Pages

Tuesday, June 25, 2013

පළාත් සභා - අභියෝග සහ පිළිතුරු - ගම්මන්පිල රාජිතට ලියයි

අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට යැවූ ලිපිය

උදය ප්‍රභාත් ගම්මන්පිල
1282ඒ 
රජමල්වත්ත පාර 
බත්තරමුල්ල

ලියාපදිංචි තැපෑලෙනි

 2013 ජූනි 21 දින
රාජිත සේනාරත්න ඇමතිතුමා
සීඩී 85  හෙක්ටර් කොබ්බෑකඩුව මාවත
කොළඹ 07

ඇමතිතුමනි,

පළාත් සභා සතු පොලිස් සහ ඉඩම් බලතල පිළිබඳ අභියෝගය

ඔබතුමාගේ දේශපාලන දිවියට වසර හතලිහක් පිරීම නිමිත්තෙන් බේරුවල පැවති උත්සවයේ දී ඔබතුමා විසින් පළාත් සභා සතු ඉඩම් සහ පොලිස් බලතල පිළිබඳ ඔබතුමාට අවබෝධ වී ඇති ආකාරයෙන් විස්තර කරමින් කතාවක් පවත්වා තිබිණි.  එහිදී තමන් පළාත් සභා පනත කියවා ඇති බවත් එහි සඳහන් ඉඩම් සහ පොලිස් බලතල වලින් රටට හානියක් නොවන බවත් පවසා තිබිණි.  එමෙන්ම පොලිස් සහ ඉඩම් බලතල රටට අහිතකර වන බව ඔප්පු කරන මෙන් ඔබතුමා අභියෝගයක් ද කර තිබිණි.  ඒ බව 2013 මැයි 30 දින විද්‍යුත් මාධ්‍යයන් හි සහ 2013 මැයි 31 දින මුද්‍රිත මාධ්‍යයන් හි ප්‍රචාරය වී තිබිණි. 

මා 2013 ජූනි 17 දින කලේ ඔබතුමාගේ එම අභියෝගය භාර ගැනීමයි.  නමුත් ඔබතුමා එවැනි අභියෝගයක් නොකළ බව දැන් පවසයි.  ඔබතුමා එදින සිදුකළ කතාවේ වීඩියෝ පටයක් නැවත නරඹන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.  නැතහොත් පුවත්පත්හි පළ වූ කතාව යළි කියවන මෙන් ඉල්ලා සිටිමි.  එවිට ඔබතුමා කළ අභියෝගය කුමක්දැයි ඔබතුමාටම පැහැදිලි වනු ඇත.

මා අපේක්ෂා කළ අයුරින්ම ඔබතුමා පදනම් විරහිත හේතු දක්වමින් මෙම විවාදය මග හැර ඇත.  පොලිස් සහ ඉඩම් බලතල පළාත් සභාවන්ට ලබා දීමට පක්ෂව සහ විපක්ෂව සිදුවන සංවාදයේ ඇත්ත පවසන්නේ කවුදැයි ජනතාවට දැන ගැනීමට ලැබුණු මහඟු අවස්ථාව ද එයින් අහිමි වී ඇත.  ඔබතුමා විවාදය මග හැරීමෙන් පෙනෙන්නේ ඔබතුමා පවසන කරුණු පිළිබඳ අවම වශයෙන් ඔබතුමාටත් විශ්වාසයක් නොමැති බවයි.  හුදෙක් ලාභ ප්‍රයෝජන තකා යම් බලවේගයක මෙහෙයවීම මත ඔබතුමා මේ වෙනුවෙන් පෙනී සිටින බවයි.

මා ද ලාභ අපේක්ෂාවෙන් කටයුතු කලේ නම් ගත යුත්තේ ඔබේ ස්ථාවරයයි.  මා අද භුක්ති විඳින සියළුම වරප්‍රසාද ලැබී ඇත්තේ පළාත් ඇමති ධූරයෙනි.  පළාත් සභා අහෝසි කිරීමෙන් මට ඒ සියල්ල අහිමි වේ.  ඒ බව දනිමින් මා පළාත් සභා විරෝධි සටනේ පෙරමුණේ සිටින්නේ මේ ඇමති ධූරයට වඩා මගේ ආදරණීය මව්බිම මට වටින බැවිනි.

මගේ බිරිඳ පෞද්ගලික ලේකම් ධූරයට පත් කිරීම පිළිබඳ ඔබතුමා අවස්ථා ගණනක දී ප්‍රශ්න කර ඇත.  ඇය පෞද්ගලික ලේකම් තනතුර පිළිබඳ වසර 17ක පළපුරුද්දක් ඇති ඒ පිළිබඳ සුදුසුකම් ඇති වෘත්තියෙන් ලේකම්වරියකි.  මා බිරිඳ ලේකම්වරිය කර ගනු වෙනුවට කර ඇත්තේ ලේකම්වරියක් බිරිඳ කර ගැනීමයි.  එය වංචාවක් හෝ දූෂණයක් නොව සුදුසුකම් ඇති අය පෞද්ගලික කාර්ය මණ්ඩලයට පත් කර ගැනීමෙන් අන් අයට ද ආදර්ශයක් සැපයීමකි.  එය දූෂණයක් නම් කළ යුත්තේ වංචා හෝ දූෂණ කොමිසමට පැමිණිලි කිරීමයි. 

මට පදනම් විරහිත දූෂණ චෝදනා නගන්නේ ලංකා ඉතිහාසයේ මන්ත්‍රි ධූරයකට පත් වීමෙන් පසු දූෂණ චෝදනාවකට වැරදිකරු වූ එකම මන්ත්‍රි වීම හාස්‍යයට කරුණකි.  අභියාචනාධිකරණය විසින් නඩු අංක 1164/98 දරණ නඩුවේ 2000 මාර්තු 31 දින දුන් තීන්දුවෙන් ඔබතුමා දූෂණයකට වැරදිකරු කර මන්ත්‍රි ධූරය ද අහිමි කළ බව මතක ඇතැයි සිතමි.  එවිට ඔබතුමාට අනුකම්පා කර මන්ත්‍රි ධූරයක් ජාතික ලැයිස්තුවෙන් ලබා දුන්නේ අද ඔබේ වාග් ප්‍රහාරයන්ට ගොදුරු වන රනිල් වික්‍රමසිංහ මහතා බව ද සිහිපත් කරමි.

ඔබතුමා බේරුවල දී කළ අභියෝගයේ දී කිසිම කොන්දේසියක් පැනවූයේ නැතත් මා පළාත් ඇමති ධූරයෙන් ඉවත් වී පැමිණියොත් පමණක් ඔබතුමා විවාදයට පැමිණෙන බවට කොන්දේසියක් පනවා ඇත.  මා ඇමති ධූරයෙන් ඉවත් වූ විට පළාත් සභා අහෝසි වන්නේ නම් මම ඉතාම කැමැත්තෙන් පළාත් ඇමති ධූරයෙන් ඉවත් වෙමි.  නමුත් මා ඉවත් වූ පමණින් පළාත් සභා ක්‍රමයේ අබ මල් රේණුවකවත් වෙනසක් සිදු නොවේ.  එසේ නම් පළාත් සභා බලතල හීන කිරීමට අප කරන සටනත් මා ඉවත් වීමත් අතර ඇති සම්බන්ධය මට නොවැටහේ.  පළාත් සභා වලට විරුද්ධ හෙයින් මා පළාත් සභාවෙන් ඉවත් විය යුතු යැයි ඔබතුමා විශ්වාස කරන්නේ නම් මට ඉවත් වීමට යෝජනා කිරීමට පෙර ඔබතුමා කළ යුතු කාර්රයන් කිහිපයකි.

ඔබතුමා 1978 සිටම විධායක ජනාධිපති ධූරයට විරුද්ධය.  නමුත් දැන් ඇමති ධූරයක් දරමින් සියළුම වරප්‍රසාද භුක්ති විඳින්නේ විධායක ජනාධිපතිවරයෙකු යටතේය.  එමෙන්ම විධායක ජනාධිපති සවිමත් කරන 18 වන ව්‍යවස්ථා සංශෝධනයට ඔබතුමාගේ සහය ද ලැබිණි.  එබැවින් මගේ අස්වීම ඉල්ලීමට පෙර 18 වන සංශෝධනයට සහය පළ කිරීම පිළිබඳ ජාතියෙන් සමාව ඉල්ලා ඔබතුමා ඇමති ධූරයෙන් ඉල්ලා අස්විය යුතුය.

ඔබතුමා කොටි පරදන යුද්ධයට එරෙහිව රට පුරා රැස්වීම් පැවැත්වූ යුද විරෝධි පෙරමුණේ පතාක යෝධයෙකි.  එසේ රැස්වීම් පවත්වමින් සිටින අතරේ යුද්ධය මෙහෙයවන ජනාධිපතිතුමා සවිමත් කිරීමට 2007 දී ඔබතුමා සංධාන ආණ්ඩුවට එක්විය.  අද ඔබතුමාට ඇමති ධූරයක් ලැබී ඇත්තේ ද එකී යුද ජයග්‍රහණයට පින් සිදුවීමටයි.  එබැවින් එක්කෝ ඔබතුමා යුද විරෝධි පෙරමුණේ නායකත්වය දරමින් යුද්ධයට එරෙහි වීම පිළිබඳ ජාතියෙන් සමාව ගත යුතුය.  නැතිනම් තම ප්‍රතිපත්ති පාවා දී යුද වදිමින් සිටි ආණ්ඩුවට ඇමති ධූරයක් පතා එක්වීම පිළිබඳ ජාතියෙන් සමාව ගත යුතුය.

2004 දී ඔබතුමාට ඡන්දය දුන්නේ සංධාන විරෝධි එජාප පාක්ෂිකයින්ය.  එකී ඡන්දදායකයින්ගේ බලාපොරොත්තු වලට පයින් ගසා ඇමති ධූරයක් පතා 2007 දී ඔබතුමා සංධාන ආණ්ඩුවට එක් විය.  ඔබතුමා සමග පැමිණි අන් සෑම එජාප මන්ත්‍රිවරයෙකුම ජනතා අපේක්ෂාව යුද්ධයට සහය දැක්වීම බව ප්‍රකාශ කර සංධාන ආණ්ඩුවට එක් වුවත් ඔබතුමා එකතු වූයේ යුද විරෝධියෙකු ළෙසය.  එබැවින් ඔබතුමාට ලැජ්ජාවක් ඇත්නම් දේශපාලනයෙන් සමු ගැනීමට තරම් එය බරපතල වැරැද්දකි. 

ඔබතුමා මනාප ක්‍රමයට විරුද්ධව ද අදහස් ප්‍රකාශ කර තිබේ.  නමුත් ඔබතුමාට මන්ත්‍රි ධූරය ලැබී ඇත්තේ ද මනාප ක්‍රමය යටතේය.  එබැවින් මනාප ක්‍රමයට එරෙහිව කරුණු දැක්වීමට ප්‍රථම ඔබතුමා මන්ත්‍රි ධූරයෙන් ඉවත් විය යුතුය.

පළාත් සභා වලට විරුද්ධ වෙමින් පළාත් සභාවේ සිටිය නොහැකි නම් ධනපති ක්‍රමයට විරුද්ධ වී ධනපති ක්‍රමය යටතේ ද සිටිය නොහැක.  එබැවින් ඔබතුමාගේ තර්කයට අනුව සමාජවාදින් සියළුම දෙනා ධනපති ක්‍රමය යටතේ ජීවත්වීම ප්‍රතික්ෂේප කර සිය දිවි නසා ගත යුතුය. 

ඉහතින් පෙන්වූයේ ඔබතුමාගේ තර්කය කෙතරම් විහිළු සහගත ද යන්නයි.  එබැවින් මෙම විහිළු කිරීම නවතා ජනතාව අතිශයින්ම සංවේදි ප්‍රශ්නයක් වන පොලිස් සහ ඉඩම් බලතල පිළිබඳ සංවාදයකට පැමිණෙන මෙන් යළිත් ඇරයුම් කරමි.  මා ඇමති ධූරය දරන්නේ පළාත් සභා ක්‍රමයට විරුද්ධ වෙමින් පළාත් ඇමති ධූරයක් දැරීම නිවැරදි බව විශ්වාස කරන බැවිනි.  අවශ්‍ය නම් ඒ පිළිබඳ ද විවාදයේ දී සාකච්ඡා කළ හැක.  එම විවාදයේ දී මගේ ස්ථාවරය වැරදි බවට ඔප්පු කළොත් මා ඇමති ධූරයෙන් වහාම අස්වීමට සූදානම්ය.

ඔබතුමා 2002 වසරේ දී රජයේ ඉඩම් ඇමතිවරයා ළෙස මා සමග ඊනියා සටන් විරාම ගිවිසුමට පක්ෂව රූපවාහිනි සංවාද වල යෙදෙන විට මට තිබුණේ පක්ෂයේ නියෝජ්‍ය ලේකම් ධූරය පමණි.  වර්තමානයේ එම තනතුරට අමතරව මට පළාත් ඇමති ධූරයක් ද තිබේ.  එබැවින් එදා මා සමග සංවාදයේ යෙදුණු ඔබතුමා අද මා සංවාදයට ප්‍රමාණවත් නැතැයි පවසා ප්‍රතික්ෂේප කිරීම අපේ මතවාදය පිලි ගැනීමක් ළෙස හෝ වාදයට ඇති බියක් ළෙස හෝ ජනතාව දැකිය හැක.  වසර දහතුනකට අධික කාළයක් විවිධ පක්ෂ නියෝජනය කරමින් මා සමග විවාදයන්හි යෙදුණු ඔබතුමාට හදිස්සියේම මා විවාදයකට නොගැලපෙන බව පෙනීමෙන් පෙන්නුම් කරන්නේ ඔබතුමාගේ බියසුළු බව පමණි.

ඔබතුමාට වාදයට පැමිණීමට ආත්ම ශක්තියක් නොමැති නම් පළාත් සභා ක්‍රමය පිළිබඳ හුදකලාව වැරදි ප්‍රකාශ කරමින් පාළු ගෙයි වළං බිඳීම නවතන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

මෙයට,
උදය ප්‍රභාත් ගම්මන්පිල
බස්නාහිර පළාත් අමාත්‍ය
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් - ජාතික හෙළ උරුමය
http://udayagammanpila.com/%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%8B%E0%B6%AF%E0%B6%BA-%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD-%E0%B6%85%E0%B6%B8/

0 comments: