Pages

Monday, February 24, 2014

සිසු සිත නොරිදවා, අකුරු කරවව් ගුරුනි සොඳවා...

පාසල් දරුවන් අද ඉතා අසරණ තත්ත්වයට පත්ව ඇති ආකාරය අපට අද දවසේ ඇසෙන්නට දකින්නට ලැබෙන සිද්ධිවලින් පෙනේ. පාසල් ගුරුවරුන් ගුරුවරියන් හා විදුහල්පතිවරුන් ස්‌වකීය දරුවන්ට දෙන අවවාද හේතු කොටගෙන ගෙල වැලලාගෙන සියදිවි නසා ගැනීම, වස බී දිවියෙන් සමුගැනීම, ළිඳට පැන දිවි හානි කරගැනීම ආදි අතිශය ෙ€දනීය සිද්ධි සමුදායකි.

ඊයේ පෙරේදා කුරුණෑගල සිසුවියක්‌ විදුහල්පතිවරයාගේ අවවාදවලින් කම්පාවට පත්ව ගෙල වැලලාගෙන මියගොස්‌ ඇත. මෙය අතිශය ශෝචනීය සිද්ධියකි. සමාජයට මෙහෙවරක්‌ කළ හැකි දරුවන් මෙසේ අකාලයේ මියයැම බරපතළ ප්‍රශ්නයකි.

ගුරුවරුන්, ගුරුවරියන්, විදුහල්පතිවරුන් සිය සිසු දරුවන්ට අවවාද දීම ඉතා පරිස්‌සමින් සිදු කළ යුතු කාරියකි. ආවේගශීලී ස්‌වරූපයෙන් දරුවන්ට අවවාද නොදිය යුතුය. ලාමක සිත් සසල වීම හේතු කොටගෙන මෙසේ දිවි නසාගන්නට පෙළඹීමත් ස්‌වාභාවික ගති ලක්‌ෂණයකි. 

ගුරුවරයාගේ මානසික තත්ත්වයත් සිසු දරුවන්ගේ මානසික තත්ත්වයත් අතර විශාල වෙනසක්‌ දක්‌නට ලැබේ. මේ යථාර්ථය ගුරුවරුන් තේරුම් ගත යුතුය. සිසු දරුවන් අතින් වැරදි සිදු වේ. එයද ස්‌වාභාවික ගතිලක්‌ෂණයකි. වැරදි කළ අයට අවවාද දීමේදී ගුරුවරුන් ඉතා සංවේදී විය යුතුය.

එසේ නොමැතිව දරුවන්ට කඩා පැන ආවේගශීලී ස්‌වරූපයෙන් වේවැලෙන් තරවටුකොට අවවාද දිය යුතු නැත. වරදට දඬුවම් කළ යුතුද? මේ ප්‍රශ්නය හමුවේ ගුරුවරුන් මෙන්ම මවුපියෝද පසුවෙති.

අලින් මෙල්ල කරන්නේ "හෙණ්‌ඩුවෙනි", එතරම් හැඩි දැඩි අලින් පුංචි හෙණ්‌ඩුවකින් මෙල්ල කරන්නට පුළුවන්නම් පුංචි දරු දැරියන් සුන්දර වදන් වලින් මෙල්ල කරන්නට බැරි ඇයි?

ආදරය හා මානව දයාව, කරුණාව, දරුවන්ට හොඳ ආහාරයකි. ඕනෑම දඩබ්බර හදවතක්‌ සුන්දර වදන්වලින් මෙල්ල කළ හැකිය. එදා"ගුරුගෙදර" දිසාපාමොක්‌ ස්‌වකීය දරුවන් මෙල්ල කළේ වේවැලෙන් දඩබ්බර වදන්වලින් නොවේ සුන්දර වදන් වලිනි. ඒ වදන් සමුදාය නිසා ගුරුවරුන් හා ගෝලයන් අතර තිබුණේ දැඩි බැඳීමකි, ආදරයකි.

වර්තමාන ගුරුවරුන් එදා ගුරුගෙදර දිසාපාමොක්‌වරුන් අනුගමනය කළ ආකල්ප - සංකල්ප ගුරු කොට ගත යුතුය. එදා හොඳම ගෝලයාට දිසාපාමොක්‌ගේ දියණිය සරණ පාවාදීමේ සම්ප්‍රදායක්‌ තිබුණි.

මවුවරුන්ට දරුවන් යම්සේද ගුරුවරුන්ට සිසු දරුවන්ද එසේමය. සමහර ගුරුවරුන් ගුරුවරියන් දක්‌වන ආදරය නිසා ඇතැම් දරුවන් පාසලට යන්නට දක්‌වන්නේ දැඩි ඇල්මකි. මෙහි තවත් පැත්තක්‌ අපට දකින්නට ලැබේ. සමහර ගුරුවරුන්ගේ දඩබ්බර පිළිවෙත හේතුවෙන් දරුවන් පාසලට යන්නට කැමැත්තක්‌ දක්‌වන්නේ නැත.

ගුරුවරයා හිට්‌ලර්ගේ චරිතය සිසු සිසුවියන් හමුවේ රඟපෑවොත් දරුවන් මහත් භීතියට පත්වීම ද නිරන්තරයෙන්ම සිදුවන්නකි. ගුරුවරයා හා සිසුන් අතර සහසම්බන්ධයක්‌ ඇතිවිය යුතුය. 

සිසුන් මිදුලේ දණ ගස්‌සන, කොට ගවුම දිගු කරන්නට කියා දඬුවම් කිරීම, පන්ති තහනම් කිරීම ආදියෙන් ගුරුවරුන් වැළැකී සිටිය යුතුය. සිසුවියගේ ගවුම කොට නම් කළ යුත්තේ ඇය පෞද්ගලිකව හමුවී ඒ ගැන සංවේදී සිතකින් අවබෝධ කොට දී ගවුම ටිකක්‌ දිගු කරන්නට කියා පෑමය.

රටක ජීවනාලිය වන්නේ ගුරුවරයාය. ගුරුවරයාගේ කතා බහ, ගමන් විලාසය, හැසිරීම් රටාව, වදන්වල ඇති රසඥතාව ආදිය කෙරෙහි සිත් යොමු කළ මනාය. ගුරුවරුන්ට අභ්‍යාසයක්‌ දෙන්නේද මේ නිසාය.

'ගුරු සිත නොරිදවා අකුරු උගනිව් කුමරු සොඳවා' යන අර්ථය අද වෙනස්‌වීමට වෙනස්‌ කිරීමට කාලය උදාවී ඇත. එය සිසු සිත නොරිදවා අකුරු කරවව් ගුරුන් සොඳවා යනුවෙන් පෙරළා ගත යුතු කඩ ඉමකට ප්‍රවේශ වී ඇත.

රටේ අනාගතය රැඳී ඇත්තේ සිසු දරුවන් අතය. නව නිර්මාණශීලි ගති ලක්‌ෂණවලින් උපයුක්‌ත පිරිසක්‌ බිහිකිරීමේ කාර්යය පැවැරී ඇත්තේ ගුරුවරුන්ටය. ගුරුවරයා ඒ සංකල්පය බැහැර කොට ඒකාධිපතියකුගේ ස්‌වරූපයක්‌ අනුගමනය කරන්නේ නම් එතැන ගුරු වෘත්තියක්‌ රැඳී නැත. ඒ පුද්ගලයා ගුරුකමට සුදුසු ද නැත.

අවවාදය නොරිස්‌සීමෙන් ගෙල වැලලාගත් සිසුවියගේ කතාන්තරය එම විදුහලට කළු ලපයකි. මේ කළු ලපය කිසිදා මකන්නට බැරිය. සෙසු පාසල්ද මෙය තදින්ම සිතට ගෙන කළු ලප ඇති කර නොගන්නට වග බලා ගත යුතුය.

ගල් රෝලක්‌ ඇඟට පෙරැළීමෙන්ද පුංචි සිසු දරුවෙක්‌ පසුගියදා දිවියෙන් සමුගත්තේය. මේ සිදුවීම් මත්තට ඇති නොවන්නටද ගුරුවරුන් වග බලාගත යුතුය. එම වරද සිසු දරුවන් මත පටවා විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට ඇඟ බේරාගන්නට බැරිය. 

ගුරුවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙබඳු අනුවේදනීය සිද්ධි අපට අසන්නට දකින්නට පාසල් පරිශ්‍රයේදී සිදු නොවන්නටයි අපේ ප්‍රාර්ථනය.

කොළඹ දිසාවේ සංඝනායක කොලොන්නාව ශාසනාරක්‌ෂක බල මණ්‌ඩලයේ බටහිර කලාපයේ සභාපති ශාස්‌ත්‍රපති පණ්‌ඩිත පූජ්‍ය 

අරම ධම්මතිලක නාහිමි
http://www.divaina.com/2014/02/22/feature03.html

Pic Source

0 comments: