Pages

Thursday, June 27, 2013

13 සංශෝධනයට ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එකඟ වෙති

අදහස්‌ දැක්‌වීමේදී වගකීමෙන් කටයුතු කරන්න. ජනපති පක්‍ෂයේ මන්ත්‍රී කණ්‌ඩායමට කියයි.

ඉඩම් - පොලිස්‌ බලතල ගැන තීරණය තේරීම් කාරක සභාවට... 

දහතුන්වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමට ගෙන එන යෝජනාවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායමේ එකඟතාව ලැබී තිබේ. ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26 වැනිදා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායමේ විශේෂ රැස්‌වීමේදී මෙම එකඟතාව පළ වී ඇත.

13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දරන මතය පිළිබඳව අදහස්‌ දැක්‌වීමේදී වගකීමෙන් කටයුතු කරන්නැයි ද පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී උපදෙස්‌ දී තිබේ. 

මේ සම්බන්ධව පක්‍ෂයේ සියලුම මන්ත්‍රීවරු එක ස්‌ථාවරයක සිට කටයුතු කළ යුතු බවට පක්‍ෂයේ ලේකම් ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී ගෙන එනු ලැබූ යෝජනාව පක්‍ෂයේ භාණ්‌ඩාගාරික ඇමැති ඩලස්‌ අලහප්පෙරුම මහතා විසින් ස්‌ථිර කර තිබේ.

මෙයට පෙර ව්‍යවස්‌ථා සංශෝධනයට විරුද්ධව අදහස්‌ දැක්‌වූ ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න හා රෙජිනෝල්ඩ් කුරේ යන මහත්වරු ද මෙහිදී මෙම සංශෝධනයට එකඟතාව දක්‌වා ඇති බව දැන ගන්නට ඇත.

පළාත් සභා දෙකක්‌ හෝ කීපයක්‌ ඒකාබද්ධ වීමට ඇති බලය ඉවත් කිරීම හා පළාත් සභා ලැයිස්‌තුවේ ඇති යම් යම් විෂයයන් පිළිබඳව තීන්දු ගැනීමේදී සියලු පළාත් සභාවල අනුමැතිය ලබාගැනීම වෙනුවට බහුතර පළාත් සභා ප්‍රමාණයක එකඟතාව ලබා ගැනීම යන යෝජනා එම සංශෝධනයට ඇතුළත් වේ.

අනුර බාලසූරිය
http://www.divaina.com/2013/06/27/news01.html

0 comments: