තවමත් අප රට තුළ මෙවැනි රෝගීන් සුළු වශයෙන් වාර්තාවීමද, හරියාකාරව රෝගය හඳුනා ගැනීමේ අපහසුවද භයානක මට්‌ටමට නොපැමිණීමද යන කරුණු නිසා රෝගය ගැන විශේෂ අවධානයක් නැත. එහෙත් ලෝක සෞඛ්‍ය වෛද්‍ය අංශවල අවධානය දැන් කෙමෙන් කෙමෙන් මෙම වසංගතය කෙරෙහි යොමුවෙමින් පවතී.
වෛද්‍ය සොයා ගැනීම්වල අනුව මෙම රෝගය පතුරුවා හැරීමට මුල් වන්නේ කුඩා සත්වයෙකි. ඝර්ම කලාපීය රටවල, වැලි කාන්තාරවල මේ සත්වයා වෙසෙයි. ඝර්ම කලාපීය රටක් වන අප දිවයිනේද වියළි පෙදෙස්‌වල වැලි අතරේ මේ සත්වයා වෙසෙයි. නමින් ඌ වැලි මැස්‌සාය. (SAND FLY) වැලි මැස්‌සාගේ ගැහැණු සතා වැලි මැස්‌සිය, මිනිසාගේ සිරුරේ සම විද රුධිරය උරා බොන අවස්‌ථාවේදී, මැස්‌සිගේ සිරුරේ සිටින පරපෝෂිත කොටස් මිනිසාගේ රුධිරයට මුසුවෙයි. එම පරපෝෂිතයන් මුල් අවස්‌ථාවේදී සිරුරේ සම ආසාදනය කරමින් සම මත ඇතැම් විට අඟල් කිහිපයක් දිගැති පළලැති හා තරමක් ගැඹුරැති තුවාල ඇති කරයි. රත් පැහැති ගැටිත්තක් ඇතිව අවතල ගැඹුරු තුවාලයෙන් පසු අවස්‌ථාවේදී සැරව ගැලීමට පටන් ගනී. මෙම තුවාල ඇති අවස්‌ථාවක නිරෝගී වැලි මැස්‌සියක රුධිරය උරා බීමෙන් වැලි මැස්‌සිය රෝග වාහකයෙක් බවට පත්වෙයි. (රෝග වාහිකාවක්) මෙසේ දිගින් දිගටම රෝගය පැතිරීමේ අවදානම දැඩි වෙයි.
"ලීස්‌මනයිසිස් (LEISHMANIASIS) නමින් හැඳින්වෙන මෙම රෝගය පරපෝෂිත ආසාදනයකින් පැතිරෙන රෝගයක් ලෙස ලොව පුරා අද අප රටේ වෛද්‍යවරුද හඳුනාගෙන සිටිති. පොදුවේ බොහෝ රටවල මෙම රෝගයේ කියුටේනියස් ලිස්‌මනයිසිස් තත්ත්වය (CUTANEOUS LEISHMANIASIS) පවතී.
එකී රෝගී තත්ත්වයට ලොවපුරා මිනිසුන් ගැහැණුන් අලුත් රෝගීන් වශයෙන් වසරකට මිලියන 1 ක් 2 ක් අතරේ පිරිසක් ගොදුරු වන බව ඇසීම ඔබ තිගස්‌සවන්නට පුලුවන. සැබවින්ම භයානක තත්ත්වය එයද නොවේ.
මෙකී අවගමනක තත්ත්වය කරා එනම් වයිසරල් ලීස්‌මනයිසිස් තත්ත්වයට ලොව පුරා සෑම වසරකම ලක්‍ෂ පහක ජනතාව එක්‌වෙමින් පවතින බව සංඛ්‍යා ලේඛන කරුණු පෙන්වයි. දැන් ඔබ තිගැස්‌සෙන්නේ කවර අවස්‌ථාවටද? ඔබට තව දුරටත් මෙහි භයානකත්වය පෙන්වාදීමට අප සූදානම්ය.
විවිධ ප්‍රදේශ වලින් ද මේ රෝගය ගැන තොරතුරු ලැබී තිබේ. මේ වන විට ආණමඩුවේ මහඋස්‌වැව ප්‍රදේශයෙන් මෙවැනි රෝගීන් පස්‌දෙනකු (05) සොයා හඳුනාගෙන ඇති බව ආණමඩුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී ඩී. ඩබ්. එන්. එන්. කුමාරි මහත්මිය අප සමග පැවසුවාය. පුත්තලම දිස්‌ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයාද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයාද මේ රෝගය හා ව්‍යාප්තිය මැඬලීමටත් රෝගීන්ට ප්‍රතිකාර කිරීමටත් අවධානය යොමු කොට සිටිති. එකම පවුලේ පස්‌දෙනකුට රෝගය වැළඳී ඇත. රෝග තත්ත්වය අනුව ඔවුන්ගේ සිරුර පුරා තැන් තැන් වල මෙම තුවාල දක්‌නට ඇත. මැස්‌සිය සපා කෑමෙන්ද, ඇතැම් විට මිනිසුන්ගෙන්ද බෝවිය හැකි බැවින් මෙම තුවාල කඩිනමින් සුවපත් කර ගැනීම අත්‍යවශ්‍ය වෙයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්‌වමින් හිටපු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි හා පශ්චාද් වෛද්‍ය උපාධි පුහුණුධාරි වෛද්‍ය ඩේමියන්ද සිල්වා මහතා පවසන්නේ මෙකී රෝගී තත්ත්වය සිරිලකට අලුත් රෝගයක් බවයි. කෙසේ නමුත් මෙම තුවාල සඳහා ප්‍රතිකාර ඇති බවත් මුල්ම අවස්‌ථාවලදී මේවා සුවපත් කළ හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි. ගැමියන් සමේ ඇතිවන සුළු තුවාල ගැන වැඩි සැළකිල්ලක් දක්‌වන්නේ නෑ. සමහරුන් සිතන්නේ කුෂ්ඨයක් දදයක් හෝ කඩුවේගන් වැනි දෙයක් බවයි. ඇත්තටම මෙය සම මතුපිට ඇති පිළිලයක්. පිළිකාවක් වගේ. ඕනෑකමක් දක්‌වා ඉක්‌මණින් සුවපත් කර නොගත හොත් සිරුරැති ඇතුළට කා වදිනවා. එවිට තරමක් සුවපත් කිරීම අසීරුයි. මුඛය මුහුණ ආශ්‍රිතවද මෙම තුවාල ඇති වනවා. සුව වූ පසුව කලු පැහැ කැළල් ලෙස දිස්‌වෙනවා ඔහු කීය.
"අප රටට ආධුනික මේ රෝගය කෙලෙසද මේ රට තැනින් තැන පැතිරෙන්නේ...? යයි අප ඇසූ පැනයට වෛද්‍ය ඩේමියන් මහතා මෙසේ පිළිතුරු දුන්නේය.
ඔව්, අප රට වෛද්‍යවරු මේ නව රෝගී ව්‍යාප්තිය කෙරෙහි දැඩි විමසිල්ලෙන් විමර්ශනශීලිව සිටිමින් අදාළ සියලු මර්දන තත්ත්වයක් සිදු කරනවා.
ඉන්දියාව, බංග්ලාදේශ්, නේපාලය, සුඩානය, බ්‍රසීලය හා මැද පෙරදිග මෙම රෝගය තිබෙනවා. අප රටේ උදවිය රැකියා සඳහාද වන්දනා චාරිකා සඳහාද වෙනත් කටයුතු සඳහා මෙම රටවලට යනවා. එහිදී රෝගය ඇති වෙනවා. අප රටට පැමිණි පසු අප රටේ වැලි අතර සිටින වැලි මැස්‌සා (මැස්‌සිය) සපා කෑමෙන් හා එම මැස්‌සිය තව අයකුගේ ලේ උරා බීමේදී මෙම පරපෝෂිතයන් හුවමාරු වී රෝගය ව්‍යාප්ත වනවා. තුවාල හටගත් අය කඩිනමින් තුවාල සුවපත් කර ගැනීමෙන් මෙම රෝග ව්‍යාප්තිය නතර කිරීමට හැකියි.
දැනට අප රටේ මුන්දලම හා දකුණ ප්‍රදේශයේ ස්‌ථාන කීපයකින්ද රෝග ආසාදිතයන් දෙසීයකට ආසන්න පිරිසක් හඳුනාගෙන තිබෙනවා. තවත් සිටීමටත් පුලුවන්. මේ රෝගය එකවර හඳුනාගන්නේ නැහැ. සිතන්නේ සමේ සාමාන්‍ය ආසාදනයක් කියලයි. නමුත් දිනෙන් දින තුවාලය වැඩි දියුණු වන විට රෝගියා වෛද්‍යවරුන් සොයා පැමිණෙනවා. සමහරුන් එසේ කරන්නේත් නැහැ. සුව කළ නොහැකි මට්‌ටමට පැමිණි පසු මරණීය තත්ත්වයක් ඇති විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදී තිබෙනවා.
අප රටට තවමත් ආගන්තුක වූ මේ නව රෝගය පිළිබඳව සෞඛ්‍ය බලධාරීන්ගේ නිලධාරීන්ගේ අවධානය මෙන්ම මැඬලීම් ක්‍රියාවලින්ද අත්‍යා වශ්‍ය වෙයි. මන්ද රෝග වාහකයා වන වැලි මැස්‌සන් අප රටේ වියළි පෙදෙස්‌වල වැලි අතරේ වාසය කිරීමත් දිනෙන් දින මෙම රෝග බහුලව පවත්නා ඉන්දියාව, බංගලිදේශය, නේපාලය, මැද පෙරදිග රටවලට ගොස් ආසාදිත වන පුද්ගලයන් නිරතුරුවම පැමිණෙන නිසාත්ය.
නියපොත්තෙන් කැඩිය යුතු දේ පොරවෙන් කපා දැමීමට බලා නොසිට මෙම රෝගය මුල සිටම මැඬලීමට ඊට ඇවැසි උපදෙස් ජනතාවට ලබාදීමට සෞඛ්‍ය අංශ උත්සුවක විය යුතුයි. හීන් සීරුවේ පැමිණ සෙමින් සෙමින් සිරුරේ ලැග්ගී අවසන සිරුරු ඉන්ද්‍රියයන් අඩපණ කොට මිනිසුන් සදහටම සතපවන මේ නව වසංගත රෝගයත් ඉක්‌මනින් අප ජනතාවගෙන් ඉවත් කළ යුතු වෙයි. නැතිනම් දැනටමත් අප ජනතාව බෝවන බෝනොවන රෝග පීඩාදියෙන් හෙම්බත් වී සිටියදී මෙයත් "කොරේ පිටට මරේ" වනු ඇත.
ටෙරන්ස් වනිගසිංහ
http://www.divaina.com/2014/02/02/feature11.html






0 comments:
Post a Comment