Pages

Sunday, June 16, 2013

ජාතික ගීයටත් ගරහන විට අහවල් ක්‍රිකට්‌ද?

රටක ජාතික ගීය යනු එම රටේ ප්‍රෙෘඪත්වයේ අනන්‍යතාවයේ එක්‌ පිළිබිඹුවකි. ආචාරශීලී මිනිස්‌සු තම රටේ ජාතික ගීයට පමණක්‌ නොව වෙනත් රටක ජාතික ගීයට පවා සරදම් නොකරති. අගෞරව නොකරති. යම් රටක හෝ සංවිධානයක මිනිසුන් වෙනත් රටක ජාතික ගීයට අගෞරව කරන්නේ නම් එයින් කියෑවෙන්නේ ඔවුන්ගේ රටේත්, සමාජයේත් පිරිහීමකි.

මේ පූර්විකාව අනෙකක්‌ ගැන නොව. 2013 චැම්පියන්ස්‌ ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේදී ශ්‍රී ලංකා ජාතික ගීයට වූ අවමානය ගැනය. අභිමානය පෙරදැරි විය යුතු තැනක අවමානය රජ කරවීය. ශ්‍රී ලංකා ජාතික ගීයට හිමි තැන එහිදී හින්දි ගීතයකට පුද දුන්නේය. මෙය සුළු කොට, සැහැල්ලුවෙන් සිතා හිත හදාගත හැක්‌කක්‌ නොවේ. සමාව ඉල්ලා සිටින්නන්ට ඇඳුම් ඇඳගෙන ඒ ගැන සමාව ඉල්ලිය නොහැක.

වැරදි සිදු විය හැක. පෘතග්ජන මිනිසුන් අතින් වැරදි සිදු නොවේ නම් තමා පුදුමය. එහෙත් ඒ වරද රටක ජාතියට, අභිමානයට, ගෞරවයට කැළලක්‌ වන්නේ නම් සිදු වෙන්නට ඉඩ දිය යුතු නැතිම වරදකි. ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය ශ්‍රී ලංකාවට සිදු කළේ එසේ කවර කලෙකවත්, කවර ලෙසකින්වත් සිදු නොකළ යුතු ආකාරයේ වරදකි. හිතා මතා නොව අනපේක්‍ෂිතවත් අභාග්‍යසම්පන්නවත් එවැනි වරදක්‌ සිදු වීමට ඉඩ තැබිය යුතු නොවේ.

වරද සිදු වූවේ අපටය. අපේ රටටත්, ජාතියටත් සිදු වූ ඒ වරදට අයිසීසීය දැන් සමාව ගෙන ඇත. එහෙත් එය අපට හිත හදා ගැනීමට තරම් ප්‍රබල කාරණාවක්‌ ලෙස නොහැඟෙන්නේ එම වරදේ බරපතළකම දැනෙන විටය. දේව ගතියක්‌ ලෙස සිතා හෝ සමාව දෙන්නට බැරි වරදකි අයිසීසීය සිදු කළේ. ලෝකය පිළිගත්, ජාතන්තර ක්‍රිකට්‌ තරගාවලියක සමාරම්භක උත්සවයේදී එවැනි වරදක්‌ සිදු වීම ඇදහීමට තරම් නොහැකි කාරණාවකි. එසේ වන්නේ මන්ද? ඇතැමුන් සිතා සිටිනා ලෙස ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක්‌ ලෙස අයිසීසිය හෝ එම සමාරම්භක උළෙලේ තරග සංවිධායකවරයෝ සිතා සිටියාවත්ද? දෛවෝපගත ලෙස හින්දි ගීතයක්‌ම පසුබිමෙන් වාදනය වූයේ ඒ නිසාද? ශ්‍රී ලංකා ජාතික කොඩිය ක්‍රීඩා පිටිය වෙත

රැගෙන එන විට සාම්ප්‍රදායිකව වාදනය වීම නියමිතව තිබූ ජාතික ගීය ගොළු කරමින් හින්දි ගීතයක්‌ වාදනය වූවේය. අපේ ජාතික ගීයට එහිදී ප්‍රාණ වායුව පිඹිනු ලැබුවේ නැත.

ඒ උදාර ගීතය සවනට ඇසෙත්ම අපේ හදවතට දැනෙන රට, ජාතිය පිළිබඳ ගෞරව සම්ප්‍රයුක්‌ත හැඟීම ඒ අධිරාජ්‍යවාදී බිමේදී වළපල්ලට ගියේය. වසරක්‌ පුරා සුද්දන් විසින් මේ මවුබිම යටත් කරගෙන සිටි කාලයේදී කළ විනාශය හා සමානම හානියක්‌ මෙදා එංගලන්තයේදී ඔවුන් ශ්‍රී ලංකාවට සිදු කළේද?

කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් ලැබෙන මෙවැනි තරගාවලියක සංවිධාන කටයුතු ආවාට ගියාට සිදු වන්නේ නැත. අති විශාල ලෙස මුදල් ගෙවමින් සංවිධායකවරුන්ට ඒ ඒ කටයුතු පැවරේ. ඒ සංවිධායකවරුන්ගේ කටයුතු නිරීක්‍ෂණය කිරීමට තවත් පිsරිසකි. ඒ නිරීක්‍ෂකයන්ගේ වැඩ බැලීමට තවත් පිරිසකි.

මේ ආකාරයෙන් එක කාර්යයක්‌ සඳහා බොහෝ පිරිස්‌ වෙති. වැරදෙන්නට මග හැරෙන්නට ඉඩක්‌ ලැබෙන්නේම නැත· එහෙත් මෙතන වැරදි ඇත. අපේ ක්‍රීඩකයෝ ද ඒ හින්දි ගීතය ඇසෙද්දී ජාතික කොඩිය සමග පියමං කළෝය. ඔවුන් ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන් නම් මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක්‌ පෑමට ඔවුන් කටයුතු කළ යුතුව තිබිණි. එහෙත් එසේ සිදු වූයේ නැත. ඉන්දියාවේ තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් අපේ ක්‍රීඩකයන්ට තමිල්නාඩුව තහනම් කරද්දී ඔවුහු මුම්බායි වල, බැංගලෝර් වල, හයිද්‍රdබාද් වල ජයලලිතාට හොරෙන් ක්‍රිකට්‌ ගැසූහ. ඒ මුදල් වෙනුවෙනි.

ජයලලිතාත් කරුණානිධිත් ශ්‍රී ලංකාවට චෝදනා කරන්නේ දෙමළ ජනයාට මහ ජාතියෙන් හිරිහැර සිදුවන බව කියමිනි. එසේ කියූ ජයලලිතාට කරුණානිධිට විරෝධය දක්‌වමින් අපේ ක්‍රීඩකයන්ට අයිපීඑල් නොගොස්‌ සිටීමට තිබුණි. ඔවුන් මුදල් තණ්‌හාවට අයිපීඑල් යැමෙන් සිදු වූයේ ජයලලිතාගේ කතාව සත්‍යය බව ඔප්පු කර පෙන්වීමයි. එහෙත් තමන් සාධාරණ බව පෙන්වමින් තමිල්නාඩුව යනු ඉන්දියාව නොවේ යෑයි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක්‌ කීවේය. රටට ජාතියට කුමක්‌ වුවත් ඔවුහු අයිපීඑල් ඩොලර් මලු වෙනුවෙන් ක්‍රිකට්‌ ගැසූහ. එංගලන්තයේදී සිදු වූ වැරැද්ද හමුවේ අපේ ක්‍රීඩකයන්ට තනිව තීරණයක්‌ ගැනීමට හැකියාව තිබුණද නැද්ද යන්න වෙනම ප්‍රශ්නයකි. ඇතැම් විට එයට බලධාරීන්ගේ මැදිහත්වීම අවශ්‍ය වන්නට ඇත.

එහෙත් රටේ ජාතික ගීයට ගරහනවා නම් තවත් මොන ක්‍රිකට්‌ ද කියා ඔවුන්ට ක්‍රීඩා පිටියෙන් බැහැර වීමට තිබුණු බව ද ඇතැමෙක්‌ කියති.

කෙසේ වෙතත් මේ සිද්ධිය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය ලිපියක්‌ මගින් දැන්වීය. අයිසීසී ප්‍රධාන විධායක නිලධාරි ඩේව් රිචඩ්සන් මහතාට යවන ලද එම ලිපියට පිළිතුරු එවනු ලැබුවේ අයිසීසී තරගාවලි අධ්‍යක්‍ෂ ක්‍රිස්‌ ටෙටලි මහතාය. ශ්‍රී ලංකාවට මෙහිදී සිදු වූ වරද පිළිබඳ කණගාටුව ප්‍රකාශ කරමින් එවා තිබූ එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වූයේ තරගාවලියේ සමාරම්භක කටයුතු භාරව ක්‍රියා කළ සමාගම සමග මේ පිළිබඳ සාකච්ඡා කරන බවයි. එසේම මේ පිළිබඳව නිසි පරීක්‍ෂණයක්‌ සිදු කිරීමට ද ඔවුහු එකඟ වී ඇත්තාහ.

මේ වරද සම්බන්ධයෙන් රටේ දස දෙසින් විරෝධතා ගොනු වෙද්දී එහි ප්‍රධාන භූමිකාවක්‌ "රාවනා බලය" සංවිධානයද රඟ දැක්‌වීය. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ මූලස්‌ථානය වෙත පැමිණි එහි භික්‍ෂුන් වහන්සේලා එම ආයතනයට පෙත්සමක්‌ද භාර දුන්හ. විමල් වීරවංශ ඇමැතිවරයා මෙන්ම සංස්‌කෘතික ඇමැති ටී. බී. ඒකනායක මහතා මේ වරද පිළිබඳ ප්‍රසිද්ධියේම විරෝධය පෑහ.

එහෙත් අයසීසීය එදා අපේ රට සහ ජාතියට කළ වරද පිළිබඳව පෑ යුතු විරෝධය මෙපමණ ද? මෙම වරද ශ්‍රී ලංකාවේදී එංගලන්ත ජාතික ගීයට සිදු වූයේ නම් නැගෙන විරෝධය මේ තරම් සුළු විය නොහැක. එංගලන්ත ජාතික ගීය වෙනුවට හින්දි ගීතයක්‌ අපේ රටේදී වාදනය වූවේ නම් එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ නැත්තටම නැති වීමට හෝ යම් කාලසීමාවකට තහනම් වීමට තරම් "ප්‍රබල" වරදක්‌ වනු ඇත. අප නිහඬව සිටින්නේ තවමත් අපි යටත් විජිත අවතාරයෙන් පෙළෙන්නෝ වෙමුද?

කුෂාන් සුබසිංහ

0 comments: