Pages

Sunday, November 10, 2013

කෝටි 4 ක හෙරොයින් ගෙනා පාකිස්‌තානුවෝ වරද පිළිගනිති

ජාවාරම් කිරීම සඳහා රුපියල් කෝටි හතරක්‌ වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 8 ක්‌ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම පිළිබඳව අධිචෝදනා ලැබූ පාකිස්‌තානු ජාතිකයන් සිව් දෙනකු ඔවුනට එරෙහිව නගා ඇති චෝදනාවන්ට බස්‌නාහිර පළාත් බද මීගමුව මහාධිකරණ විනිසුරු එම්. එම්. ඒ. ගෆූර් මහතා හමුවේ 7 දා වරද පිළිගන්නා ලදී.

වරද පිළිගත් විත්තිකරුවන් වූ හෙරොයින් ග්‍රෑම් 487 ක්‌ රැගෙන ආ මොහොමඩ් අමීර්, හෙරොයින් ග්‍රෑම් 667 ක්‌ රැගෙන ආ සෙයිඩ් නිෂාර් ඔමාර්, හෙරොයින් ග්‍රෑම් 472 ක්‌ රැගෙන ආ අහමඩ් බෂීර් සහ හෙරොයින් කිලෝ 6 ග්‍රෑම් 230 ක්‌ රැගෙන ආ මොහොමඩ් ඉබ්‍රාහිම් නමැත්තන්ය. මෙම විත්තිකරුවන් ගෙන් කොටසක්‌ හෙරොයින් ගිල ශ්‍රී ලංකාවට පැමිණි අතර අනෙක්‌ පිරිස තම ගමන් බෑග්වල ව්‍යාජ පතුල් සකසා ඒවා තුළ සඟවා හෙරොයින් ලංකාවට රැගෙන පැමිණි පුද්ගලයන්ය. මෙම විත්තිකරුවන් කටුනායක ගුවන් තොටුපළේ දී 2011 ජනවාරි මස 28 වැනිදා පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය මගින් අත්අඩංගුවට ගෙන ඇත. එම විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු වාර්තා කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරු එම්. එම්. ඒ ගෆූර් මහතා විත්තිකරුවන්ට දඬුවම් නියම කිරීම සඳහා අදාළ නඩු නොවැම්බර් මස 28 වැනිදින කැඳවීමට නියෝග කර විත්තිකරුවන් රිමාන්ඩ් භාරයට පත්කරන ලදී. රජයේ අධිනීතිඥ අසේල සේරසිංහ මහතා පැමිණිල්ල මෙහෙයවිය. විත්තිය වෙනුවෙන් නීතිඥ මහේෂ් වෑවිට සහ ඉඳුනිල් පෙරේරා යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ. වැඩිදුර විභාගය නොවැම්බර් මස 28 වැනි දින පැවැත්වේ.

මීගමුව සමූහ - විමල් කීර්ති
http://www.divaina.com/2013/11/09/news23.html

0 comments: