Pages

Sunday, February 16, 2014

පළාත් සභා බලතලවලින් වැඩ කළ හැකි අයුරු උදය ගම්මන්පිලගෙන් ඉගෙන ගත යුතුයි - ගෝඨා

පළාත් සභාවක්‌ සතුව ඇති බලතලවලින් එහි වැඩ කළ හැක්‌කේ කෙසේද යන්න බස්‌නාහිර පළාත් හිටපු ඇමැති උදය ගම්මන්පිල මහතාගෙන් ඉගෙන ගත යුතු බව ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

මෑතකදී මෙරට සංචාරයේ යෙදුනු ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය වන නිශා බිස්‌වාල් මහත්මිය පළාත් සභා බලතල ප්‍රමාණවත් නැතැයි කී විට තමා උදාහරණයකට ගෙන පෙන්වූයේ උදය ගම්මන්පිල මහතාගේ පස්‌වසරක වැඩපිළිවෙළ බවත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවැසීය.

ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම අදහස්‌ පළ කළේ බස්‌නාහිර පළාත් සභා අපේක්‍ෂක එජනිස කොළඹ දිස්‌ත්‍රික්‌ කණ්‌ඩායම් නායක නීතිඥ ප්‍රභාත් උදය ගම්මන්පිල මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමේ උත්සවය කොළඹ පදනම් ආයතනයේ ඊයේ 13 වැනිදා පැවැති අවස්‌ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්‌වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා - ගම්මන්පිල මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භයට මා පැමිණියේ ඔහු පළාත් සභා ඇමැතිවරයකු ලෙස පසුගිය පස්‌වසර තුළ ඉතා සාර්ථකව වැඩකටයුතු කළ නිසයි.

ඒ නිසා එතුමාට මෙවර පළමු වර ලබාගත්තා මෙන් තුන් ගුණයක්‌ ඡන්දය ලබාදීලා පළාතෙන් පළමු වැනියා කරන ලෙස මා ඉල්ලා සිටිනවා.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාත් උදය ගම්මන්පිල මහතාත් සැමදා ජනතාව ඉදිරිපිටට යන්නේ ඔවුන් දුන් පොරොන්දු ඉටු කරලයි. අප පසුගිය වසර පහ තුළ යුද්ධය පැවැති ප්‍රදේශ ඇතුළුව අනෙකුත් ප්‍රදේශ ඉතා උසස්‌ මට්‌ටමින් සංවර්ධනය කර තිබෙනවා.

යුද්ධයක්‌ පැවැති කිසිදු රටක්‌ යුද්ධය අවසන් වීමෙන් පසු සිදු නොකරපු සංවර්ධනයක්‌ වත්මන් රජය පසුගිය සිව් වසරක කාල සීමාව තුළ කර තිබෙනවා. අපගේ දේශපාලනයේ පක්‍ෂ පාට, ආගම්, කුල ගෝත්‍ර නැහැ. අපට අවශ්‍ය ජනතාව වෙනුවෙන් වැඩ කරන්නයි. ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් කුණු අදින්න වුණත් මා සූදානම්.

මෑතකදී අප රටට පැමිණි ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරිය මා හමු වී පැවසුවේ උතුරට ඡන්දය දුන්නට ඔවුන්ට බලතල ලබාදීලා නැහැ කියලයි. එවිට මම කිව්වේ උතුරට තියෙන්නෙත් බස්‌නාහිරට, දකුණට, වයඹට ඇති බලතල තමයි කියලයි.

දැන් සමහරු පවසන්නේ ජිනීවා යන්නේ රට නොවෙයි රජය කියලා. අප ඔවුන්ගෙන් අහනවා අපේ යුද හමුදාව කියන්නේ අපගේ රට නොවේද කියලා. ඉන්දියන් සාගරයේ බලය පැතිරවිය හැකි ඊට උදව් දෙන නායකයකු පත්කර ගැනීම ඇමරිකාවේ වුවමනාවයි.

මෙහිදී අදහස්‌ දැක්‌වූ හිටපු පළාත් සභා ඇමැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ කොළඹ දිස්‌ත්‍රික්‌ නායක නීතිඥ ප්‍රභාත් උදය ගම්මන්පිල මහතා-

ජර්මනියේ ලිබරල් පක්‍ෂය වසර පනස්‌හතක්‌ එරට පාලනය කළා. සිංගප්පූරුවේ මහජන පක්‍ෂය දිගු කලක්‌ රට පාලනය කළා. වත්මන් මහින්ද රාජපක්‍ෂ රජය දීර්ඝ කාලයක්‌ රට පාලනය කරනවා දැකීම අපගේ සිහිනයයි.

අපේ ඡන්දය බස්‌නාහිර හා දකුණේ පැවැත්වුණත් රටට එරෙහි බැරක්‌ ඔබාමාගේ ඡන්දය මාර්තු 28 ජිනීවා හිදී පැවැත්වෙනවා. අප ඊට මුහුණ දිය යුතුයි.

මෙහිදී මහාචාර්ය රංජිත් බණ්‌ඩාර, ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා යන මහත්වරුද අදහස්‌ දැක්‌වූහ.

ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය, වෘත්තීයවේදීන්, නීතිවේදීන්, විද්වතුන්, ලේඛකයන්, ව්‍යාපාර ප්‍රජාව, කලාකරුවන් සහ ක්‍රීඩක ප්‍රජාව නියෝජනය කරමින් ආරාධිතයන් රැසක්‌ද සහභාගි වූහ.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2014/02/15/news33.html

0 comments: