Pages

Monday, June 24, 2013

රජයේ ස්‌ථාවරයේ කිසිදු වෙනසක්‌ නෑ. පොලිස්‌ බලතල නොදෙන බව 4වන ඊළාම් යුධ සමයේම ඉන්දියාවට දන්වලා! - ගෝඨා

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනය යටතේ පොලිස්‌ බලතල කිසි ලෙසකින්වත් ක්‍රියාත්මක නොකරන බව ඉන්දීය රජයට දැනුම් දී ඇතැයි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා 'දිවයින' ඉරිදා සංග්‍රහයට පැවැසීය.

හතරවැනි ඊළාම් යුද සමයේ දී මේ බව ඉන්දියාවට දැනුම් දුන් බවත්, අදටද එම ස්‌ථාවරයේ කිසිදු වෙනසක්‌ නැති බවත් හෙතෙම කීය.

මේ සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයක්‌ ගැටලු සහගත තත්ත්වයක්‌ ඇතිකර ගත යුතු නොවන බව පවසන රාජපක්‍ෂ මහතා ඉන්දියාව ද ඒ ගැන ශ්‍රී ලංකා රජයට චෝදනා නොකළ යුතු බව සිහිපත් කළේය.

13 වැනි සංශෝධනයට ඔබ්බෙන් ගිය විසඳුමක්‌ ජාතික ප්‍රශ්නයට ලබා දෙන බවට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දුන් පොරොන්දුව ඉන්දියාව සහ අනෙකුත් කණ්‌ඩායම් වරදවා වටහා ගෙන ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.

ජනාධිපතිතුමා පොරොන්දු වූයේ 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට එහා ගිය සියලු ජාතීන්ට හිතකර විසඳුමක්‌ ලබා දෙන බවත්, එය ලබා දීමේදී ඉහත කී 13 සංශෝධනය කිරීමට වෙන බවත් ය.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ තීරණය ගැන පුදුම නොවිය යුතු බවත්, එයට හේතුව රජයේ තීරණ වසර ගණනාවකට පෙර දැනුම් දී තිබූ නිසා බැව් ආරක්‍ෂක ලේකම්වරයා පැවැසීය.

ශ්‍රී ලංකාව ඉන්දියාවට 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බවට දී තිබූ පොරොන්දුව කඩකර ඇති බවට කර ඇති චෝදනාව තරයේ ප්‍රතික්‍ෂේප කළ රාජපක්‍ෂ මහතා, පොරොන්දු කඩ කර ඇත්තේ ඉන්දියාව බව පැවැසීය. මේ පිළිබඳව හොඳම උදාහරණය ජිනීවාහිදී ශ්‍රී ලංකාව සමඟÊඑකට සිටින බව දිගටම පැවසූ නවදිල්ලි රජය අවසන් මොහොතේ තම ස්‌ථාවරය වෙනස්‌ කර ඇමරිකාව ගෙනා ශ්‍රී ලංකාවට විරුද්ධ මානව හිමිකම් කඩවීම සම්බන්ධ යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන් බව මතක්‌ කර දුන්නේය.

වසර 30 ක යුද්ධය අවසන් කර නැවත සංවර්ධනයේ මාවතට පැමිණ ඇති ශ්‍රී ලංකාව පිළිබඳව මේ ආකාරයේ කටයුතු කිරීම ගැන ඉන්දියාව නැවත සලකා බැලිය යුතු බව ඔහු පැවැසීය.

ජනාධිපතිතුමා ද පොලිස්‌ බලතල පිළිබඳ මෙම තත්ත්වය ඉන්දියාවට දැනුම් දී ඇති බව ද ඔහු පැවැසීය.

කොටි සංවිධානය දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා ලෙස පිළිගත් ද්‍රවිඩ ජාතික සංධානය ඉන්දියාව තමන්ට අවශ්‍ය පරිදි නම්මවා ගැනීමේ උත්සාහයක යෙදී ඇති බවට චෝදනා කළ ආරක්‍ෂක ලේකම්වරයා ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය මහ මැතිවරණය තමන්ගේ වාසියට යොදා ගැනීමට ඊළම පිළිබඳව විශ්වාස කරන කණ්‌ඩායම්වල උත්සාහය බව ද වැඩිදුරටත් පැවැසීය.

ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු
http://www.divaina.com/2013/06/23/news01.html

0 comments: