Pages

Thursday, February 13, 2014

කරුණු රැසක්‌ නිරාකරණය වෙලා. අයි.සී.සී. නව සංශෝධනවලට අපිත් කැමැත්ත දෙනවා! - නිශාන්ත රණතුංග

ඉකුත් 8 වැනිදා සිංගප්පූරුවේ පැවැති අයි.සී.සී. රැස්‌වීමේදී ටෙස්‌ට්‌ වරම් හිමි රටවල් 10 න් අටක්‌ම අයි.සී.සී නව කෙටුම්පත සඳහා ඡන්දය ලබාදුන්නද ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය එහිදී ඡන්ද දීමෙන් වැලකී සිටියේය. මේ සම්බන්ධව වැඩිදුරටත් කරුණු විමසීම සහ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයි.සී.සී. රැස්‌වීමක්‌ ලබන අප්‍රේල් මස 9 වැනිදා සිංගප්පූරුවේදී පැවැත්වෙන අතර එහිදී ශ්‍රී ලංකාවේ ස්‌ථාවරය වෙනස්‌ කිරීමට මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන නිලධාරීන් සාකච්ඡා කර තිබේ.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ලේකම් නිශාන්ත රණතුංග මහතා අදහස්‌ දක්‌වමින්, "පළමුව සකස්‌ කරන ලද අයි.සී.සී. නව සංශෝධන පනතේ අපිට ගොඩක්‌ අසාධරණ කාරණා සඳහන්ව තිබුණා. පසුව අපි ලිඛිතව සහ වාචිකව ඔවුන්ට ප්‍රකාශ කළා මේ දේවල් වෙනස්‌ විය යුතුයි කියලා. එහි ප්‍රතිඵලයක්‌ ලෙස දැන් ටෙස්‌ට්‌ වරම් හිමි රටවල් 10ටම අයි.සී.සී. සභාපතිවරයා ලෙස ඉඳගන්න පුළුවන්. ඔවුන් මුලින්ම සකස්‌ කරන ලද ව්‍යවස්‌ථාවේ සඳහන්ව තිබුණේ අයි.සී.සී. සභාපතිවරයා විය යුත්තේ එංගලන්තය, ඉන්දියාව හෝ ඔස්‌ටේ්‍රලියාව යන රටවල් තුනෙන් පමණක්‌ බවයි. අපේ විරෝධයට තුඩු දුන් හේතු කිහිපයක්‌ ඔවුන් වෙනස්‌ කර තිබෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ලබන අප්‍රේල් මාසයේ පැවැත්වෙන අයි.සී.සී. රැස්‌වීමේදී අපේ ඡන්දය ඔවුන්ට ලබාදීමට." යනුවෙන් රණතුංග මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ හි විරෝධයට තුඩු දුන් අයි.සී.සී. විධායක සභාවේ සාමාජිකත්වය සහ උප කමිටුවල සාමාජිකත්වය සඳහා ටෙස්‌ට්‌ වරම් හිමි රටවල් දහයේම නියෝජිතයන්ට සහභාගිවිය හැකි අතර එය ඡන්ද විමසීමක්‌ මගින් සිදුකෙරේ. පස්‌දෙනකුගෙන් යුත් අයි.සී.සී. විධායක කමිටුව සඳහා මෙම 2014 වසරෙන් පසුව ශ්‍රී ලංකාවේ නියෝජනයක්‌ද අපේක්‍ෂා කරන බව නිශාන්ත රණතුංග මහතා පවසයි. මීට අමතරවනව කෙටුම්පතට අනුව ඉන්දියාව, එංගලන්තය සහ ඔස්‌ටේ්‍රලියාව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල පහළ ස්‌ථානවලට වැටීම සිදුනොවන නමුත් ශ්‍රී ලංකාවේ ඉල්ලීමකට අනුව එම රටවල් තුනද ඉදිරියේදී යළිත් දක්‍ෂතා අනුව ඉහළ පහළ දැමීම නව අයි.සී.සී. සංශෝධන පනතේ අඩංගු බව රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

ද්විපාර්ශ්වික එකඟතාව මත තරග පැවැත්වීමේ ක්‍රමවේදයට ශ්‍රී ලංකාව සහ පාකිස්‌තානය හැර සෙසු රටවල් කැමැත්ත පළ කර ඇති නමුත් එය තමන්ට වෙනස්‌ කළ නොහැකි බව නිශාන්ත රණතුංග මහතා පවසයි. "කොහොමත් තරගාවලි පැවැත්වීමෙන් වැඩිම මුදලක්‌ ලැබෙන්නෙ ඉන්දියාව, ඔස්‌ටේ්‍රලියාව සහ එංගලන්තය සහභාගිවන තරගවලට. ක්‍රිකට්‌ වෙනුවෙන් ඔවුන්ගේ රටවලින් විශාල මුදලක්‌ වියදම් කරනවා. ඒ නිසා ඉදිරියේදී ද්විපාර්ශ්වික එකඟතාව මත තරග පැවැත්වෙයි. එයට අප මුලින් විරුද්ධ වුණත් රටවල් අටක්‌ කැමැත්ත ප්‍රකාශ කර තියෙනවා." යනුවෙන් නිශාන්ත රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් අයි.සී.සී. නව සංශෝධන පනතේ වෙනස්‌වීම් සහිතව ලබන 9 වැනිදා යළිත් සම්මත කර ගැනීමක්‌ සිදුකිරීමට නියමිත අතර ඉන් පසුව ජුලි මස එළැඹෙන අයි.සී.සී මහ සභාවාරයේදී පත්වන නව සභාපතිවරයා ලෙස ඉන්දියානු ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලසභාපති එන්. සිරිනිවාසන් මහතා අසුන් ගැනීමට නියමිතව තිබේ.

අසේල විතාන
http://www.divaina.com/2014/02/12/sports01.html

Pic Source

සබැඳි ලිපි
[
ඉන්දියාව, ඔස්‌ටේ්‍රලියාව සහ එංගලන්තය ක්‍රිකට්‌ මහා බලවතුන් බවට පත් වේ
http://denethharinna.blogspot.com/2014/02/blog-post_11.html
]

0 comments: