Pages

Sunday, June 9, 2013

උතුරු පළාත් සභාව හා ඉන්දියාව

දෙමළ ජනයාට යළිත් වරක්‌ සන්නද්ධ අරගලයකට යැමට අවශ්‍ය නැති බව දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා කොළඹ සිටින විදේශීය ජනමාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කර තිබිණි. කොටි සංවිධානය විනාශ වී ඇති බවත් ඒ ගැන කිසිදු බලයක්‌ තමන්ට නැති බවත් දෙමළ සන්ධානයේ නායකයා පවසා තිබිණි. මීට වසර කිහිපයකට එපිටදී නම් දෙමළ සන්ධානය කිලිනොච්චියට ගොස්‌ තමිල් සෙල්වම්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන දේශපාලන සාකච්ඡාවලට සහභාගි වූ බව අපට මතකය. එදා කොටින්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව කටයුතු කළ දෙමළ සන්ධානය අද දෙමළ ඩයස්‌පෝරාවේ අරමුණු සාක්‍ෂාත් කිරීම වෙනුවෙන් කැපව සිටින බවට සැක නැත. 13 වැනි සංශෝධනයේ බලතල කප්පාදුවට විශේෂයෙන් ඉඩම් හා පොලිස්‌ බලතල රහිත උතුරු පළාත් සභාවට නම් සම්බන්ධන් මහතා, කැමැති නැත. එල්. ටී. ටී. ඊ. වියෝවෙන් උකටලීව සිටින මේ වයෝවෘද්ධ දේශපාලකයා තවත් උකටලී වන්නේ ඉඩම් හා පොලිස්‌ බලතල උතුරු පළාත් සභාවට ලබා නොදෙන ලෙස සිංහල සමාජයේ ප්‍රබල හඬක්‌ නැඟී ඇති නිසා උතුරු පළාත් සභාව හරහා මියගිය ඊළමට යළි පණදීමට සූදානම් වන දෙමළ සන්ධානය ඉඩම් හා පොලිස්‌ බලතල ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් දැඩි සටනක්‌ දෙයි.

උතුරු පළාත් සභාවේ බලතල සම්බන්ධව උද්ගත ව ඇති අර්බුදය පිළිබඳව තමන්ට අවශ්‍ය සහය ලබා ගැනීම සඳහා දෙමළ සන්ධානය හැරෙන්නේ දිල්ලි පාලනය වෙතය. උතුරු පළාත් සභාවේ බල බිඳිනවාට ඉන්දියාව ද කැමැති නැත. උතුරු පළාත් සභාවට ඉඩම් හා පොලිස්‌ බලතල ලබා නොදෙන්නේය යන ප්‍රකාශය ආරංචි වීමත් සමගම ඉන්දීය විදේශ ඇමැති සල්කන් කුර්ෂිඩ් මෙරට විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස්‌ට දුරකථනයෙන් අමතමින් සිය විරෝධය පළ කළේ මීට සති කිහිපයකට ඉහතදීය.

දෙමළ ජනයාට ඇති දුක්‌ගැනවිලි ගැන ඉන්දියාව වඩා උනන්දු වන්නේ තමිල්නාඩු දේශපාලනඥයන්ගේ බල කිරීම මත බව රහසක්‌ නොවේ? දෙමළ ජනතා කඳුළු පිසීමට ඉන්දියාව උනන්දු වුවත් රටේ ස්‌වාධිපත්‍යයට හානි කරවන දේශපාලන විසඳුම් ක්‍රියාත්මක කිරීමට කොළඹ පාලනයට බල කළ යුතු නැත. පසුගිය සඳුදා දි අයිලන්ඩ් පුවත්පතේ ඊක්‌ජන Jමකහ 1983 ත A බැඅ ඡැරිචැජඑසඩැ යන ලිපිය මගින් කළු ජූලියට පෙර සිටම ඉන්දියාව කොටි සංවිධානය ශක්‌තිමත් වීම සඳහා රහසිගතව උදව් කළ අයුරු හෙළි කර තිබිණි. බොහෝ අවස්‌ථාවලදී ඉන්දියාව ප්‍රකාශ කර සිටියේ කළු ජූලියෙන් පසුව ඉන්දිරා ගාන්ධිගේ ආණ්‌ඩුව දෙමළ තරුණයන්ට එරටදී ආයුධ පුහුණුව ලබා දුන් බවය. වර්තමාන ආණ්‌ඩුවේ ඇමැති කරුණා අම්මාන් ද එදා ඉන්දියාවට ගොස්‌ රෝ ඔත්තු සේවය මගින් සංවිධානය කළ කඳවුරුවල ආයුධ පුහුණුව ලැබූවෙකි. ඇත්තෙන්ම 1983 ට පෙර සිටම ඉන්දියාව මෙරට ත්‍රස්‌තවාදී ක්‍රියාකාරකම්වලට උදව් කළේද යන්න පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක්‌ සිදු විය යුතුය.

වර්තමාන රාජපක්‍ෂ පාලනය ගැන නම් ඉන්දියාව එතරම් සතුටු වන්නේ නැත. රාජපක්‍ෂ පාලනය චීන තුරුලට යැම ගැන දිල්ලිය කොහෙත්ම කැමැති නැත. මීට සති කිහිපයකට පෙර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා චීනයේ කළ සංචාරයෙන් පසුව බීජින් පාලනය ලංකාවට තවත් ඩොලර් බිලියන දෙකක ආධාර සැපයීමට එකඟ වීම ගැන ඉන්දීය බලධාරීහු විමතියට පත් වූහ. මේ ගැන ඉන්දීය මාධ්‍ය දිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ ප්‍රසාද් කාරියවසම් මහතාගෙන් ද විමසා තිබිණි. කලාපයේ අන් සෑම රටකම විදේශ සංචාරවල නිරත වූ ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතා මෙතෙක්‌ ලංකාවේ නිල සංචාරයක නිරත නොවුවේද රාජපක්‍ෂ පාලනය කෙරෙහි එරට රජය තුළ ඇති උකටලීභාවය නිසාය. නමුත් කොංග්‍රස්‌ ආණ්‌ඩුව ත්‍රස්‌තවාදයට එරෙහි යුද්ධයේදී නම් වැදගත් සහායක්‌ දුන් බව අමතක කළ යුතු නැහැ. එදා ඉන්දිරා ගාන්ධි කළ වැරැද්ද බූමරංගයක්‌ වූයේ ඇගේ පුතා වූ රජිව් ගාන්ධි ද කොටි බෝම්බයකට බිලිවීමෙනි.

උතුරු පළාතේ පළාත් සභා මැතිවරණයක්‌ පැවැත්වුවහොත් ජය ගන්නේ දෙමළ සන්ධානය බවට සැක නැත. එවිට දෙමළ සන්ධානයේ මහ ඇමැතිවරයා තම සුරතලකු කර ගැනීමට ඉන්දියාව පසුබට නොවනු ඇත. එදා උතුරු නැගෙනහිර මහ ඇමැති වූ වර්ධරාජා පෙරුමාල් ද සුවච කීකරු ඉන්දීය සුරතලකු විය. උතුරු පළාත් සභාවට අනිවාර්යයෙන් පොලිස්‌ හා ඉඩම් බලතල දිය යුතු යෑයි ඉන්දියාව පවසන්නේ දෙමළ ජනතාවගේ දුක්‌ගැනවිලි සනසවන්නද යන්න අපට පැහැදිලි නැත. ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්‌ඩුවලටත් ලබා නොදී ඇති බලතල ශ්‍රී ලංකා ආණ්‌ඩුව උතුරු පළාත් සභාවට ලබා දෙන්නේ නම් එයට දිල්ලිය අත්පුඩි ගසා සතුට පළ කරනු ඇත. නමුත් වසර 30 ක්‌ යුද්ධය පැවැති ප්‍රදේශයක පිහිටුවන පළාත් සභාවට පොලිස්‌ බලතල ලබාදීම භයානකය. ඇත්තෙන්ම උතුරු පළාත් සභාවේ පාලකයන් වන්නේ ද, රජය සමග සහයෝගීව කටයුතු කරන පිරිසක්‌ නොව රටින්ද කෑල්ලක්‌ කඩා වෙනම රාජ්‍යයක්‌ පිහිටු විය යුතුය යන මතයේ තදින්ම එළඹ සිටින පිරිසකි. එවැනි පිරිසකට ඉඩම් හා පොලිස්‌ බලතල ලබාදෙන්නේ කෙසේද? ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා නම් උතුරට පොලිස්‌ බලතල ලබාදීමට තදින්ම විරුද්ධය. එය සැබවින්ම අගය කළ යුතුය. ඉන්දියානු බලධාරීන් නම් ආරක්‍ෂක ලේකම්ගේ ස්‌ථාවරය ගැන කලබල වී ඇත. ඇත්තෙන්ම ඉන්දියාවේ බලපෑමට යටත් වී උතුරට දේශපාලන විසඳුම් දියයුතු නැත. උතුරු පලාත් සභාවට ඉඩම් හා පොලිස්‌ බලතල දෙන්නේ නම් එය සිදුවිය යුත්තේ ජනමත විචාරණයක්‌ හරහාය.

ජනමත විචාරණයකින් රටේ සැබෑ මතය හෙළිවනු ඇත. එවිට ඉන්දියානු බ්‍රාහ්මණවංශික විදේශ නිලධාරින්ටද සිංහල බහුතරයේ මතය කුමක්‌දැයි හෙළි වනු ඇත. 2014 දී පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේදී බොහෝවිට කොංග්‍රස්‌ රජය පරාජය වී භාරතීය ජනතා පක්‍ෂ රජයක්‌ බිහිවනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී ඇත. දැන් සිටම රාජපක්‍ෂ පාලනය සමග ඇති හොඳ හිත වර්ධනය කිරීම සඳහා භාරතීය ජනතා පක්‍ෂ නියෝජිත පිරිසක්‌ මේ දිනවල ලංකාවේ සංචාරය කරති. ඒ පිරිස අතර උදාව් තැකරේගේ නායකත්වයෙන් යුතු ශිව් සේනාවේ නියෝජිතයෙක්‌ ද වෙයි. ඔවුන් යාපනයේද සංචාරයක නිරත විණි. භාරතීය ජනතා පක්‍ෂ ආණ්‌ඩුවක්‌ බිහි වුවද ඔවුන්ද පවසනු ඇත්තේ උතුරට පොලිස්‌ බලතල ලබා දෙන ලෙසටය. එහෙත් මෙරට බහුතරය නම් උතුරට විශේෂ බලතල ලබාදෙනවාට විරුද්ධය. එසේ සිදුවන්නේ නම් කොටි පරාජය කිරීම සඳහා සිය ජීවිත දන්දුන් විසිපන්දහසකට අධික රණවිරුවන්ගේ උදාර ජීවිත පරිත්‍යාගයන්ට කරන නිග්‍රහයකි. රණවිරුවන් ජීවිත දන් දුන්නේ රටේ ඒකීයභාවය රැක ගැනීමටය. නමුත් පළාත් සභාව හරහා රටේ ඒකීය භාවයට තර්ජනයක්‌ වන්නේ නම් එම පළාත් සභාව පිහිටුවිය යුතු නැත. දෙමළ ජනයාගේ උකටලී භාවය ඉඩම් හා පොලිස්‌ බලතල පිරිනැමීම මගින් සමනය වන්නේ නැත. මේ දිනවල එක්‌සත් ජාතික පක්‍ෂය නව ව්‍යවස්‌ථාවක්‌ ඉදිරිපත් කර ඇත. ඔවුන් විධායක ජනපති ක්‍රමය මෙම ව්‍යවස්‌ථාව මගින් අහෝසි කරනු ලබන බව කියයි. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ද විධායක ජනපති ක්‍රමය අහෝසි කළ යුතු බව කියති. නමුත් අප නම් විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට විරුද්ධය. විධායක ජනපති ක්‍රමය නොවන්නට මේ රට අවුල් ජාලයක්‌ වන්නේය. ඒ නිසා විධායක ජනපති ක්‍රමය හඳුන්වාදීම ෙ-. ආර්. ජයවර්ධන මහතා කළ හොඳ වැඩකි. මේ නිසා සමහරු උරණ විය හැක. නමුත් මෙය සත්‍යයකි.

චතුර පමුණුව

0 comments: