Pages

Wednesday, June 26, 2013

බලතල සංශෝධනය කිරීමේ යෝජනාවට දකුණු - සබරගමු පළාත් සභාවල අනුමැතිය

පළාත් සභා දෙකක්‌ හෝ කිහිපයක්‌ ඒකාබද්ධ වීමට ඇති බලතල ඉවත් කිරීමට හා පළාත් සභා ලැයිස්‌තුවේ ඇති යම් යම් විෂයයන් පිළිබඳ තීන්දු ගැනීමේදී සියලු පළාත් සභාවල අනුමැතිය ලබාගැනීම වෙනුවට බහුතර පළාත් සභාවල කැමැත්ත ලබාගැනීම යන බලතල සංශෝධනය කිරීමේ යෝජනාවට දකුණු හා සබරගමුව පළාත් සභාවල අනුමැතිය ලැබී ඇත.

පළාත් සභා දෙකේම ඊයේ (25 වැනිදා) පැවති විශේෂ සභා රැස්‌වීම්වලදී ප්‍රධාන ඇමැතිවරුන් විසින් මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කර ඇත.

සබරගමුව පළාත් ප්‍රධාන ඇමැති මහීපාල හේරත් මහතා මෙම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසුව සලිත කරුණාරත්න මන්ත්‍රීවරයා එය ස්‌ථිර කළේය. 

ඉන් අනතුරුව පැවති විවාදයෙන් පසුව යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම සිදුකෙරුණු අතර යෝජනාවට පක්‍ෂව ඡන්ද 26 ක්‌ ද විපක්‍ෂව ඡන්ද 9 ක්‌ ද ලැබිණි. ඒ අනුව යෝජනාව වැඩි ඡන්ද 17 කින් සම්මත විය. මෙම යෝජනාවට ආණ්‌ඩුව නියෝජනය කරන සියලුම පක්‍ෂවල මන්ත්‍රීවරුන් ඡන්ද ප්‍රකාශ කිරීම විශේෂත්වයක්‌ විය.

දකුණු පළාත් සභා රැස්‌වීමේදී ප්‍රධාන ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතා ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද එකකින් සම්මත විය.

යෝජනාව ඉදිරිපත් කළ අවස්‌ථාවේ එජාප මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළකර සභා ගැබෙන් පිටව ගිය අතර පසුව යෝජනාවට විරුද්ධව කෘෂිකර්ම ඇමැති විජය එස්‌. වීරසිංහ මහතා ඇතුළු ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු හත්දෙනෙක්‌ ද ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රීවරයා ද ඡන්දය ප්‍රකාශ කළහ.

එමෙන්ම ආණ්‌ඩු පක්‍ෂයේ සරත් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

අනතුරුව සභාපතිවරයා විසින් මන්ත්‍රීවරුන්ගේ නම් අඬගසමින් ඡන්දය විමසනු ලැබූ අතර දකුණු පළාත් ප්‍රධාන ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතා විසින් ගෙන එනු ලැබූ යෝජනාවට විරුද්ධව පළාත් සභාවේ ආණ්‌ඩු පක්‍ෂයේ මැති ඇමැතිsවරුන් වන කෘෂිකර්ම ඇමැති විජය එස්‌. වීරසිංහ, බද්දේගම සමිත හිමි, මේජර් අජිත් ප්‍රසන්න, ආනන්ද පද්මසිරි කාරියවසම්, ගා. දේනෙත්ති, වීරසුමන වීරසිංහ, ඒ. ජී. පී. පියසිරි යන මහත්වරු විපක්‍ෂය (එජාප -ජවිපෙ) සමඟ එක්‌ව සිය ඡන්දය ප්‍රකාශ කළහ.

ප්‍රධාන ඇමැතිවරයා විසින් ගෙන එනු ලැබූ යෝජනාවට පක්‍ෂව ඡන්ද විසිදෙකක්‌ හිමිවූ අතර විපක්‍ෂයට ඡන්ද විසිඑකක්‌ හිමිව තිබිණි. මේ අනුව යෝජනාව එක්‌ වැඩි ඡන්දයකින් සම්මත විණි.

සෙසු පළාත් සභාවල ඉදිරි දින කිහිපයේදී මෙම යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.

නැගෙනහිර පළාත් සභාවට මෙම යෝජනාව ඉදිරිපත් වුවහොත් ඊට විරුද්ධ වීමට ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය දැනටමත් තීරණය කර ඇත.

රනිල් ධර්මසේන, ගාල්ල - එස්‌. කේ. කළුආරච්චි, ගාල්ල විශේෂ - ලලිත් චාමින්ද, බෝගහගොඩ - ඩබ්ලිව්. ඒ. නිමල් සහ රත්නපුර විශේෂ - තිලකසිරි දැල බණ්‌ඩාර
http://www.divaina.com/2013/06/26/news08.html

0 comments: