ බලපෑමක්‌ද ඇති වන්නේ?

ජයසූරිය - මූල්‍යමය පැත්තෙන් අඩු පාඩු තියෙන්න පුqළුවන්. ලොකු අඩුපාඩුවක්‌ නොවෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි ක්‍රිකට්‌ සභාපති ජයන්ත ධර්මදාස මහතා මුල ඉඳලම මේ ගැන අවබෝධයකින් කටයුතු කළේ.

ප්‍රශ්නය - ඉදිරියේදී අයි.සී.සී. යෙන් ලැබෙන මුදල් ප්‍රමාණය අනුව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත්තුව එහෙම අඩුවෙයිද?

ජයසූරිය - මේ පාර කොන්ත්‍රාත් ගත කිරීමේදී ගිය පාරවල්වල වගේ ලොකු මුදලක්‌ ක්‍රීඩකයන්ට දෙන්න වෙන්නෙ නැහැ. මොකද අපිට ලැබෙන මුදල් ප්‍රමාණය අනුව ඕන අපි වියදම් කරන්න. හැබැයි ජාතික කොන්ත්‍රාත්තුවට අයත් ක්‍රීඩකයන්ගේ මුදල් අඩු කරාට අපි ප්‍රිමියර් තරගවලට ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගේ තරග මුදල වැඩි කිරීමට කටයුතු කරනවා. එතකොට ප්‍රිමියර් ක්‍රීඩකයන්ටත් සැලකිය යුතු මුදලක්‌ හිමි වෙනවා. ඒ වගේම මේ පාර කොන්ත්‍රාත්තුවට ක්‍රීඩකයන් 60 ක සීමාවකට තියා ගන්න කටයුතු කරනවා.

ප්‍රශ්නය - ඉන්දියානු ක්‍රිකට්‌ ආයතනය ශ්‍රී ලංකාව ඡන්දය පාවිච්චි නොකළාට අමනාප වෙයිද?

ජයසූරිය - ඉන්දියානු ක්‍රිකට්‌ ආයතනය සමගත් අපි සාකච්ඡා කරල තියෙනවා. අපි ඡන්දය පාවිච්චි නොකළේ ඒ ගැන තවත් අධ්‍යනය කරන්න ඕන නිසයි. මීළඟ අයි.සී.සී. රැස්‌වීමේදී අපේ මතය දැනුම් දෙනවා.

ඉන්ද්‍රජිත් සුබසිංහ, අසේල විතාන
http://www.divaina.com/2014/02/16/sports02.html

0 comments: