Pages

Saturday, June 15, 2013

වර්ධරාජා පෙරුමාල් මහ ඇමතිවරයා පොලිස් බලතලවලට මුවා වෙලා නිල නොවන හමුදාවක් හැදුවා - ගම්මන්පිල

පළාත් සභා පණත කියවූ පමණින් පොලිස් සහ ඉඩම් බලතල ගැන දැනගන්න බැරි බව බස්නාහිර පළාත් අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ මොරටුව රාවතාවත්ත සර්වෝදය විශ්ව සමාධි ශාලාවේ පැවති පරිසරය සුරැකීමේ අටියෙන් සුසංහිත ප්ර්තිදීප්ත විදුලි බුබුළු ජනතාවට නොමිලයේ බෙදාදීමේ උත්සවයකට එක් වෙමිනි.

ගම්මන්පිල මහතා එහිදී මෙසේද කීය.

‘ජනාධිපතිතුමා අභීත තීන්දුවක් ගත්තා ඒ වසර 26ක් තිස්සේ එක අකුරක්වත් වෙනස් කරන්න බැරිවෙලා තිබ්බ 13 සංශෝධනයට අත තියන්න ගත්තු තීන්දුව. ජනතා විමුක්ති පෙරමුණ ජීවිත 66,000ක් පූජා කරලා එක අකුරක්වත්  හොලවාගන්න බැරිවෙච්ච 13 සංශෝධනය වෙනස් කරන්න අපි පටන්ගෙන තියෙනවා. මේක අමාත්‍යමණ්ඩලයට ගෙනාවහම රට ජාතිය ගැන සංවේදී නැති අපේ රටට මොකද වෙන්නේ කියන එක ගැන හිතන්නේ නැති උතුර යළිත් ලේ විලක් වෙලා රටම ලේ විලක් කරන බෙදුම්වාදී යුද්ධය යලි පටන්ගැනීමට තිබෙන අවධානම දකින්නේ නැති පිරිසක් අද මේක කරන්න දෙන්න බැරියෝ කියලා බෙරිහන් දෙනවා. අපේ හිතමිත්‍ර රාජිත සේනාරත්න ඇමතිතුමා කියලා තියෙන්නේ “පළාත් සභා රටට අහිතකරයි ඉඩම් සහ පොලිස් බලතලවලින් රටට හානියක් වෙනවා කියලා කියන්නේ පළාත් සභා පණත කියවලා නැති කට්ටිය” කියලයි.

මම පළාත් සභා පණත හොඳින් කියෙව්වා කියලා රාජිත ඇමතිතුමා කියනවා. පළාත් සභා පණතේ තියන පොලිස් බලතල ඉඩම් හා බලතලවලින් හානියක් වෙනවා කියලා පුළුවන් නම් ඔප්පු කරන්නලු. ගරු ඇමතිතුමණි පළාත් සභා පණත කියවලා පොලිස් හා ඉඩම් බලතල ගැන දැනගන්න බැහැ. පොලිස් හා ඉඩම් බලතල තියෙන්නේ පළාත් සභා පණතේ නොවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙයි. එතුමා පළාත් සභා පණත කියවලා තේරුම් ගත්තාලු ඉඩම් හා පොලිස් බලතලවලින් හානියක් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ එතුමා ගනු කඩුව එනු සටනට කියලා අභියෝග කරනවා. ඉතින් ව්‍යවස්ථාවේ ඉඩම් හා පොලිස් බලතල තියෙන්නේ කොහෙදවත් දන්නැති උදවිය තමයි අද ඒකේ හානියක් නැහැ කියලා කියන්නේ. එතුමා දන්නේ නැති උනාට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළාත් සභා ලයිස්තුවේ පලවෙනි පරිෂ්ටයේ තමයි පොලිස් බලතල තියෙන්නේ. ඒකේ එකොලොස්වෙනි වගන්තියේ තියෙනවා පළාතේ තියෙන මධ්‍යම ආණ්ඩුවේ තියෙන පොලිස් ඒකකයද ඇතුළු පළාතේ සියළුම පොලිස් නිලධාරීන් පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ විධානයට යටත්ව ක්‍රියා කළ යුතුයි කියලා.

නැගෙනහිර පළාතේ තියෙන විශේෂ කාර්ය බලකායේ කඳවුරුවලට එහෙම නැත්නම් STF බලකායේ කඳවුරුවලට අණ දෙන්නේ STF එකේ ලොක්කා නෙවෙයි, නැගෙනහිර පළාතේ නැත්නම්, උතුරු පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයායි. 11 – 1 වගන්තියේ කියනවා නියෝජ්‍ය පොලිස්පතිවරයා පළාතේ මහ ඇමතිවරයාගේ විධානයට අනුව කටයුතු කළයුතුයි කියලා, ඔහුගේ පාලනයට යටත්ව සිටිය යුතුයි කියලා. ඒ වගේම පළාතේ පොලීසියේ ඉන්න හැමෝම සිටිය යුත්තේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ විධානයට යටත්ව කියලත් සඳහන් වෙලා තියෙනවා. ඒ කියනනේ මහ ඇමති කියන විදිහටයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කළයුත්තේ කියලයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ.

අපි දැක්කා 1988 දෙසැම්බර් මාසේ වර්ධරාජා පෙරුමාල් මහ ඇමතිවරයා පොලිස් බලතලවලට මුවා වෙලා ස්වේච්ඡා පුරවැසි බලකාය නමින් නිල නොවන හමුදාවක් හැදුවා. ඒ බලය පාවිච්චි කරලා 1990 මාර්තු මාසේ ඒක පාර්ශව ස්වාධීනත්වය දෙමළ ඊළම වෙනුවෙන් ප්‍රසිද්ධ කළා. දෙමළ ඊළමක් ප්‍රකාශයට පත් කළා. ඒ මතකය අපට තියෙනවා. ඒක වෙලා බොහොම කෙටි කාලයයි. ඒ නිසයි අපි කියන්නේ උතුරට පොලිස් බලතල දෙන්න එපා, උතුරට නෙවෙයි කොහෙටවත් පොලිස් බලතල දෙන්න එපා කියලා. ඒ වගේම සමහරු අපෙන් අහනවා ඉන්දියාව තරහාවෙයි නේද? ඕවා කරලා ජාත්‍යන්තරය තරහා වෙයි නේද ? අවුරුදු ගණනක් ත්‍රස්තවාදීන් කොළඹ බෝම්බ පුපුරවලා අපිව කෑලි කෑලිවලට ඉරුවේ නැගෙනහිර තියෙන අනාරක්ෂිත ගම්මානවලට පැනලා අහිංසක කිරිදරුවන්ව මොළකැටි එළියට පනින්න ගස්වල ගහලා මරලා දැමමේ, දළඳා මාලිගාව කෑලි කෑලිවලට කැඩුනේ, ශ්‍රීමහා බෝධීය ලේවලින් නැහැවුනේ ජාත්‍යන්තරය ගැන සිත සිතා වසර ගණනක් සිටි නිසයි. ඉන්දියාව මොකද කියන්නේ ඇමරිකාව මොකද කියන්නේ කියලා හිතපු නිසයි. බටහිර රටවල තර්ජන ගර්ජනවලට බය නැතිව 2006 යුධ පෙරමුණ අපි ඉදිරියට අරන් ගිය නිසයි කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න පුළුවන් වුනේ.

එදත් මේ වගේ බලපෑම් ආවා අපි ඒ බලපෑම්වලට යටත් උනා නම් අඩුම ගානේ ජීවිත පහළොස් දහසක්වත් පසුගිය අවුරුදු හතරට ත්‍රස්තවාදයට බිලිවෙන්න තිබුනා. අපි රටේ ආරක්ෂාව එකට තියලා ජාත්‍යන්තර මතය දෙකට දාපු හින්දා තමයි අපිට රට බේරගන්න පුළුවන් වුනේ. ඒ අභීත තීන්දුව ගත්ත ජනාධිපතිතුමාට තවත් අභීත තීන්දුවක් ගන්න තියෙනවා. උදා වූ සාමය රැකගන්න රට යළිත් ලේ විලක් වීම වළක්වගන්න ඒක කරන්න නම් අපි උතුරු පළාත් සභාව පිහිටුවන්න කලින් මේ ගෙනත් තියෙන යෝජනා පහ ක්‍රියාත්මක කරන්න ඕනේ. මේකට මේ රටේ ජනතාව එකඟයි. එළියේ උත්ඝෝෂණ තියා කෙඳිරිල්ලක්වත් නැහැ මේක කරන්න එපා කියලා. ඇතුලෙ ඉන්න දෙතුන්දෙනෙක් තමයි බොරුවට කෑ ගහන්නේ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් විදිහට අපේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා ඇතුලේ බොරුවට කෑගහන අයගේ හඬට නෙවෙයි මේ රටේ බහුතර ජනතාවගේ හඬට ඇහුන්කම්දීලා මේ සංශෝධන වහාම අරන් එන්න.

සමහරු කියනවා අපිට ජාත්‍යන්තර බැඳීමක් තියෙනවලු බලය බෙදන්න. ඒක නිසා අපට දීලා තියෙන බලය ගන්න බැරිලු. මානව හිමිකම් රකින්න අපි ජාත්‍යන්තර සම්මුතිවලට අත්සන් කරලා බැඳිලා ඉන්නවා ඒ නිසා අපි මානව හිමිකම් කඩ කළොත් ඒ ගැන අපෙන් ප්‍රශ්ණ කරන්න ජාත්‍යන්තරයට අයිතියක් තියෙනවා. හැබැයි බලය බෙදීම ගැන කිසිම ජාත්‍යන්තර නීතියක් නැහැ. බලය බෙදීම ගැන කිසිම ජාත්‍යන්තර සම්මුතියක් නැහැ. ඒක නිසා කිසිම රටකට අපේ රටේ බලය බෙදියයුතුද නැද්ද කියන දේ ගැන උපදෙස් දෙන්න අයිතියක් නැහැ. ලංකාවේ බලය බෙදන්න කියලා කෑ මොර ගහන ප්‍රංශයේ බලය බෙදලා තියෙනවද ? නෝර්වේ රටේ බලය බෙදලා තියෙනවද ? ජපානයේ බලය බෙදලා තියෙනවද ? මේ කවුරුත් බලය බෙදලා නැහැ. ඇයි එහෙනම් අපිට විතරක් එහෙම කරන්න කියන්නේ ජාත්‍යන්තර සම්මුතියක් ඇති වෙනවා නම් ඒක හැම රටටම අදාල වෙන්න ඕනේ. පුංචි දුප්පත් රටවල් දුර්වල කරන්න, ඒවා කෑලි කෑලිවලට බෙදලා රට ඇතුලේ පිරිස් ඇණකොටාගන්න හදලා තමන් නිපදවන ආයුධවලට වෙළඳපොලක් හදාගන්න බටහිර ජාතීන් දරණ උත්සහයටද අපි යටත්විය යුතු නැහැ.

අපි ඔවුන්ගේ හඬට ඇහුන්කම් දීපු  හැම වේලාවේම ඇහුනේ අ‍ඳෝනා ලේ ගැලීම්. අපි ඔවුන්ට එරෙහි උනාට පස්සේ සාමයේ සුවඳ අපිට දැනෙන්න පටන් ගත්තේ. ඒ නිසා යළිත් ලේ ගංගාවන් මැද විලාප දෙමින් අඳෝනා නඟනවාද සාමයේ සිසිල් සුවඳ විඳගන්නවාද යන ප්‍රශ්ණය තමයි ජාතිය හමුවේ තියෙන්නේ. සමහරු අහනවා පළාත් ඇමති ධූරයේ ඉඳගෙන පළාත් සභා විවේචනය කරන්නේ ඇයි මේකෙන් අයින් වෙලා මේක කරන්නකෝ කියලා. මම අස් වුනොත් පළාත් සභා අහෝසි වෙනවා නම් දෙපාරක් හිතන්නේ නැහැ මම අස්වෙලා ඉවරයි. මම අස්වුනා කියලා පළාත් සභා අහෝසි වෙනවාද ? මම අස්වුනා කියලා පොලිස් බලතල අහෝසි වෙනවාද ? මම අස්වුනා  කියලා ඉඩම් බලතල අයින් වෙනවාද ? අපිට ඕනේ ඒවා නැති කරන්න. මට මගේ ඇමතිකමට වඩා මගේ මවුබිම වටිනවා. අපේ රණවිරුවන් දස දහස් ගණනින් ජීවිත පූජා කරලා අත්, ඇස්, පා පූජා කරලා බේරගත්ත අපේ රට යළිත් ලේ විලක් වීමේ අවධානමක තියෙන්නේ. ඒ අවධානම නැති කර ගන්න්නනම් පළාත් සභා ක්‍රමයේ තියෙන විසකුරු ප්‍රතිපාදන පහ වෙනස් කර ගන්න ඕනේ’

රාජිතට ගම්මන්පිල තේරෙන භාෂාවෙන් කියයි
June 15, 2013 at 1:08 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/95722/

0 comments: