Pages

Sunday, November 10, 2013

රටේ හීන බිඳින විග්නේෂ්වරන්ගේ දමිළ හීන පොලිසිය

මුරුක්‌කන් පොලිසිය ගැබිනි මව්වරුන් සියයකට වැඩිපිරිසකට අතුරුපස සහිතව දහවල් කෑම වේලක්‌ දුන් අයුරු.

උතුරු පළාත් සභා බලප්‍රදේශයට දෙමළ භාෂාව කතා කරන පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ යෙදවිය යුතු බවට ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා යෝජනා කොට තිබේ. උතුරු පළාත ප්‍රජාතාන්ත්‍රිය ව්‍යුහයට අවතීර්ණ වීමෙන් පසුවද ප්‍රධාන අමාත්‍යවරයා මෙවැනි යෝජනාවක්‌ ඉදිරිපත් කොට තිබීම බරපතළ තත්ත්වයක්‌ බව අපට පෙනීයන්නේ ඉතිහාසයේදී උතුරු ප්‍රදේශය තුළදී පොලීසියට සිදුවූ අතිෙ€දනීය තත්ත්වයන් යළි මෙනෙහි කරන විටය.

1990 වර්ෂයේදී යාල්දේවි දුම්රිය තුළදී පොලිස්‌ භටයෙකුට වෙඩිතැබූ පිස්‌තෝල කල්ලි සාමාජිකයෙකු ප්‍රකාශ කොට තිබුණේ පොලිස්‌ නිලධාරීන් උතුරු ප්‍රදේශයෙන් ඉවත් විය යුතු බවයි. එසේ නොවන්නේ නම් පොලිසියට බරපතළ තත්ත්වයකට මුහුණපෑමට සිදුවන බවද පොලිස්‌ නිලධාරියාට වෙඩි තැබූ පිස්‌තෝලකරුවා මරණකරු අසල දමා තිබූ ලියවිල්ලක සඳහන් විණි.

මේ වර්ෂයේම එනම් 1990 ජුනි මාසයේදී නැගෙනහිර පළාතේදී පොලිස්‌ නිලධාරීන් 700 කට වැඩි පිරිසක්‌ එක පෙළට තබා වෙඩිතබා ඝාතනය කළ තුවක්‌කු කරුවෝ උතුරේදී පොලිස්‌ නිලධාරීන් 46 දෙනකු පණපිටින්ම ඔවුන්ගේ භාරයට ගෙන වසර ගණනාවක්‌ම රඳවාගෙන සිටියහ. උතුරේ මාන්කුලම්, ඔඩ්ඩිසුඩාන් යන පොලිස්‌ ස්‌ථානවලින් පැහැරගත් මේ පොලිස්‌ නිලධාරීන් පිරිසට වධකාගාරවලදී දසවධවලට මුහුණදීමට සිදුවූ අතර බොහෝ පාර්ශ්ව එල්. ටී. ටී. ඊ. ය සමග කළ සාකච්ඡා මත ඔවුන් වරින් වර එක්‌කෙනා දෙන්නා බැගින් නිදහස්‌ වූහ.

මීට අමතරව උතුරේදී පොලිස්‌ නිලධාරීන්ට බුරුතු වශයෙන් හා තනිව මුහුණ පෑමට සිදුවූ අවාසනාවන්ත ඉරණම් පිළිබඳ කතා පුවත් බොහෝය. මගේ නැගණිය විවාහ කරගත් මීරිගම තවලම්පිටිය පදිංචි වී සිටි රෝහණ ගුණවර්ධන නම් වූ පොලිස්‌ භටයාටද මීට වසර ගණනාවකට පෙර වෙඩි කා මියයන්නට සිදුවිණි.

යුද්ධය ආරම්භ වූ වකවානුවේ සිටම එල්. ටී. ටී. ඊ. ය සිංහල පොලිස්‌ නිලධාරීන් උතුරු ප්‍රදේශයෙන් පලවා හැරීමට අනුගමනය කරන ලද ක්‍රමවේදයන් බොහෝය. ඒ යුද සමයේදීය. නමුත් දැන් උතුරේ ක්‍රියාත්මක වන්නේ සාමය රජයන වටපිටාවක්‌ය. උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් පසුව සියලු දෙනාම කියන ආකාරයට උතුර දැන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පිවිස තිබේ.

ජනාධිපතිවරයා ඉදිරියේදී මේ රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ගරු කරන බවට දිවුරා පොරොන්දු වූ මහ ඇමැති විග්නේෂ්වරන් දැන් උතුරෙන් සිංහල පොලිස්‌ නිලධාරීන් පලවා හැරීමටත් දෙමළ පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ යොදවා උතුරට පොලිස්‌ බලතල ඉල්ලා සිටීමටත් වේට්‌ටිය කැහැපොට ගන්වා ගෙන සූදානම් වෙයි. එදා එල්. ටී. ටී. ඊ. යට අවශ්‍ය වූ දේ අද විග්නේෂ්වරන් කිරීමට සැරසෙයි. කෙක්‌කෙන් කඩන්නට බැරි වූ දේ කොක්‌කෙන් බාගන්නට උත්සාහ දරන මේ පිරිස රට තුළ ප්‍රජාතාන්ත්‍රීය ව්‍යුහයක්‌ ඔස්‌සේ කටයුතු කරනු ඇතැයි කාටනම් සිතිය හැකිද?

උතුරේ මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් සිංහල පොලිස්‌ නිලධාරීන් උතුරු ප්‍රදේශයෙන් පලවා හැරීමට සුදානම් වෙද්දී පොලිස්‌ නිලධාරියාගේ සිංහල සංස්‌කෘතියේ හෙබි මානව දයාව ඉස්‌මතු කෙරෙන අපූරූ දසුනක්‌ පසුගියදා අපට මන්නාරම මුරුන්කන් ප්‍රදේශයේදී දැක ගන්නට ලැබිණි.

මුරුක්‌කන් පොලිස්‌ ස්‌ථානාධිපති කමල් ගුණවර්ධන මහතා තම පොලිස්‌ වැයික්‌කියේ එහා මෙහා යන සෑම අවස්‌ථාවකම දුටුවේ දරු ගැබක්‌ කුසෙහි දරාගෙන එහා මෙහා යන දර ඉපල් බඳු කාන්තාවෝය. සාමයේ ප්‍රතිඵල වශයෙන් ඔවුන්ගේ කුස තුළට වැඩි වැඩියෙන් දරුගැබ් පහල වුවත් ආර්ථික ධරිද්‍රතාව හමුවේ කුස තුළ සිටින දරුවා පමණක්‌ නොව මව්වරුන්ගේ පෝෂණයද ප්‍රශ්නයක්‌ විණි. 

පොලිසිය මහජනතාව සමග ඉන්නේ. මේක තවත් දියුණු කරන්න පුළුවන් හොඳ වැඩක්‌ කරන්න. ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන්ගෙන් කමල් ගුණවර්ධන මහතාට ලැබුණු පිළිතුර එයයි.

වන්නි දිසාව භාරව එදා සිටි නියෝජ්‍ය පොලිස්‌පති වික්‍රමසිංහත් මන්නාරම ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ලක්‌සිරි විඡේසේනත් මුරුක්‌කන් කලාපයේ සහකාර පොලිස්‌ අධිකාරි සුගතපාලත් දුන් උපදෙස්‌ මත මුරුක්‌කන් පොලිසියේ සියලුම නිලධාරීන්ගේ සහාය ලබාගත් ස්‌ථානාධිපතිවරයා පළාතේ ගැබිනි මව්වරුන් සියයකට වැඩිපිරිසකට අතුරුපස සහිතව දහවල් කෑම වේලක්‌ සංවිධානය කළේය. එතැනින් නොනැවතුණ ස්‌ථානාධිපතිවරයා තවත් මාස ගණනක්‌ මේ ගැබිනි මව්වරුන්ට පරිහරණය කළ හැකි අන්දමේ කිරිපිටි, වෙනත් පෝෂ්‍යදායි ආහාර ඇතුළත් මල්ලක්‌ද පිරිනැමීය. මේ දානයට සහභාගි වූ ගැබිනි කාන්තාවෝ දෙමළ කාන්තාවෝය. මුස්‌ලිම් කාන්තාවන් සිටියේ කීප දෙනෙකි. දානයකින් පසුව භික්‍ෂූන් වහන්සේ විසින් කරනු ලබන පුණ්‍යානුමෝදනාව මෙන් මේ කාන්තාවෝ කියා සිටියේ.

"අපි මෙහෙම දානයක්‌ දෙනවා දැකලා නෑ. සිංහල අය මෙහෙම කළාට දෙමළ අපේ අය අතරෙ මෙහෙම පුරුද්දක්‌ නෑ. අනික තමයි පොලිසිය එකතු වෙලා මේවගේ දෙයක්‌ කිරීම ඊටත් වඩා විශේෂයක්‌. මේකෙන් අපි දෙගොල්ලම තවත් හිතවත් වෙනවා.

දෙමළ කාන්තාවන් කී මේ දෙය උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන්ට තේරෙන්නේ නැත. තමන් සිංහල ජන සමාජය සමග හැදුණු වැඩුණු අයෙකු බව ප්‍රකාශ කළද සිංහල ජනසමාජයේ සංස්‌කෘතික ගුණාංග ඔහු හඳුනන්නේ නැත. එදා සිට සිංහලයේ ගැබ්බර කාන්තාවන් වෙනුවෙන් ගැබ්පෙළහැරවල්" පැවැත්වූවෝ වෙති. මුරුක්‌කන් පොලිසිය කළේද එවැන්නකි. මීට පෙර සෙට්‌ටිකුලම් පොලිසියේ ස්‌ථානාධිපතිව සිටි සංජීව එවැනි පුණ්‍යකර්මයක්‌. කර තිබුණි. නමුත් විග්නේෂ්වරන් මහ ඇමැතිවරයා උත්සාහ කරන්නේ සිංහල පොලිස්‌ නිලධාරීන් උතුරෙන් අතු ගා දැමීමටය.

ශ්‍රී ලංකා පොලිසියට උතුරේ කෙනෙහිළිකම් එල්ල වූ ප්‍රථම අවස්‌ථාව මෙය නොවේ. ඉන්දීය සාමසාධක හමුදාව උතුර පාලනය කළ වකවානුවක පොලිස්‌ නිලධාරීන් හතළිස්‌ දෙනකු පමණ ඉන්දීය යුදහමුදාව සමග මාන්කුලම ප්‍රදේශයේ සේවයට යෙදවූහ. ඔවුන් සිටින ස්‌ථානවලට අවශ්‍ය කෑම බීම සපයාදීමට ආසන්න පොලිස්‌ ස්‌ථානවල කිසිදු නිලධාරියෙකුට හැකියාවක්‌ නොලැබුණේ යුද්ධය හේතුවෙනි. අවසානයේදී ඉන්දීය සාම සාධක හමුදාවේ ලොක්‌කෙකු මේ පොලිස්‌ නිලධාරීන්ට දිනපතාම තුන්වේලම කන්නට දුන්නේය. ඒ නිකම්ම නොව, ඉන්දීය හමුදාව සතුව සිටි විශාල එළුපට්‌ටියක්‌ රැකබලා ගන්නට නියෝග කරමිනි. ශ්‍රී ලංකා පොලිසියේ නිලඇඳුම ලාගත් ඒ පොලිස්‌ පිරිස ඉන්දීය හමුදාවට අයත් එළුවන්ට කොළ කවමින් ජලය සපයමින් ඔවුන්ව නාවමින් පොලිස්‌ ඩියුටියට අමතරව එළුවන් බැලීමද සිදුකොට කුසගින්න නිවාගත්හ. මේ සිද්ධිය එදා දිවයින විසින් වාර්තා කිරීමෙන් පසුව ඒ ගැන පාර්ලිමේන්තුවේ පවා විශාල කතාබහක්‌ ඇතිවිණි. එහෙත් ඉන්දීය හමුදා ලොක්‌කා මේ පොලිස්‌ නිලධාරීන් නිදහස්‌ කරන තුරු ඔවුන්ට නිදහසක්‌ නොලැබිණි.

2002 වර්ෂයේ මේ රටේ ක්‍රියාත්මක වූ සටන් විරාම ගිවිසුමත් සමගම එදා එල්. ටී. ටී. ඊ. ය විසින් ඊළාම් පොලිසියක්‌ නිර්මාණය කළේය. ශ්‍රී ලංකා පොලිසියේ සේවය කළ ජී. නඩේෂන් එල්. ටී. ටී. ඊ. පොලිසියේ ලොක්‌කා බවට පත්විය. ඊළාම් පොලිස්‌ නිලධාරීන් ශ්‍රී ලංකා පොලිස්‌ නිලධාරීන්ට ඒ - 9 මාර්ගය ඔස්‌සේ නාගදීපය වන්දනා කිරීමට යැමටවත් අවසර ලබා නොදිණි. පොලිස්‌ සේවයේ පිරිස්‌ සිවිල් ඇඳුමින් සැරසී තම පවුලේ උදවිය සමග යාපනයට යන්නට ගිය අවස්‌ථාවලදී ඔවුන්ට ඕමන්ත සීමා මුරපොළෙන් ආපසු හැරී යන ලෙස ඊළාම් පොලිසියෙන් නියෝග කෙරිණි.

ශ්‍රී ලංකා පොලිසිය ඉතා අභිමානවත් පොළිස්‌ සේවයක්‌ ලෙස නම්කළත් හිටපු පොලිස්‌පතිවරයෙකු වූ ආනන්දරාජා වරෙක සඳහන් කොට තිබුණේ ශ්‍රී ලංකාවේ දූෂිත ආයතන 15 න් එකක්‌ ලෙසට පොලිස්‌ දෙපාර්තමේන්තුවද ඇතළත් වන බවය. මෙසේ කී ආනන්දරාජා පොලිස්‌පතිවරයාටද දූෂණ චෝදනා එල්ල වූයේ මත්කුඩු ජාවාරම්කරුවකුගේ පුතෙකුගේ උපන් දින සාදයකට සහභාගි වීමත් සමගය.

පොලිස්‌ සේවාව දූෂණ හා වංචාවලට ලක්‌වන ස්‌ථානයක්‌ වුවත් ඕනෑම රටක පොලිස්‌ සේවයට ලැබෙනුයේ අද්විතීය ස්‌ථානයකි. එකම ව්‍යුහයක්‌ වශයෙන් ලෝකයේ පොලිස්‌ සේවාව නිර්මාණය වුවත් දකුණු ආසියානු රටවල පොලිසිය දැඩි ලෙස හෑල්ලුවට ලක්‌වන්නේ පගා ගැනීම ඇතුළු දූෂණ වංචාවලට පොලිසිය ලක්‌වීමෙනි.

නමුත් පොලිස්‌ (POLICE) යන වචනය දීර්ඝ ලෙස විග්‍රහ කොට බලන විට පොලිසිය තුළ සිටිය යුත්තේ ඉතාම ආචාරශීලී පුද්ගලයෝය.

එහෙත් ගුණාංගයන්වලින් පරිපූර්ණ වූ පොලිස්‌ නිලධාරීන් අද පොලිස්‌ සේවය තුළින් සොයා ගැනීම අපහසු වුවත් ශ්‍රී ලංකා පොලිස්‌ සේවයේ නිලධාරීන් විග්නේෂ්වරන් මහ ඇමැතිවරයා විසින් පිහිටුවන්නට යන ඊළාම් පොලිසිය ඉදිරියේ හෑල්ලුවට ලක්‌ නොවිය යුතුය.

දිනසේන රතුගමගේ
http://www.divaina.com/2013/11/10/feature07.html

0 comments: