Pages

Tuesday, November 12, 2013

උතුරට තරග කළ කොටි ත්‍රස්‌තයා ඇල්ලීමට පරීක්‍ෂණ

උතුරු පළාත් සභාව සඳහා දෙමළ ජාතික සන්ධානයෙන් තරග වැදුණු එල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිටපු ප්‍රබල පෙළේ කොටි ත්‍රස්‌තවාදියකු බව කියන "තබ්බි අන්නා" අත්අඩංගුවට ගැනීමට ත්‍රස්‌තවාදී විමර්ශන කොට්‌ඨාසය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

එල්. ටී. ටී. ඊ. නායක ප්‍රභාකරන් හා බුද්ධි අංශ නායක පොට්‌ටුඅම්මාන් සමඟ කෙළින්ම සම්බන්ධතා පවත්වා ඇති බව කියන මෙම සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොහු පොලිස්‌ අත්අඩංගුවට පත්වීම වළක්‌වා ගැනීම සඳහා විවිධ ක්‍රම අනුගමනය කරමින් සිටින බව පොලිසිය පවසයි. එල්. ටී. ටී. ඊ. සැකකරුවන් නිදහස්‌ කරගැනීම සහ ඔවුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වමින් මොහු යාපනය ප්‍රදේශයේ උපවාසයක්‌ පවා කර ඇති බව පොලිසිය කියා සිටියි.

මෙවර පළාත් සභා ඡන්දයට ටී. එන්. ඒ. පක්‍ෂයට උතුරු පළාතේ යාපනය දිස්‌ත්‍රික්‌කයෙන් තරග කළ මෙම සැකකරු ඡන්ද 7000 කට වැඩි ප්‍රමාණයක්‌ ලබාගෙන පරාජයට පත්විය.

මොහු එල්. ටී. ටී. ඊ. නායකයා සහ බුද්ධි අංශ නායකයා සමීපව ඇසුරු කරමින් දකුණේ ධනවත් ව්‍යාපාරිකයන් සහ රේගු නිලධාරීන් ඔවුන් වෙත රැගෙන ගොස්‌ මුණගස්‌සවා ඇත.

එල්. ටී. ටී. ඊ. සංවිධානයට අවශ්‍යව තිබූ අධි සන්නිවේදන උපකරණ ශ්‍රී ලංකාවට ගෙන්වා ඇත්තේ ද මොහුගේ ව්‍යාපාරය හරහා බව හෙළිවී තිබේ.

එම අධි සන්නිවේදන උපකරණ ඉතාම රහසිගතව එල්. ටී. ටී. ඊ. සංවිධානය වෙත ලබාදීමට මොහු ක්‍රියා කර ඇති බව ද පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

මීට පෙර අවස්‌ථා කීපයකදීම මෙම කොටි ප්‍රබලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය උත්සාහ කළ අතර ඒ අවස්‌ථාවලදී මොහු හොර රහසේම රටින් පලාගොස්‌ තිබිණි.

මොහු පසුව වෙනත් රටක විදේශ ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට පැමිණි අතර මේ වන විට යාපනය ප්‍රදේශයේ සිටිමින් එල්. ටී. ටී. ඊ. සංවිධානය වෙනුවෙන් පෙනී සිටින බව වාර්තා වෙයි.

හේමන්ත රන්දුණු
http://www.divaina.com/2013/11/12/news07.html

0 comments: