Pages

Sunday, February 16, 2014

සැරියුත් මුගලන් යන මහරහතන් වහන්සේලා අගසවු තනතුරු ලද, බුදුරඳුන් ආයු සංස්‌කාරය හල, නවම් පොහොය

නවම් පොහොය ශාසන ඉතිහාසයෙහිලා ඉතා වැදගත් සිදුවීම් ගණනාවකට මුල් වූ දිනයක්‌ වශයෙන් හඳුන්වාදිය හැකි ය. බුදු සසුනේ ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වීම, සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේලා දෙනමට අගසවු තනතුරු ප්‍රදානය කිරීම, ඕවාද ප්‍රාතිමෝක්‌ෂය දේශනා කිරීම හා බුදුරජාණන් වහන්සේ ආයු සංස්‌කාරය අත්හැරීම යන චතුර්විධ කරුණු නවම් පොහොය දිනෙක සිදු වී ඇත. එබැවින් ලෝකවාසී බෞද්ධ ජනතාවගේ සදා අනුස්‌මරණීය දිනයක්‌ ලෙස නවම් පොහොය දිනය හඳුන්වාදිය හැකිය.

බුදුරජාණන් වහන්සේ පස්‌වග මහණුන් ගෙන් ආරම්භ කළ සඟ පරපුර වසරක පමණ කාලයක්‌ ගතවීමෙන් පසුව දලුලා වැඩුණු වෘක්‌ෂයක්‌ සේ බබළන්නට විය. විවිධ දර්ශනවාද පිළිගනිමින් සත්‍ය ගවේෂණ ක්‍රියාවන් හි යෙදී සිට පසුව බුදු සමය කෙරෙහි පැහැදී යථාර්ථය අවබෝධ කරගැනීම් වස්‌ පැවිදි වූ නා නා වර්ගික භික්‌ෂූන් වහන්සේලාගෙන් සංඝ සමාජය ජනාකීර්ණ එකක්‌ බවට පත් විය. මෙසේ ආරම්භ වූ භික්‌ෂු සමාජය පළමුවරට එක්‌රැස්‌ කොට මහා සංඝ සම්මේලනයක්‌ පැවැත්වූයේ අද වැනි නවම් පුර පසළොස්‌වක පොහොය දිනෙක දී ය.

උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිල භික්‌ෂූන් වහන්සේලා ප්‍රධාන 1000 ක භික්‌ෂු පිරිස ද, සැරියුත් මුගලන් දෙනම ප්‍රමුඛ 250 ක භික්‌ෂු පිරිස ද යන 1250 ක්‌ වූ මහා සංඝ සන්නිපාතයකින් එදා රජගහනුවර වේළුවනාරාමය බබළන්නට විය. තාරකා පිරිවරා ගත් පුන්සඳ මඬල සේ ඒ රහතන් වහන්සේලා මැද බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සේක. මෙම ප්‍රථම සංඝ සම්මේලනයේදී භික්‌ෂු සමාජයේ අග්‍රශ්‍රාවක තනතුරු ප්‍රදානය කිරීම සිදු වුණි. ඒ අනුව සැරියුත් මුගලන් යන මහරහතන් වහන්සේලා දෙනම පිළිවෙළින් දකුණත් සවු, වමත් සවු වශයෙන් අගසවු තනතුරුවලට පත් කෙරිණි. බුදුරදුන් සිදු කළ මෙම පදවි ප්‍රදානය තුළින් සුදුස්‌සාට සුදුසු තැන ලබාදීමේ බෞද්ධ සම්ප්‍රදාය ආරම්භ විය.

මෙම අගසවු තනතුරු ප්‍රමුඛව ස්‌වකීය ශ්‍රාවකයන් වහන්සේලා වෙත සුදුසු තනතුරු ප්‍රදානය කිරීම තුළින් බුදුරදුන් අපේක්‍ෂා කළේ ශාසනයේ චිරස්‌ථිතිය සඳහා කටයුතු කළ හැකි විශේෂ පුද්ගලයන් සකස්‌ කිරීමයි. තනතුරු ප්‍රදානයෙන් නොනැවතුණු බුදුරදුන් භික්‌ෂු සමාජයේ ඉදිරි පැවැත්ම සඳහා "ඕවාදප්‍රාතිමෝක්‌ෂය" දේශනා කිරීම සිදුවූයේත් අද වැනි නවම් පොහොය දිනෙක ය. එය බුදු සසුනේ පළමුවැනි විනය නීති මාලාව විය. යම් විටෙක භික්‌ෂූන් වහන්සේලා අතර ආසවට්‌ඨානීය ධර්ම හෙවත් ආශ්‍රවයන් ඉපදීමට හේතු වන ධර්ම පහළ වන විට බුදුරදුන් ඒවා දුරැලීමට විනය ශික්‌ෂා පනවන බවත්, ප්‍රාතිමෝක්‌ෂය දේශනා කරන බවත්, පාරාජිකා පාලියේ දැක්‌වේ. පඨමාභිසම්බෝධි යුගයේ හෙවත් බුද්ධත්වයෙන් මුල් විසිවස තුළ ස්‌වයං ශික්‌ෂණය යටතේ හික්‌මුණු භික්‌ෂු පිරිසට විනය ශික්‌ෂා නොමැති බැවින් "සබ්බපාපස්‌ස අකරණං..." යනාදී ඕවාදප්‍රාතිමෝක්‌ෂය දේශනා කිරීම සිදු විය.

නවම් පුර පසළොස්‌වක පොහොය දා සිදු වූ අනුවේදනීය සිදුවීමක්‌ ලෙස බුදුරදුන් ආයු සංස්‌කාරය අත්හැරීම පෙන්වාදිය හැකිය. අසූවැනි වියට එළඹීමට තෙමසකට පෙර බුදුරාජාණන් වහන්සේ සිය අග්‍ර උපස්‌ථායක ආනන්ද හිමි ද සමග රජගහනුවර චාපාල නම් චෛත්‍යය අසලට වැඩම කළහ. එහිදී ආනන්ද හිමි අමතා තමා ආයු සංස්‌කාරය අත් හළ බවත්, ඡන්ද, විරිය, චිත්ත, විමංසා යන සතර සෘද්ධිපාද ප්‍රගුණ කළ බුදුවරයකුට ආයු කල්පයක්‌ වුවද මෙලොව ජීවත්විය හැකි බවත්, පැහැදිලි කළ හ. එලෙස තෙවරක්‌ම පැහැදිලි කළ ද ආයු කල්පයක්‌ වැඩ සිටින ලෙස බුදුරදුන්ට ඇරයුම් කිරීම කෙරෙහි ආනන්ද හිමියන්ට සිහිය පිහිටුවා ගැනීමට නොහැකි විය. බුදුරදුන් ආයු සංස්‌කාරය අත්හැරීමේ පුවත ඇසූ සැණින් ම ආනන්ද හිමි චිත්ත වික්‌ෂිප්තභාවයට පත්වීම එයට හේතුවයි. එබැවින් බුදුරදුන් මෙයට තෙමසකට පසු පිරිනිවන් පාමියි, තීරණය කෙළේ ද අද වැනි නවම් පොහොය දිනෙක ය.

ඉහත කරුණු පිළිබඳ විමසීමේදී නවම් පුර පසළොස්‌වක පොහොය දිනය ශාසනික හා ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් දිනයක්‌ බව පැහැදිලි ය. එබැවින් ලොව සෑම බෞද්ධ විහාරස්‌ථානයකම මෙම පොහොය දිනය අනුස්‌මරණය කරනුයේ ආමිස හා ප්‍රතිපත්ති පූජා පවත්වමිනි.

ඌරුගමුවේ අස්‌සජී හිමි
http://www.divaina.com/2014/02/14/news10.html

0 comments: