Pages

Wednesday, June 26, 2013

ඇෆ්ගනිස්තාන ජනපති නිල මැදුරට තලේබාන් ප‍්‍රහාරයක්

ඇෆ්ගනිස්ථානයේ කාබුල්නුවර පිහිටි එරට ජනාධිපති හමීඞ් කර්සායිගේ නිල මන්දිරයට ඊයේ (25) අලූයම තලේබාන් ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල විය.

එරට සාමාන්‍ය වැසියන් ලෙස වෙස්වලාගත් තලේබාන් සටන්කාමීන් සිවුදෙනකු විසින් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති අතර ජනපති මැදුරේ ආරක්‍ෂකයන් හා සටන්කාමීන් අතර පැවැති වෙඩි හුවමාරුවලින් ප‍්‍රහාරයට සම්බන්ධ වූ සටන්කාමීන් සිවුදෙනාම ජීවිතක්ෂයට පත් වී ඇතැයි ප‍්‍රංශ පුවත් සේවය සඳහන් කරයි.
ඇෆ්ගන් වේලාවෙන් පෙරවරු 6.30ට පමණ ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ ජනපති මැදුරේ නැගෙනහිර දොරටුවෙන් බවද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.
ඒ වන විට ජනාධිපති හමීඞ් කර්සායිද නිල මන්දිරයේ සිට ඇතැයි වාර්තා වේ. එහෙත් ඔහුට කිසිදු අනතුරක් වී නොමැත.

කාබුල් නුවර පොලිස් ප‍්‍රධානී අයෝබ් සලන්ගි ප‍්‍රකාශ කරනු ලැබුවේ ව්‍යාජ ආරක්‍ෂක රථවාහන බලපත‍්‍ර භාවිත කරමින් ජනාධිපති මැදුරේ මුරකපොලූ වලින් රිංගා ගත් ප‍්‍රහාරකයන් සිවු දෙනකු එල්ල කළ මෙම ප‍්‍රහාරය මේ වන විට එරට ආරක්‍ෂක අංශ විසින් පාලනය කරනු ලැබූ බවයි.

තත්ත්වය පාලනය කිරීම සඳහා පැය දෙකකට වැඩි කාලයක් ගත වී ඇතැයි ද වාර්තා වේ.

එම කාලය තුළ විශාල පිපිරීම් හා ඇෆ්ගන් ආරක්‍ෂක අංශ සහ සන්නද්ධ ප‍්‍රහාරකයන් අතර දීර්ඝ ලෙස වෙඩි හුවමාරු වූ බවද බී.බී.සී. ලෝක ප‍්‍රවෘත්ති සේවය සඳහන් කරයි. මෙම ප‍්‍රහාරයේදී පිපිරීම් 14ක් වත් සිදුවන්නට ඇතැයි පැවසේ.

සන්නද්ධ පිරිස ඇෆ්ගන් ජනාධිපතිවරයාගේ ආරක්‍ෂකයන් සමඟ ද වෙඩි හුවමාරු කරගෙන ඇතැයි වාර්තා වේ. එම වෙඩි හුවමාරුවෙන් එම ආරක්‍ෂකයන්ට තුවාල සිදුවී නොමැති බව බී.බී.සී. ලෝක ප‍්‍රවෘත්ති සේවය පවසයි.

ඇෆ්ගන් ජනපති නිල මැදුරට ප‍්‍රහාර එල්ල වූ ඊයේ (25) දිනයේ ජනාධිපති හමීඞ් කර්සායි එරට සිටින දෙස්-විදෙස් මාධ්‍යවේදීන් ඇමතීමට නියමිතව සිටියේය.

From | http://www.lankadeepa.lk/index.php/articles/143156

0 comments: