Pages

Friday, June 28, 2013

'13' රටේ ආරක්‍ෂාවටත් ඒකීයභාවයටත් තර්ජනයක්‌ බව වසර 26 තිස්‌සේ පෙන්වා දුන්නා - දිනේෂ්

ඉන්දු - ලංකා ගිවිසුමෙන් 1987 දී සම්මත කරන ලද 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හේතුවෙන් රටේ ආරක්‍ෂාවටත්, පැවැත්මටත්, ඒකීයභාවයටත් දැවැන්ත තර්ජනයක්‌ වන බව වසර 26 ක්‌ තිස්‌සේ මහජන එක්‌සත් පෙරමුණ පෙන්වාදී තිබෙන බව මහජන එක්‌සත් පෙරමුණේ නායක ජලසම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

මේ අවස්‌ථාවේදීවත් මෙය අහෝසි නොකළහොත් බිහිසුණු ත්‍රස්‌තවාදයක්‌ යළි රටේ ගොඩනැඟෙන බව ද ඇමැතිවරයා කීවේය.

හෙතෙම එසේ පැවසුවේ 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය, පළාත් සභා අහෝසි කිරීම පිළිබඳ මහජන එක්‌සත් පෙරමුණේ ස්‌ථාවරය ප්‍රකාශ කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක්‌ ඊයේ කොළඹ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේ පැවැති අවස්‌ථාවේදීය. එහිදී ඇමැතිවරයා තවදුරටත් පැවසුවේ මෙසේය.

"මහජන එක්‌සත් පෙරමුණ පසුගිය කාලපරිච්ඡේදය තුළම ඉතා පැහැදිලි අවබෝධයකින් හා ප්‍රායෝගික ක්‍රියාමාර්ගයන් කෙරෙහි විශ්වාසයක්‌ තබා ඇති පක්‌ෂයක්‌. අපේ රටේ නිදහස ආරක්‍ෂා කරගැනීමටත්, අපේ රටේ ජාතික ස්‌වාධීනත්වය ආරක්‍ෂා කර ගැනීමටත් හැකි වන පරිදි අපේ රටේ ආණ්‌ඩු ක්‍රමය ඒකීය ආණ්‌ඩු ක්‍රමයක්‌ බවට ශක්‌තිමත්ව සුරක්‌ෂිත කිරීමට අධිෂ්ඨානයෙන් කැපවී රටටත්, ජනතාවටත් දේශපාලන ක්‍ෂේත්‍රයේ සිටින සැමටත් දීර්ඝ කාලයක්‌ තුළ අප කටයුතු කළා. එම ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක්‌ මහජන එක්‌සත් පෙරමුණ සිදුකළේ නෑ. ඒ ප්‍රතිපත්තිය නිසා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය වෙනුවෙන් මහජන එක්‌සත් පෙරමුණ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ බව සිහිපත් කරනවා.

විශේෂයෙන් 1972 ජනරජ ව්‍යවස්‌ථාව වෙනස්‌ කොට ජයවර්ධන මහතා පාලන බලය ලබාගැනීමෙන් පසුව ඇති කළ 78 ව්‍යවස්‌ථාව සම්මත කරන අවස්‌ථාවේදීවත් දැන් කථා කරන විශේෂිත වූ 17 වන පරිච්ඡේදයක්‌ තිබුණේ නෑ. එනම් 17 ඒ පරිච්ඡේදයේ තමයි පළාත් සභාව හා සම්බන්ධ සියලු දේ අන්තර්ගත කිරීමට කටයුතු කළේ. අපේ පක්‍ෂයට, ඒ වගේම එදා විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙක්‌ හැටියට මට කටයුතු කරන්න ලැබුණා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් අපි සුළුතරයක්‌ එදා හිටියෙ 10 දෙනයි විරුද්ධ පක්‍ෂයේ හිටියේ පාර්ලිමේන්තුවෙ. මෙහි තිබෙන හානිය ගැන, එය සම්මත කළොත් අපේ රටේ නිදහසට ඇතිවන තර්ජනයත් ජාතික ස්‌වාධීනත්වයට තර්ජනයත් රටේ ජාතියේත් පැවැත්මට සිදුවන හානියත් පළාත් සභා නිසා ඇතිවන බව එදා අපි ප්‍රකාශ කළා. ඒ නිසා දැවැන්ත මුදල් සම්භාරයක්‌ වැය කරන්න සිදුවන බවත් ඊට වඩා ප්‍රායෝගික ජාතික වශයෙන් වූ නිර්මාණශීලී විසඳුම් කරා ගමන් කළ යුතු බවයි අප එදා දැරූ මතයත් අද දරන මතයත්.

1987 ඉන්දු - ලංකා ගිවිසුමෙන් පසු සම්මත කරන ලද 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ගැන දීර්ඝ විස්‌තරයක්‌ මා කරන්නෑ. මහජන එක්‌සත් පෙරමුණ හැටියට අපි අවුරුදු 26 ක්‌ ම ඒක කරලා තියනවා. මූලික කරන්නේ මේ ආණ්‌ඩු ක්‍රමයේ වෙනසකට භාජනය කරපු 13 වැනි ආණ්‌ඩුක්‍රම සංශෝධනය මේ රටේ ආරක්‍ෂාවටත් පැවැත්මටත් ඒකීයභාවයටත් දැවැන්ත තර්ජනයක්‌ බවට පරිවර්තනය වුණා. විශාල නාස්‌තිකාර වියදම්වලින් සමන්විත වී තිබෙනවා. එය සම්මත කරන ලද්දෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බහුතරයක්‌ නඩුකාරවරු 9න් 5ක්‌ ප්‍රකාශ කළාවූ නඩු තීන්දුව ප්‍රකාරව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව නෙවෙයි. ඒ බවට අපි අදහස්‌ දැක්‌වූවා විරුද්ධත්වයක්‌ දැක්‌වූවා. බණ්‌ඩාරනායක මැතිණියත් මමත් ඊට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයටත් ගියා. නමුත් අපේ නඩුව ඇහුවෙ නෑ. නඩුව විසිකරලා මේ ව්‍යවස්‌ථා විරෝධී සම්මත කරන ලද වගන්තිය ව්‍යවස්‌ථානුකූල බව ප්‍රකාශ කරමින් රජය කටයුතු කළා.

ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 1/3 ක්‌ උතුරු නැගෙනහිර පළාතටයි අයිති. ලංකාවේ අපේ රටේ 2/3 ක්‌ උතුරු නැගෙනහිර මායිම් වන මුහුදු තීරයයි. මෙය ඊළාම් රාජ්‍යක්‌ ගොඩනැඟීමේ ක්‍රියාදාමයට ප්‍රධාන වශයෙන් භාජනය වූ ප්‍රදේශයක්‌ හැටියට ප්‍රකාශ වී තිබෙනවා. එම ප්‍රකාශනය අනුව මේ පළාත් දෙක දෙමළ ජනතාවගේ වාසභූමි හැටියට ප්‍රකාශ කොට ඒකාබද්ධ කිරීමට හැකිවන පරිදි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව 154 ඒ වගන්තිය මේ 13 වැනි ව්‍යවස්‌ථාවේ ඇතුළත් කළා. මේ දෙක එකතු කිරීමෙන් අපේ ස්‌වාධීනත්වයට, නිදහසට, ඒකීයභාවයට සිදුවන හානිය අති භයානක බව යළිත් සිහිපත් කරනවා. එයට අතිරේකව එයට පනවන විවිධ බලතල නිසා පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය හෑල්ලුවට ලක්‌කර තිබෙනවා. ඒ තුළින් පාර්ලිමේන්තුවට ක්‍රියාකළ හැකි ආකාරය පිළිබඳ සෝදා පාළුවකට පාර්ලිමේන්තුව පත්කිරීම නිසා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ වගන්ති අතරත් පරස්‌පර විරෝධයක්‌ පවතිනවා. මෙය තමයි බරපතළ ප්‍රශ්නය බවට පත්වන්නෙ. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ප්‍රතිවිරෝධතාවයන් ඇතිවන හදිසි 13 වැනි ව්‍යවස්‌ථාව නිසා ඇතිවෙලා තියනවා. එකක්‌ හානිකරභාවය අනෙක ආණ්‌ඩුක්‍රමයේම වගන්ති අතර පටහැනිභාවය හා පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය විශාල වශයෙන් සෝදාපාළුවට, අතපය බැඳ තබා තිබෙන උත්තරීතර පාර්ලිමේන්තුවේ බලයක්‌ බවට පත්කර තිබෙනවා. මෙය වෙනස්‌ කිරීම රටේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවගේ බලාපොරොත්තුව බව මහජන එක්‌සත් පෙරමුණ ප්‍රකාශ කරනවා.

මේ පළාත්වලට පවරා තිබෙන බලතල රාශියක්‌ නිසා අද වෙනකොට වියදම් උත්සන්න වී තිබෙනවා. උදාහරණයක්‌ විදියට ගත්තොත් පළාත් සභාවක්‌ නෑ කියලා අපේ රටේ සංවර්ධනය නවතිනවද? එහෙම වෙලා නෑ. ජනාධිපතිතුමා මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ ආරම්භ කරපු සංවර්ධන ජයග්‍රාහී මාවත වේගවත්ව ගමන් කරනවා. නමුත් පළාත් සභාව හරහා නෙමෙයි ගමන් කරන්නෙ. ගමින් ගමට ගම නැඟුම, මඟ නැඟුම, අපේ කෘෂිකර්ම ප්‍රබෝධය මේවා සියල්ලම මෙහෙයවනු ලැබුවේ කේන්ද්‍රස්‌ථානය වූ මධ්‍යම රජය විසින් දියත් කරන වැඩසටහන් හරහායි. අපි පක්‌ෂයක්‌ හැටියට හිතනවා පළාත් සභා නිසා නිදහස්‌ අධ්‍යාපනයත් නිදහස්‌ සෞඛ්‍ය සේවයේත් සෝදා පාලුවට ලක්‌වී තිබෙනවා. ඒ කරුණු අතර ඉඩම් පොලිස්‌ බලතලත් මෙවැනි අනාරක්‌ෂිත බලප්‍රදේශ කරා පැවරීම මධ්‍යම රජයට තම ආරක්‌ෂක කටයුතු කරගෙන යැමට නීතිය සාමය ක්‍රියාත්මක කිරීමට තිබෙන බාධාවක්‌. ඒ වගේම ජනතාවගේ සංවර්ධනය සඳහා තිබෙන භූමියත් එලෙස තීරණය වීම ගැටලුවක්‌ බවට පත්වෙනවා. පළාත් සභාව සහ අපේ අතර ගැටුමක්‌ ඇතිකිරීමට තිබෙන වගන්ති වහ වහා ඉවත් කිරීමට රජය යම් යම් තීරණයන්ට පැමිණෙමින් තිබෙනවා. එය ම. එ. පෙ. අගය කරනවා.

විශේෂයෙන් උතුර නැගෙනහිර ඒකාබද්ධ වීමට තියෙන 154 ඒ වගන්තිය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් ඉවත් කිරීම, ඒ හා සමගාමීව පළාත් සභා පනතේ 37 ඒ වගන්තිය යටතේ පළාත් දෙකක්‌ එක්‌වීමට තිබෙන වගන්තිය ඉවත් කිරීම, පාර්ලිමේන්තුවේ උත්තරීතර බව යළිත් ඇති කිරීම සඳහා පාර්ලිමේන්තු නීතියක්‌ සම්මත කර ගැනීම. ඒ වගේම ම.එ.පෙ. යළිත් ප්‍රකාශ කර සිටිනවා පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය ආරක්‍ෂා වීමට අවශ්‍ය හානිකර වගන්ති ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතුයි කියා. ඒ වගේම ඒ අවස්‌ථාවේදීත් අපි දිගටම අදහස්‌ ඉදිරිපත් කරලා යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා වඩා ප්‍රායෝගික ලෙස සංවර්ධනය සඳහා අපේ පරිපාලනය හා සංවර්ධන කටයුතු ඒකාබද්ධ වන ප්‍රතිංවිධානයක්‌ සිදුවිය යුතුයි කියලා.

මෙම අවස්‌ථාවට ම.එ.පෙ. ප්‍රධාන ලේකම් කරුණාතිලක දිසානායක, උප සභාපති, නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, නියෝජ්‍ය ලේකම් තිස්‌ස යාපා, උපලේකම්වරුන් වන සිසිර ජයකොඩි, සෝමවීර චන්ද්‍රසිරි, මෛත්‍රි විඡේසිංහ යන දේශපාලන මණ්‌ඩල සභිකයන් එක්‌විය.ඉන්දු - ලංකා ගිවිසුමෙන් සම්මත කළ 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හේතුවෙන්

රටේ ආරක්‍ෂාවටත් පැවැත්මටත් ඒකීයභාවයටත් දැවැන්ත තර්ජනයක්‌ වන බව වසර 26 තිස්‌සේ පෙන්වා දුන්නා - මහජන එක්‌සත් පෙරමුණේ නායක ඇමැති දිනේෂ් ගුණවර්ධන
තුෂාරී කළුබෝවිල
http://www.divaina.com/2013/06/28/news12.html

0 comments: