Pages

Sunday, June 16, 2013

ස්‌ථාවර රට අස්‌ථාවර කිරීම

උතුරු පළාත් සභා මැතිවරණය හා 13 වැනි සංශෝධනය පිළිබඳ කතිකාව වඩා උත්සන්නව ඇති බව නම් පැහැදිලිය. විවිධ බෞද්ධ සංවිධාන ඒකරාශි වී පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතු බවට ප්‍රකාශ කරද්දී කතෝලික රදගුරු සංගමය ඊට හාත්පසින්ම වෙනස්‌ ස්‌ථාවරයක්‌ ගැනීම පුදුම සහගතය. කතෝලික රදගුරු සම්මේලනය ඉකුත් සඳුදා නිවේදනය කර සිටියේ 13 වැනි සංශෝධනය ඉවත් නොකරන ලෙසත් එම සංශෝධනයට අනුකූලව උතුරේ පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසත්ය. පළාත් සභා ක්‍රමය වෙනසකට ලක්‌කිරීමෙන් සිදුවන්නේ රටේ යළි අස්‌ථාවරත්වය ඇතිවීම බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති මැල්කම් කාදිනල් රංජිත් රදගුරුවරයා විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබිණි.

රදගුරු සම්මේලනය කොටි ත්‍රස්‌තවාදය ඉතා උග්‍රව පවතින කාලයේත් බලයට පැමිණි සෑම රජයකටම අනුශාසනා කළේ මේ ත්‍රස්‌තවාදී කල්ලිය සමග සාම සාකච්ඡාවලට එළඹෙන ලෙසය. මන්නාරම රදගුරු රායප්පු ජොශප් නම් කෙලින්ම කොටි හිතවාදියකු බව සත්‍යයකි. රායප්පු ජෝශප් නම් ඒ කාලයේ කොටින්ගේ වුවමනාවට මඩු ප්‍රතිමාවද මඩු පල්ලියෙන් මුදා නොගත් ප්‍රදේශවලට රැගෙන ගිය බව ප්‍රකට කරුණකි. එදා රදගුරු සංගමය මඩු ප්‍රතිමාව වෙනත් තැනකට ගෙනයැම ගැන ප්‍රකාශයක්‌ කළ බව අපට මතක නැත. නමුත් ඔවුන් අද පවසන්නේ උතුරු පළාත් සභාවට ඉඩම් හා පොලිස්‌ බලතල ලබාදීම ප්‍රශ්නයක්‌ නොවන බවය. බහුතර සිංහල කතෝලිකයන් මේ මතය හා එකඟද යන්න අපට ප්‍රශ්නයකි.

එදා කතෝලික සංගමය කියූ පරිදි කොටි සමග සාකච්ඡාවට ගියා නම් අදත් ප්‍රභාකරන් යහතින් සිටිනු ඇත. එවිට බස්‌වලද, කෝච්චියේද බෝම්බ පිපිරීම් අඩුවක්‌ නොවනු ඇත. නමුත් කොටි සංවිධානය පරාජය කෙරුණේ සාමයෙන් නොව යුද්ධයෙනි. සාමයට සියලු ආගමිකයෝ කැමතිය. උතුරු පළාත් සභාව හරහා රටේ සාමය හා ස්‌ථාවරත්වය නැතිවේද යන්න පිළිබඳව අපට සැකයක්‌ පවතී. මන්ද උතුරු පළාත් සභා මැතිවරණයේදී බලය ගන්නේ මියගිය ඊළම යළි නැවත පුබුදමි යෑයි සනාථ කරන පිරිසකි. පළාත් සභා ක්‍රමය සැබවින්ම සුදු අලියෙකි. එයින් රටට වූ විශේෂ යහපතක්‌ නැත. එහෙත් ඉන්දියාව විසින් බලහත්කාරයෙන් පටවන ලද පළාත් සභා ක්‍රමය ඉවත් කිරීම ගැන රදගුරු සංගමය කැමැති නැත.

පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන්නේ ඇත්තෙන්ම යුද්ධය නතර කිරීමටය. එහෙත් එයින් යුද්ධය නතර වූයේ නැත. සිදුවූයේ 83 සිට 87 දක්‌වා මියගියාට වැඩි පිරිසක්‌ 87 සිට 2009 දක්‌වා මිය යැමය. රට අරාජිකවීමය. පළාත් සභාවලට විරුද්ධව 88-89 කාලයේදී ජ.වි.පෙ. සිදුකළ කැරැල්ලෙන් සිංහල ජීවිත හැටදහසක්‌ විනාශ විය. අවසානයේ ප්‍රභාකරන් 2009 මැයි 19 වැනිදා නන්දිකඩාල් කලපුවේදී ඝාතනය වන තෙක්‌ම මෙරටට සාමය උදාවූයේ නැත. පළාත් සභා නිසා සිදුවූයේ රට අස්‌ථාවර වීම පමණකි. එසේ තිබියදී උතුරට පළාත් සභාවක්‌ ලබාදීම තුළින් සිදුවන්නේ ස්‌ථාවර රට තවත් වරක්‌ අස්‌ථාවර වීම පමණකි. උතුරු පළාතේ ඡන්දය තැබීම පිළිබඳව පළාත් සභා අහෝසි කිරීමේ ජාතික එකමුතුව විරෝධය පළ කරයි. එම එකමුතුව වෙනුවෙන් පසුගියදා මාධ්‍ය ඇමතූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ප්‍රකාශ කර සිටියේ උතුරේ ඡන්දය තබා ඊළමකට රුකුල් දුනහොත් එය ජනපතිවරයා කරන ඓතිහාසික වැරැද්දක්‌ වන බවයි.

ඉන්දියාවත්, ඇමරිකාවත් ඇතුළු බටහිර ප්‍රජාව නම් පවසන්නේ උතුරු පළාත් සභාවට සියලු බලතල ලබාදී වහාම ඡන්දය පවත්වන ලෙසය. බටහිර රාජ්‍යයන්ගේ ඉල්ලීම හා සමානවම රදගුරු සම්මේලනය ද ඔවුන් හා එකට සිට ගෙන ඇත. එදා කොටි සංවිධානය සමග සාකච්ඡා කරන්නැයි කියූ බලවේගම අද උතුරු පළාත් සභාව වෙනුවෙන් පෙනී සිටීම දෛවෝපගතය. එදා කොටි සංවිධානය මර්දනය කළ යුතු යෑයි කියූ ජාතික බලවේග අද 13 වැනි සංශෝධනයට එරෙහිව එකට පෙළගැසී සිටියි. 13 වැනි සංශෝධනය සැබවින්ම රටට ගෙනාවේ මළමිනී පමණකි. එයින් ඇතිවූ යහපතක්‌ නම් නැත.

ලබන ජුලි 29 වැනිදාට ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කර වසර 26 ක්‌ සම්පූර්ණ වේ. විසිහත් වැනි වසර සැමරෙද්දී උතුරේ පළාත් සභාවක්‌ නිර්මාණය වී තිබිය හැකිද? ජනපතිවරයා ඉකුත් වසරේ ජුලි මාසයේදී හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්‌වෙමින් 2013 වසරේ සැප්තැම්බර් මාසයේදී උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව ප්‍රකාශ කර තිබිණි. ජනපතිවරයා මැතිවරණය පැවැත්වෙන දිනය ගැන පැවසූ විට තමිල්නාඩු විපක්‍ෂ නායක මුතුවේල් කරුණානිධි ප්‍රකාශ කර සිටියේ මෙලෙස දින වකවානු ප්‍රකාශ කිරීම තුළ සැඟවුණු යටි අරමුණක්‌ පැවැතිය හැකි බවය. පසුගිය වසරේදී ජනපතිවරයා මේ ප්‍රකාශය කළේ ඉන්දීය ආරක්‍ෂක උපදේශක ශිවශන්කර් මෙනන් ලංකාවේ සංචාරය කර නැවත ආපසු සියරට ගොස්‌ දින කිහිපයකට පසුවය. උතුරු පළාත පිහිටා ඇත්තේ ඉන්දියාවට සැතපුම් 22 ඈතිනි. එම නිසා දිල්ලි පාලනයට අත්‍යවශ්‍යම පළාත් සභාව වන්නේ උතුරු පළාත් සභාවයි.

13 වැනි සංශෝධනය අහෝසි නොකර පසුව නව ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කිරීමට කටයුතු කරන්නැයි ඉහතින් සඳහන් කළ නිවේදනය මගින් රදගුරු සම්මේලනය ප්‍රකාශ කර තිබිණි. ඇත්තෙන්ම යළි යළිත් ව්‍යවස්‌ථා සකස්‌ කළ යුතුද? රටට ගැලපෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයයි. යකා කළු බව අපි දනිමු. නමුත් මේ රට පාලනය කළ හැක්‌කේ ඒ කළු යකාගෙන් මිස අන් කවරකින්වත් නොවේ. දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ විධායක ජනපති ක්‍රමය පිළිබඳව සුළු ජාතීන්ගේ විශ්වාසයක්‌ නොමැති බවයි. එනිසා එය අහෝසි කළ යුතු බව ඔවුනගේ යෝජනාවයි. විධායක ජනපති ක්‍රමයට එරෙහිව යන දෙමළ සන්ධානය ඉදිරි දින කිහිපයේදී යළිත් වරක්‌ ඉන්දීය නායකයන් හමුවීමට යාමට සූදානම් වේ. ඒ රාජපක්‍ෂ රජයට එරෙහිව ඉන්දීය නායකයන්ට සිය දුක්‌ගැනවිලි කියන්නටය. 13 වැනි සංශෝධනයේ වෙනස්‌කම් ඇති කිරීමට ආණ්‌ඩුවේ ඇති සූදානමට එරෙහිව දිල්ලි පාලනය උසිගැන්වීම මේ ඉන්දීය ගමනේ අරමුණ බව පැහැදිලිය.

ඇත්තෙන්ම දහතුන නමැති ව්‍යවස්‌ථා උගුලෙන් ගැලවීමට කටයුතු නොකළහොත් එය රටේ ස්‌ථාවරත්වයට බලවත් ප්‍රශ්නයක්‌ වන බව නම් පැහැදිලිය. රදගුරු සම්මේලනය කියන ආකාරයට නොව රටේ සාමය හා සංහිඳියාව තවත් චිරාත් කාලයකට පවත්වාගෙන යා හැක්‌කේ දහතුන නමැති ව්‍යවස්‌ථා උගුලෙන් ගැලවුණහොත් පමණි. ලංකා මාතාව මේ ව්‍යවස්‌ථා මළපුඩුවෙන් ගලවා නොගතහොත් ඉන්දියාව ඇතුළු බටහිර බලවේග උතුර පළාත් සභාව හරහා යළිත් වරක්‌ මෙරටට අත පොවන බව නම් සහතිකය. එදා 1990 මාර්තු මස 01 වැනිදා ත්‍රිකුණාමලයේදී රැස්‌වූ පළාත් සභා රැස්‌විමේදී හිටපු මහ ඇමැති වර්ධරාජා පෙරුමාල් උතුර නැගෙනහිර ඊළාම් රාජ්‍ය බවට ප්‍රකාශයට පත් කරන බවත් පළාත් සභාව ඊළාම් ජනරජයේ රාජ්‍ය සභාව වශයෙන් නම් කරන බවත් ප්‍රකාශ කළේය. ඔහු මෙලෙස ප්‍රකාශ කරන විට ඊ. පී. ආර්. එල්. එµa. සභිකයෝ අත්පොලසන් දෙන්නට වූහ. ලබන සැප්තැම්බර් මාසයේදී උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් පසුව රැස්‌වන සභාවේදී කවරක්‌ ප්‍රකාශ කරයි ද යන්න පිළිබඳව අපට අනාවැකි පළ කළ නොහැක. නමුත් ඒ ප්‍රකාශ ශ්‍රී ලංකා රාජ්‍යයට හිතවත් ඒවා නම් නොවන බව පැහැදිලිය. එනිසා ශ්‍රී ලංකා රාජ්‍යයට අහිතකර උතුරු පළාත් සභා උගුල නැති කිරීම සඳහා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධන උගුලෙන් ගැලවිය යුතුය.

චතුර පමුණුව
http://www.divaina.com/2013/06/16/politics02.html

0 comments: