Pages

Sunday, June 16, 2013

ඇන්.ජී ඕ නියාමනය කළ යුත්තේ ඇයි?

ඇමරිකා එක්‌සත් ජනපදය, එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම බළල් අතක්‌ ලෙස යොදා ගනිමින් පසුගිය මාර්තු 21 වැනි දින මෙරටට එරෙහිව සම්මත කරගත් යෝජනා අතර වූ එක්‌ යෝජනාවක්‌ වූයේ "රාජ්‍ය නොවන සංවිධානවලට ඔවුනගේ කටයුතු කරගෙන යැමට ඉඩදිය යුතු බවයි." ඇමරිකාව එබඳු යෝජනාවක්‌ සම්මත කර ගැනීමට සමත් වුවත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ආණ්‌ඩුව විසින් රාජ්‍ය නොවන සංවිධාන නියාමනය කිරීම සඳහා වැඩපිළිවෙළක්‌ හඳුන්වාදීමට කටයුතු කර ඇත. එම වැඩපිළිවෙළට අනුව 2006 වසරේදී සංශෝධනය කරන ලද රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ පනතේ රෙගුලාසි අනුව එම සංවිධාන කටයුතු කළ යුතුව ඇත.

එම වැඩපිළිවෙළ යටතේ සෑම රාජ්‍ය නොවන සංවිධානයක්‌ම, රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි කිරීමට කටයුතු කළ යුතුය. එම පනත යටතේ ලියාපදිංචි කිරීමට කටයුතු නොකරන සෑම රාජ්‍ය නොවන සංවිධානයක්‌ම අවලංගු කිරීමට කටයුතු යොදා ඇත. මේ දක්‌වා ක්‍රියාත්මක වූ සමහරක්‌ රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි වී ඇත්තේ සමාගම් මැදුරේ ලාභ නොලබන ආයතන යටතේය. නමුත් මින් ඉදිරියට රාජ්‍ය නොවන සංවිධාන සමාගම් මැදුරේ ලියාපදිංචි කිරීමට ද හැකි වන්නේ නැත. රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කිරීමේදී එම සංවිධානයේ කාර්යභාරය, සේවය කරන පුද්ගලයන්, විදේශයන්ගෙන් ලැබෙන මුදල් ප්‍රමාණය සහ එම මුදල් වියදම් කිරීම සඳහා ඇති සැලසුම් ආදිය ද ඉදිරිපත් කළ යුතුව ඇත. ඊට අමතරව රාජ්‍ය නොවන සංවිධානවල වත්කම් මහ බැංකුවේ විශේෂ ඒකකයක වාර්තාගත කිරීම අනිවාර්ය කර ඇත. මීට අමතරව රාජ්‍ය නොවන සංවිධාන ආණ්‌ඩු පෙරළීම, කුමන්ත්‍රණ සිදු කිරීම, දේශපාලන කටයුතුවල යෙදීම සහ ගසාකෑම්වල යෙදෙනවා ද යන්න පිළිබඳව දිගින් දිගටම අධීක්‍ෂණය කරනවා ඇත.

ආණ්‌ඩුව රාජ්‍ය නොවන සංවිධාන නියාමනය කිරීම සඳහා හඳුන්වා දී ඇති වැඩපිළිවෙළ එම සංවිධානවල සහ ඇමරිකාවේ සහ බටහිර රටවල වෙසෙන ඔවුනගේ ස්‌වාමියන්ගේ සතුටට හේතු නොවුණත් පසුගිය කාල සීමාව තුළදී සිදුවූ සමහර සිදුවීම් ආණ්‌ඩුව මෙම තීරණය ගැනීම සඳහා පොළඹවාලූ බව නම් පැහැදිලිය.

පසුගිය දිනවල වාර්තා වූ එක්‌ පුවතක සඳහන් වූයේ ජර්මනියෙන් ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධානයක්‌ විසින් පළාත් පාලන කටයුතු සඳහා වෙන්කර ඇති නිල නිවසකදී විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් සඳහා ආණ්‌ඩුව පෙරළීම පිළිබඳව වැඩමුළුවක්‌ පවත්වා ඇති බවයි. රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව පළ වූ තවත් පුවතක සඳහන් වූයේ ස්‌කැන්ඩිනේවියානු රටක්‌ විසින් මෙරට තුළ රාජ්‍ය නොවන සංවිධානයක්‌ පවත්වාගෙන යැම සඳහා ගිවිසුම්ගතව ලබාදුන් ප්‍රදානයන් හිටි හැටියේ නවතා දමා ඇති බවයි. මෙරට තුළ ක්‍රියාත්මක වූ ප්‍රධානතම රාජ්‍ය නොවන සංවිධානයක්‌ වූ එම සංවිධානයේ ප්‍රධානියකු මාධ්‍යයට ප්‍රකාශ කොට තිබුණේ පසුගිය කාලසීමාවේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පක්‍ෂ වන විදියේ යම් යම් තීරණ ගැනීම නිසා, තමා සම්බන්ධ වී සිටි රාජ්‍ය නොවන සංවිධානයට ලබාදුන් ප්‍රදානයන් නවතා දැමීමට කටයුතු කරන්න ඇති බවයි.

පසුගිය දිනවලදී අපට අසන්නට, දකින්නට ලැබූ රාජ්‍ය නොවන සංවිධානවලට අදාළ එම පුවත්වලින් ඉතා හොඳින්ම පැහැදිලි වන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුතු එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ආණ්‌ඩුව පෙරළා දැමීමේ දැඩි වුවමනාවක්‌ රාජ්‍ය නොවන සංවිධානවලට සහ එම සංවිධාන පවත්වාගෙන යන රටවලට තිබෙන බවයි. එම පුවත්වලින් වැඩිදුරටත් පැහැදිලි වන්නේ ආධාර, ප්‍රදාන ලබාදෙන රටේ න්‍යායපත්‍රයන්ට, අභිලාශයන්ට අනුකූලව කටයුතු නොකරන රාජ්‍ය නොවන සංවිධානවලට තවදුරටත් සහයෝගය ලබාදීමට එම රටවල් කටයුතු නොකරන බවයි.

ඒ අනුව මෙරට තුළ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන, ආණ්‌ඩු පෙරළීම, කුමන්ත්‍රණ සිදු කිරීම සහ දේශපාලන කටයුතුවල නිරත වන්නේ ද යන කාරණයන් නියාමනය කිරීම පිළිබඳව කිසිවකුට දොaෂාරෝපණය කිරීමට හැකි වන්නේ නැත. ඒ වත්මන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ආණ්‌ඩුව මෙරට ජනතාවගේ ඡන්ද බලයෙන් බලයට පැමිණි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්‌ඩුවක්‌ වන බැවිනි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස ගැනම කතා කරන ඇමරිකාවට හෝ නෝර්වේ රාජ්‍යයට ඔවුනගේ න්‍යායපත්‍රයන් පිළිබඳව මිස සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අවශ්‍යතාවක්‌ හෝ වටිනාකමක්‌ නොමැති බව පැහැදිලිය.

ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල එකම න්‍යාය පත්‍රය වන්නේ සෙසු රටවල ජනතාව ඔවුනගේ පාරිභෝගිකයන් සහ ශ්‍රමිකයන් කර ගැනීම හා එම රටවල සම්පත් කොල්ලකා ගැනීමයි. එම කටයුත්ත එම රටවල වාසය කරන දේශප්‍රේමී ජනතාව සමග යහතින් කළ නොහැකි බව අධිරාජ්‍යවාදීන් අත්දැකීමෙන්ම අවබෝධ කරගෙන ඇත. එම නිසා තම න්‍යායපත්‍රයන් ක්‍රියාත්මක කිරීමේදී එම රටවල් තුළින් පැන නගින විරෝධයන් සමනය කිරීම සඳහා, ඔත්තු බැලීම සඳහා, තම කටයුතු සාධාරණීකරණය කිරීම සඳහා එම රටවල සිටින දේශෙද්‍රdaහී සුළුතරයකගේ සහයෝගය ලබාගැනීමට අධිරාජ්‍යවාදීන් යටත්විජිත යුගයේදී මෙන්ම නව යටත්විජිත යුගයේදී ද කටයුතු කරමින් සිටිති. බැටළු රංචුවල කළු බැටළුවන් සිටින පරිද්දෙන් සෑම රටකම මෙන්ම අධිරාජ්‍යවාදීන්ගේ ඩොලර්වලට වහල් වී කටයුතු කරන කිහිප දෙනකු සිටිති. අධිරාජ්‍යවාදීන් තමන් වෙනුවෙන් කටයුතු කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන අටවා ගැනීමට මුදල් ලබාදෙන්නේ මොවුන්ටය. එම සුළුතරය අධිරාජ්‍යවාදීන්ගේ න්‍යායපත්‍රයන්ට අනුව කටයුතු කිරීමේදී දේශප්‍රේමී ජනතාවගේ දොaෂ දර්ශනයට ලක්‌වීම නොවැළැක්‌විය හැකි කාරණයකි. අධිරාජ්‍යවාදීන් මානව අයිතිවාසිකම්, මාධ්‍ය නිදහස ආදී වූ පරණ කාරණා පිළිබඳව කතා කරන්නේ එම අවස්‌ථාවේදීය. එනම් මානව අයිතිවාසිකම් සහ මාධ්‍ය නිදහස යනු අධිරාජ්‍යවාදය වෙනුවෙන් කටයුතු කරන්නන්ට කිසිදු උපද්‍රවයකින් තොරව කටයුතු කිරීමට සහ ඒ වෙනුවෙන් ලිවීමට ඇති අයිතියයි. මාධ්‍ය නිදහස හෝ මානව හිමිකම් යනු අධිරාජ්‍ය විරෝධීන්ගේ අයිතියක්‌ නොවන බව මෙහිදී හොඳින්ම අවබෝධ කරගත යුතුය. ඒ බව හොඳින්ම තහවුරු වන්නේ සිංහල ජනතාවගේ මානව හිමිකම්, මාධ්‍ය නිදහස පිළිබඳව අධිරාජ්‍යවාදීන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් වූ රාජ්‍ය නොවන සංවිධාන කිසිදා කතා නොකරන බැවිනි. 

අධිරාජ්‍යවාදීන්ගේ න්‍යායපත්‍රයන්ට අනුව කටයුතු නොකරන ඕනෑම බලවත් රාජ්‍යයකට වුවත්, එම ඉරණමට මුහුණදීමට සිදුවන බව පැහැදිලිය. ඒ බව හොඳින්ම පැහැදිලි වන්නේ පුටින්ගේ නායකත්වයෙන් යුතු රුසියාවට පවා මෙම රාජ්‍ය නොවන සංවිධාන ප්‍රශ්නයට මුහුණදීමට සිදුවී ඇති බැවිනි. ජනාධිපති පුටින්ගේ ආණ්‌ඩුව පවා රාජ්‍ය නොවන සංවිධාන නියාමනය කර ඇත්තේ එම යථාර්ථයට මුහුණදීමට සිදුවීම නිසා බව පැහැදිලිය. රාජ්‍ය නොවන සංවිධාන යොදා ගනිමින් රුසියාවේ කටයුතු පාලනය කිරීමෙන් ඉදිරියට ගොස්‌, රුසියාවේ ළදරුවන් බටහිර රටවල් විසින් හදා වඩා ගෙන පසුව ඔවුන්ව රුසියාවටම එරෙහිව යෙදවීමට කටයුතු කරන බැවින් දැන් ජනාධිපති පුටින්ගේ නායකත්වයෙන් යුතු රුසියානු ආණ්‌ඩුව එරට දරුවන් බටහිර රටවල වැසියන්ට හදා වඩා ගැනීමට දීම තහනම් කිරීමට කටයුතු යොදා ඇත.

මෙම සියලු ප්‍රශ්නයන්ට මුහුණදීමට සිදුවන්නේ අධිරාජ්‍යවාදී න්‍යායපත්‍රයන්ට අනුව කටයුතු නොකිරීම හේතුවෙනි. අවසානයේදී රාජ්‍ය නොවන සංවිධාන නියාමනය කිරීමට සිදුවන්නේ ද එම හේතුව නිසාමය. නමුත් රාජ්‍ය නොවන සංවිධාන නියාමනය කළ පමණින් අධිරාජ්‍යවාදීන් තම න්‍යායපත්‍රයන් හකුලා නොගන්නා බව අවබෝධ කර ගනිමින් කටයුතු කළ යුතුව ඇත.

එරික්‌ ගාමිණි ජිනප්‍රිය
http://www.divaina.com/2013/06/16/feature16.html

0 comments: