Pages

Saturday, June 15, 2013

මහනුවර බ්‍රිතාන්‍ය මණ්‌ඩල පුස්‌තකාලයේ පොසොන් පොහොය දා පැවැත්වීමට යොදා තිබූ ඉංග්‍රීසි විභාගයට බොදුබල සේනා සංවිධානයේ විරෝධය

අනුරාධපුරයේ පෞද්ගලික පංති පවත්වන්නකුගේ ඉල්ලීම මත මහනුවර බ්‍රිතාන්‍ය මණ්‌ඩල පුස්‌තකාලයේදී ලබන පොසොන් පසළොස්‌වක පෝදා කුඩා දරුවන්ගේ ඉංග්‍රීසි විභාගයක්‌ පැවැත්වීමට ගෙන තිබුණු තීරණයකට බොදුබලසේනා සංවිධානය ඉකුත් 12 වැනිදා විරෝධය පළ කළහ.

බොදුබල සේනා සංවිධානයේ මහනුවර දිස්‌ත්‍රික්‌ සංවිධායක පූජ්‍ය ලියන්වල රතනසාර නාහිමිපාණන් වහන්සේ සහ ජාතික හෙළ උරුමය මධ්‍යම පළාත් සභා මන්ත්‍රී තුෂාර ස්‌වර්ණතිලක මහතා ඇතුළු පිරිසක්‌ මහනුවර බ්‍රිතාන්‍ය මණ්‌ඩල පුස්‌තකාලය වෙත ගොස්‌ එහි පාලක මණ්‌ඩලයට මෙම විරෝධය පළ කර සිටියහ.

ශ්‍රී ලංකාවේ බෞද්ධයන් හට ඉතාමත් වැදගත් දිනයක්‌ වූ පොසොන් පෝ දිනයේ කුඩා දරුවන් අනුරාධපුරයේ සිට මහනුවරට රැගෙන ගොස්‌ විභාගවලට යොදාගැනීම බරපතළ වරදක්‌ බව පූජ්‍ය ලියන්වල රතනසාර නාහිමිපාණෝ පවසා සිටියහ.

වයස අවුරුදු 7 සහ 12 අතර දරුවන් සියයක්‌ පමණ අනුරාධපුරයේ සිට මහනුවරට කැඳවා මෙම විභාගය පැවැත්වීමට සංවිධාන කටයුතු යොදා තිබුණේ අනුරාධපුරයේ "ටියුෂන් මාස්‌ටර්" කෙනෙකු වූ දිසානායක නමැති අය බව බ්‍රිතාන්‍ය මණ්‌ඩල පුස්‌තකාලයේ නිලධාරීහු රතනසාර නාහිමි ඇතුළු පිරිසට දන්වා සිsටියහ.

දිසානායක නමැති අයට ද රතනසාර හිමියෝ එම අවස්‌ථාවේ දුරකථනයෙන් අදහස්‌ දක්‌වමින් විභාගයට පෙනී සිටින සිසු දරුවන්ගේ දෙමාපියන් තමන් වහන්සේ වෙත කරුණු දක්‌වමින් පොසොන් පෝ දිනයේ (ජුනි 23) විශේෂයෙන්ම අනුරාධපුරයේ දරුවන් මහනුවර රැගෙන ගොස්‌ විභාගයට පෙනී සිටීමට සැලැස්‌වීම බරපතළ වරදක්‌ බව පෙන්වා දුන්හ.

දරුවන්ගේ දෙමාපියන් සමඟ සාකච්ඡා කර විභාග දිනය වෙනස්‌ කිරීමට පියවර ගන්නා ලෙස පූජ්‍ය රතනසාර හිමියෝ දිසානායක නමැති අයට දන්වා සිටියහ.

දිසානායක නමැති අය එම දිනය වෙනස්‌ කිරීමට පියවර ගන්නා බව තමන් වහන්සේට පොරොන්දු වූ බව රතනසාර හිමිපාණෝ මාධ්‍යයට පැවසූහ.

මෙම අවස්‌ථාවට මධ්‍යම පළාත් සභා මන්ත්‍රී තුෂාර ස්‌වර්ණතිලක මහතා සහ පූජ්‍ය කැටකඳුරේ ජිනානන්ද හිමිපාණන් සහ නීතිඥ බණ්‌ඩාර කරුණානායක මහතා ඇතුළු පිරිසක්‌ සහභාගි වූහ.

සිරිල් විමලසුරේන්ද්‍ර
http://www.divaina.com/2013/06/15/news28.html

0 comments: