Pages

Friday, November 8, 2013

හාමුදුරුවරු සුද්දන් බෞද්ධ කරන්න ඇමෙරිකා වඩිනවා. දෙමළුන් බෞද්ධ කරන්න යාපනේ වඩින්නේ නෑ! - යාපනය දෙමළ බෞද්ධ සංගම් සභාපති

පසුගිය පළාත් සභා මැතිවරණයට උතුරු පළාත් සභාව වෙනුවෙන් ඉදිරිපත් වූ ටී. එන්. ඒ. සංවිධානයේ මැතිවරණ ප‍්‍රකාශය පැහැදිලිව බෙදුම්වාදයට උඩගෙඩි දෙන මැතිවරණ ප‍්‍රකාශනයක් වුණා. ඒ අනුව ජාතික සංවිධාන එකමුතුව විසින් ඊට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගනු ලැබුවා. එහිදී ජාතික සංවිධාන එකමුතුව සමග යාපනය දෙමළ බෞද්ධ සංගමයත් පෙළගැසී සිටියා. ඒ අනුව ‘මුරගල’ දෙමළ බෞද්ධ සංගමයේ සභාපති ඒ. රවී කුමාර් සමග කළ සම්මුඛ සාකච්ඡව මෙසේ පළකර සිටිමු.

ඔබතුමා ඉතා නිර්භීතව බෙදුම්වාදයට විරුද්ධව පෙනී සිටින්නේ. ටී.එන්.ඒ. පක්‍ෂයේ මැතිවරණ ප‍්‍රකාශයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළා. ඊට හේතු වූ කරුණු පැහැදිලිකරනවා නම් දකුණේ සිංහල ජනතාවට වගේම උතුරේ දෙමළ ජනතාවටත් වෙනස් විදියට හිතන්න බලපෑමක් වේවි.

අපි අවුරුදු තිහක් තිස්සේ නොවිඳිනා දුක් වින්දා. අපේ සියලූ දේපල අහිමි වුණා. අපේ දරුවන්ට අධ්‍යාපනය අහිමි වුණා. ඒ වගේම අපේ සංස්කෘතියට බරපතළ විදියේ බලපෑම් එල්ලවන්න පටන් ගත්තා. හින්දු ජනයා ඉතා කෙටි කාලයක් තුළ ක‍්‍රිස්තියානි ආගමට හැරුණා. ක‍්‍රිස්තියානි ආගමේත් විවිධ නිකායන් අපේ ගම් බිම් ආක‍්‍රමණය කරන්න පටන් ගත්තා. හින්දු භක්තිකයකු ක‍්‍රිස්තියානි ආගමට මාරු වෙද්දීම එතෙක් කාලයක් භුක්ති විඳි සියලූ සංස්කෘතික හරපද්ධතීන් බරපතළ විදියට වෙනස් කරනවා.

නමුත් හින්දු භකිත්කයන් බෞද්ධයකු බවට පත් වුණොත් සංස්කෘතිමය වශයෙන් හානි දායක වන්නේ නැහැ. ක‍්‍රිස්තියානි කියන්නේ එහෙම දෙයක් නොවෙයි. සංස්කෘතික ආක‍්‍රමණය බරපතළයි.

අපි වගේ ඇත්තටම මේ රටට ජාතියට ආදරය කරන ජනතාවට මේ තත්ත්වය බරපතළ විදියට දැනෙනවා. අපි මේ රට අත හැරලා ගිහින් එංගලන්තයේ පදිංචි වෙන්න හිතන්නේ නැහැ. ඒ නිසා මේ තත්ත්වය අපට හරිම සංවේදීයි. යුද්ධය අන්තිම දරුණු වෙන විට අපි ජීවිත තර්ජන නිසාම ඉන්දියාවට ගියත් ලැබුණු පළමු අවස්ථාවෙම අපි අපේ මව්බිමට ආවා.

ඒක නිසා අපි කැමති නැහැ ආයේ කවදාවත් මේ රට බෙදුම්වාදී යුද්ධයකට ඇදිලා යනවට. මේ රට කෑලිවලට කඩන ව්‍යාපෘතිවලට අපි දැඩි සේ විරුද්ධයි. අපි බෞද්ධයෝ. හැබැයි අපි කතාකරන්නේ දෙමළ. බෞද්ධයෝ විදියට අපි දකින්නේ ජාතිය විදියට වෙන් වෙලා ජීවත් වෙන්න උත්සාහ කරනවාට වඩා ජාතියක් ලෙස එකමුතුව ජීවත් වීම තමයි වඩා වැඩදායක, වඩා ප‍්‍රතිඵලදායක කියලා. ඒ නිසා අපි ටී. එන්. ඒ. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට විරුද්ධව අධිකරණය හමුවේ පෙනී සිටියා. ටී. එන්. ඒ. සංවිධානයට උතුරේ සංවර්ධනය අපි කරන්නම් කියා දෙමළ ජනයාගෙන් ඡුන්දය ගන්න බැහැ. මොකද උතුරේ සංවර්ධනය රජය කරගෙන යනවා. යුද්ධයෙන් සිදු වූ තුවාල සනීප කරමින් සිටිනවා. වේගවත් නැතිව ඇති. නමුත් රජය කැපවීමෙන් එය කරනවා. ටී. එන්. ඒ. එකට ආයේ ඒ වෙනුවෙන් කරන්න දෙයක් නැහැ. ඔවුන්ට පුළුවන් වෙන්නේ ප‍්‍රභාකරන් සම්බන්ධ මතකය හාරා අවුස්සා ඔවුන් මෝහනයට පත් කර දෙමළ ජනයා රැවැටීමට පමණයි. එයට අපි විරුද්ධයි. එම කාරණයත් අපට අධිකරණය හමුවට යාමට හේතු වූවා.

බෙදුම්වාදය නිසා වැඩිම හානි සිද්ධ කරගත්ත උතුරු-නැගෙනහිර ජීවත් වන දෙමළ ජනයාට ආයේ බෙදුම්වාදය කියන වචනය අහන්නවත් අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය වන්නේ සැබෑ බෞද්ධයෝ ලෙස මේ රටේ අනෙක් පුරවැසියන් භුක්තිවිඳින අයිතිවාසිකම් භුක්ති විඳිමින් මේ රටට සේවයක් කරමින් ජීවත් වන්න පමණයි.

ඔබ යාපනයේ දෙමළ බෞද්ධ සංගමයේ සභාපතිවරයායි. ඒ වගේම දෙමළ භාෂාවෙන් බුදු දහම උගන්වන දහම් පාසල් ගුරුවරයෙක්. උතුරේ දරුවෝ රාශියක් ඔබේ දහම් පාසලට එනවා. ඔබ මේ කුමක්ද කරන්න හදන්නේ? කුමක්ද ඔබගේ අරමුණ?

යුද්ධය නිසා රටින් පිටව යාමට සිදු වූ මම ඉන්දියාව, නේපාලය, මැලේසියාව ආදී රටවල ඇවිද්දා. එහිදී මට විවිධ දර්ශනයන් හැදෑරීමට අවස්ථාව ලැබුණා. ඒ වගේම මට බුදු දහමත් හැදෑරීමට අවස්ථාව ලැබුණා. තමන් කවුද, තමන් ජීවත් වන වටපිටාව, ලෝකය කුමක්ද කියා නිවැරදිව වටහා ගැනීමටත් නිස්සාර දේවල් බැහැර කිරීමටත් හරවත් දේ වැළඳ ගැනීමටත් බුදු දහමෙන් මට විශාල පිටිවහලක් ලැබුණා. බුදු දහමේ උගන්වන භාවනා විධි මා ඉතා හොඳින් අධ්‍යයනය කළා. ඒවා තුළින් මා ඉගෙන ගත්තා මගේ රටට අවශ්‍ය සාමය ගොඩනගා ගන්නට හැකිවන්නේ බුදු දහමෙන් බව. මා බුදු දහමෙන් ලද පෝෂණය, මගේ රටේ අසරණව සිටින පීඩාවට පත් වී සිටින ජනයා සුවපත් කිරීමට යොදා ගන්නවා. එය සාර්ථක කරගැනීමයි මගේ අරමුණ. ආතර් සී. ක්ලාක් වැනි ලෝක පූජිත විද්වතුන් පවසනවා මුළු ලෝකයේම ඉතිරිවන ධර්මය බුදු දහම පමණක් බව. ඉතින් එවැනි විද්වතුන්ගේ පවා ගෞරවයට පාත‍්‍ර වූ ධර්මයක් දෙමළ ජනයා වෙත ගෙන යාමයි මගේ අරමුණ.

නමුත්, කනගාටුවෙන් වුවත් කිව යුතුයි. සිංහලෙන් කතා කරන බෞද්ධ හාමුදුරුවරු ඉංග‍්‍රීසි, ජර්මන්, ප‍්‍රංශ ආදී බටහිර භාෂාවන් ඉගෙන ගෙන සුද්දන් බෞද්ධයන් කරන්න උත්සාහ කරනවා. උන් වහන්සේලා තමන්ගේ රටේ අසරණව සිටින ‘‘දෙමළ මිනිහාව’’ බෞද්ධ කරන්නට උත්සාහ ගන්නේ නැහැ. දෙමළෙන් බෞද්ධ පත පොත ලියන්නට උත්සාහ ගන්නේ නැහැ. මේ රටේ දෙමළ මිනිහව බෞද්ධයෝ කරන එකද මේ රටට ප‍්‍රයෝජනවත් නැත්නම් ඇමෙරිකාවේ සුද්දො බෞද්ධයෝ කරන එකද මේ රටට ප‍්‍රයෝජනවත් කියලා බෞද්ධ ප‍්‍රජාවේ නායකයෝ තීරණය කළ යුතු කාලයකටයි මේ එළඹිලා තියෙන්නේ.

ඔබ කියනවා ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා ජාතිකත්ව එකතු කරන, පාලම බුදු දහම බව. ඉතින් ඇයි අපි ජාතියක් ලෙස අසමත් වන්නේ ඒ පාලම ශක්තිමත්ව ගොඩනගන්න?

දෙමළ ජනයාගේ මනසේ තහවුරු කරවලා තියෙන්නේ බුදුන් වහන්සේ කියන්නේ සිංහල කෙනෙක් කියලයි. ඒ අනුව බෞද්ධ කිව්වහම ඔක්කොම සිංහල අය වෙනවා කියලා තමයි දෙමළ ජනයා හිතන් ඉන්නේ. එහෙම තහවුරු කරලා කියන්න පටන් ගන්නවා සිංහල අය දෙමළ අයට විරුද්ධයි. ඒ නිසා බෞද්ධ අයත් දෙමළ අයට විරුද්ධයි කියලා. ඒත් සිංහල අයගේ මනසේ ඒ වගේ හැගීමක් නැහැ. පන්සල ඇතුළේ හින්දු දෙවිවරු ඉන්නවා. යාපනයේ නාග විහාරයට ගිය බෞද්ධයෝ බුදුන් වැඳලා, ශිව දෙවියන්ට, විශ්නු දෙවියන්ට වැඳලා තමයි එළියට එන්නේ. හැබැයි දෙමළ හින්දු ජනයාට මේ විදිය තාම හුරු නැහැ.

අනිත් පැත්තෙන් දෙමළ කථා කරන ජනයාට ජේසුස් ස්වාමීන් වහන්සේ පිළිගන්න පුරුදු කරලා තියෙන්නේ. අල්ලා දෙවියන් වහන්සේ පිළිගන්න පුරුදු කරලා තියෙන්නේ.

මේවා මේ සාමාන්‍ය හින්දු දෙමළ වැසියා හිතා මතා කරන දේවල් නොවෙයි. දීර්ඝ කාලයක් තිස්සේ කුමන්ත‍්‍රණකරුවන් දෙමළ ජනයාට පුරුදු කරලා තියෙන්නේ ඒ විදියටයි.

දැන් බලන්න, උතුරු-නැගෙනහිර දෙමළ නිජභූමිය කියලා පිළිගන්න බෙදුම්වාදීන් බල කරනවා. හැබැයි බුදුහාමුදුරුවෝ ලංකාවට ඉස්සෙල්ලාම වැඩියේ ඔය කියන නිජභූමියේ තිබෙන නාගදීපයට. සිරිමහ බෝධිය ගෙනාවේ ඔය කියන නිජභූමියේ දඹකොළ පටුනට. හේමමාලා දන්ත කුමරු එන්නේ ඔය කියන නිජභූමියේ ලංකා පටුනට. තපස්සු භල්ලූක ලෝකයේ පැරණිම දාගැබ ඉදිකරන්නේ ඔවුන් කියන දෙමළ නිජභූමියේ. එතකොට පැහැදිලියි, මිහිඳු හාමුදුරුවෝ වඩින්නත් කලින් ඉඳන් උතුරු-නැගෙනහිර පළාතේ බෞද්ධයෝ හිටියා. බෙදුම්වාදීන්ට අනුව නම් ඒ බෞද්ධයෝ දෙමළ. හැබැයි දැන් බෞද්ධ ආගම ඇදහීම දෙමළ අයට උතුරු-නැගෙනහිර පළාතේදී අහුරලා තියෙනවා. මේවා වර්තමානයේදී එන්.ජී. ඕ. කල්ලි මැදිහත් වෙලා බොහොම ජයට කරනවා. දෙමළ ජනයාගේ සැබෑ උරුමය, සැබෑ අයිතිය පාගලා දාලා ජාතීන් මරාගන්නා බොරු අයිතියක් අපූරුවට මතු කරනවා. මේවා ඉතා භයානක දේවල්. ඇයි මේ භයානක දේවල් කරන්නේ? ඉතා පැහැදිලියි, ඒ සිංහල දෙමළ ජාතිය සමගිය ඇති කරන්න තිබෙන ශක්තිමත්ම පාලම බෞද්ධාගම නිසා.

ඔබ කියනවා අධිරාජ්‍යවාදීන් සුඩානය දෙකඩ කරලා දකුණු සුඩානය නමැති ක‍්‍රිස්තියානි රාජ්‍යය හැදුවා වගේ ආසියාවේ ක‍්‍රිස්තියානි රාජ්‍යය වන්නේ ඊළම කියලා. මේ ගැන වැඩි පැහැදිලි කිරීමක් කළොත්?

ඔව්… දැන් ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල ආගමික ආක‍්‍රමණය තමයි ක‍්‍රිස්තියානි ආගම හරහා සිදු වන්නේ. ඒක ඉතා පැහැදිලියි අප‍්‍රිකාව ගත්තහම ඉතා මෑතකදී සුඩානය වෙන්කරලා හදපු දකුණු සුඩානය තනිකරම ක‍්‍රිස්තියානි රාජ්‍යයක්. ආගම මාරු කළහම හරිම පහසුවෙන් එතෙක් භුක්තිවින්ද සංස්කෘතික හර පද්ධතීන්ට පයින් ගහනවා. ඒවා වලලා දමනවා. රටක් කොල්ල කන්න සංස්කෘතිය වල දැමීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. අප‍්‍රිකාවේ, ලතින් ඇමෙරිකාවේ ඔවුන් මේ සංස්කෘතික ආක‍්‍රමණය සාර්ථක ලෙස කරගෙන තියෙනවා.

ඒත් ආසියාවේ ඒක සාර්ථක නැහැ. වියට්නාමය, ජපානය, චීනය ගත්තහම ප‍්‍රබල බෞද්ධ රටවල්. අනිත් අතට පිලපීනය යම් තරමකට ක‍්‍රිස්තියානි කරලා යම් උත්සාහයක් ගත්තත් සාර්ථක වුණේ නැහැ. ලෝකයේ අපේ මේ වාසනාවන්ත රට පිහිටලා තිබෙන තැන ගත්තහම යුද, නාවික, ආර්ථික ආදී කේන්ද්‍රයන්වලදී ඉතාම තීරණාත්මක මර්මස්ථානයකයි පිහිටා තිබෙන්නේ. ඉතිං මේ වගේ තැනක් ක‍්‍රිස්තියානි කරගත්තහම අධිරාජ්‍යවාදීන්ගේ ඉලක්ක ජයගන්න පහසුයි. ඒක නිසයි බෙදුම්වාදී උපායමාර්ගය එක්ක දේශපාලනය කරන හැම කෙනෙක්ම එක්කෝ ක‍්‍රිස්තියානි වන්නේ, එහෙම නැත්නම් දෙමළ හින්දු සංස්කෘතියෙන් විතැන් වූ ක‍්‍රිස්තියානි සංස්කෘතියේ ආභාෂය ලබපු අය වෙන්නේ.

අනිත් කාරණය අපේ රටේ තිබෙන ජනවර්ග විවිධත්වය අනුවත් ඔවුන් කේන්ද්‍රගත වී සිටින ස්ථානය අනුවත් අධිරාජ්‍යවාදීන්ට ඉතාම පහසු ස්ථානය තමයි උතුරු නැගෙනහිර පළාත් වෙනම රටක් ලෙස තබන එක.

දෙමළ බෞද්ධ දහම් පාසල් උතුරේ ප‍්‍රචලිත කිරීම පිළිබඳව හින්දු පූජකවරුන්ගෙන් විරෝධතාවයන් එල්ල වන්නේ නැතිද?

ඇත්තටම එහෙම ආවා. පූජකවරුන්ම නොවෙයි. සමහර දේශපාලනඥයන්ගෙන් තමයි වැඩිම විරෝධය ආවේ. සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් වරක් මට පැවැසුවා මම දෙමළ සංස්කෘතිය විනාශ කරන්න යනවා කියා. ‘‘දෙමළ සංස්කෘතිය නැති කරන්නේ බෞද්ධයෝ නොවෙයි ක‍්‍රිස්තියානි අය’’ කිසා මම කිවුවා. ඔහු ඇහුවා ‘‘ඇයි එහෙම කියන්නේ කියලා’’ මම කිවුවා ‘‘දෙමළ කාන්තාව ආභරණ විසිකරලා දාලා සුදු අඳින්නේ නැහැ. දෙමළ සංස්කෘතියේ එහෙම කරන්නේ නැහැ. නමුත් ක‍්‍රිස්තියානියට හරවපු දෙමළ කාන්තාව සුදු ඇඳලා කරාබු මාල විසිකරලා දානවා’’ කියලා. ඔහු ආපසු යන්න ගියා.

රජයේ බෞද්ධ කටයුතු අංශ හෝ වෙනත් බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා ඔබගේ උත්සාහය ඇගැයීමට ලක්කර තිබෙනවාද?

මම මුලින් කිවු පරිදිම බෞද්ධ හාමුදුරුවරු සුදු මිනිසුන්ව බෞද්ධ කරන්න ඇමෙරිකාවට වඩිනවා මිසක් දෙමළ මිනිහාව බෞද්ධ කරන්න යාපනයට වඩින්නේ නැහැ. උන්වහන්සේලා වඩින්න  ඕන යාපනයට, කිලිනොච්චියට, දුප්පතුන්ට උදව් කරන්න  ඕන. බෞද්ධ දේශනා කරන්න  ඕන. එහෙම ස්වාමීන් වහන්සේලා කවුරුත් නැහැ. බෙංගමුවේ නාලක හාමුදුරුවෝ නම් අපිත් එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න සූදානම්. ඒක අපිට සතුටට කාරණයක්. ඇමෙරිකානු ඩොලර්වලට වඩා දෙමළ මිනිහාගේ උළුඳු වඬේ වැළඳීම කැපයි කියා සිතන හාමුදුරුවරු බිහිවුණොත් දෙමළ මිනිහගේ විතරක් නොවෙයි අපේ මුළු රටේම වාසනාව කියලයි අපි හිතන්නේ.

අවසාන වශයෙන් ඔබට සිංහල බෞද්ධයාට සහ භික්‍ෂූන් වහන්සේලාට දීමට ඇති පණිවුඩය කුමක්ද?

ඔව්.. අපේ සංගමයේ නම යාපන දෙමළ බෞද්ධ සංගමය. අපි ඒ නම ‘යාපන බෞද්ධ සංගමය’ කියා වෙනස් කරන්නයි හිතගෙන ඉන්නේ. අපි එහෙම කරන්නේ බෞද්ධයෝ සිංහල, දෙමළ කියල වෙන් කරන්න බැරි නිසා. ඒක නිසා මේ රටේ බෞද්ධයෝ විසින් සිංහල බෞද්ධ, දෙමළ බෞද්ධ කියලා වෙන් කරගන්න අවශ්‍ය නැහැ, කියලයි අපි හිතන්නේ. නාගදීපයට, නාග විහාරයට දාන මාන දෙන බෞද්ධයෝ පිරිසක් යාපනයෙන් හදා ගත්තොත්, කදුරුගොඩ පන්සල, දඹකොල පටුන විතරක් නෙවි නැගෙගනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන ආරක්‍ෂා වේවි. බෞද්ධ ධර්මය සැමටම එකයි. ඒ ධර්මය අපි එකිනෙකා සන්නිවේදනය කරන භාෂාව අනුව තේරුම් ගනිමු. හැබැයි අපි සියලූ දෙනාම බෞද්ධයෝ.

ඒ නිසා රටේ දකුණු පළාතින් නාගදීපයට, නාග විහාරයට, කදුරුගොඩට එන බෞද්ධයෝ අපේ දහම් පාසලටත් එන්න. අපිට ආධාර උපකාර කරන්න. අපිව දිරිමත් කරන්න. දෙමළ භාෂාවෙන් දහම් පොත පත මුද්‍රණය කර දෙන්න කියා අපි ඉල්ලා සිටිනවා.


ලිපිනය :-
A. Ravikumar, Aladi, Uduvil, Chunnakam

දුරකථන අංකය :-
071 1277373, 021 2556217

සංවාද සටහන – ජීවන්ත ජයතිස්ස | jeewanthaj@yahoo.com
http://lankacnews.com/sinhala/main-news/104222/

0 comments: