Pages

Wednesday, January 1, 2014

ඇමරිකාවේ නොනවතින කෙනිත්තිලි හමුවේ 2014 ජිනීවාහිදී ඉන්දියාවේ හැසිරීම කෙබඳු වේද?


පසුගියදා නිව්යෝර්ක්‌ නගරයේ ඉන්දියානු නියෝජ්‍ය කොන්සල් ජනරාල්වරිය ඇමරිකානු නිලධාරීන් විසින් හිරභාරයට ගැනීමේ සිද්ධිය නිසා ඉන්දියාවත් ඇමරිකාවත් අතර ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ඉතිහාසයේ වෙනත් කිසිදාකට වඩා පහත් අඩියකට වැටුණු බව කිව හැක. මීට පෙර දශකවලදී ඉන්දීය ආණ්‌ඩුවත් ඇමරිකාවත් අතර නොගැලපීම් හා මත වෙනස්‌කම් තිබුණද මෙවර ඇතිවී තිබෙන්නේ හුදෙක්‌ම ආණ්‌ඩු අතර ප්‍රශ්නයක්‌ නොව ඉන්දීය මහජනතාව අතරින්, විශේෂයෙන්ම ඉන්දියාවේ බලගතු මධ්‍යම පන්තිය තුළින්ම ජනිතවී ඇති ඇමරිකානු විරෝධයකි. ඉන්දියාව සම්බන්ධයෙන් ඇමරිකාවේ වූ මේ සිදුවීම ලංකාවේ අපටද වැදගත් වෙයි. එමෙන්ම මේ ඇතිවී තිබෙන තත්ත්වය නිසා 2014 මාර්තු මාසයේදී ජිනීවා නුවර පැවැත්වීමට නියමිත එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඉන්දියාව ඡන්දය දෙන ආකාරය වෙනස්‌ වීමට ඉඩ ඇත.

ලෝකයේ විශාල ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දෙකක්‌ අතර ඇතිවී තිබෙන මෙම සිද්ධිය ගෘහ සේවිකාවක්‌ මුල්කරගත් ප්‍රශ්නයකින් පැන නැගුණකි. නිව්යෝර්ක්‌ නගරයේ ඉන්දීය නියෝජ්‍ය කොන්සල් ජනරාල්වරිය වන දිව්‍යානි කොබ්රගේඩ්ට එරෙහිව ඇති චෝදනාව වන්නේ ඇයගේ ඉන්දීය ගෘහ සේවිකාව ඇමරිකාවට ගෙන ඒමට පුරවන ලද වීසා ඉල්ලුම් පත්‍රයේ ඇයට ගෙවනවා යෑයි කියා තිබූ වැටුපට වඩා අඩු වැටුපක්‌ ඇයට ගෙවා තිබෙන බවයි. ඇමරිකාවේ මෙය වංචනික ලෙස වීසා ලබා ගැනීමක්‌ හා කම්කරුවෙක්‌ "සූරා කෑමක්‌" හැටියට නිර්වචනය වීම නිසා ඇයට එරෙහිව අපරාධ නඩුවක්‌ ගොනුවී ඇත.

ඇමරිකානු බලධාරීන් මෙම ඉන්දීය තානාපති නිලධාරිනියට නඩු පැවරීමට පෙර ඇය හිරභාරයට ගත්තා පමණක්‌ නොව එය කර තිබුණේද ඇය තම දරුවා පාසලට ඇරලවන අවස්‌ථාවේය. ඒ අවස්‌ථාවේදී රාජතාන්ත්‍රික නිලධාරිනියගේ දැත්වලට මාංචු දමා ගෙනගොස්‌ සියලු ඇඳුම් ගලවා යෝනි මාර්ගය හා ගුද මාර්ගය ඇතුළු සිරුරේ සියලු විවර පරීක්‍ෂා කර බලා ඇත. මේ ආකාරයේ සිරුරේ විවර පරීක්‍ෂාවක්‌ යනු රෝහලක කෙරෙන සායනික ක්‍රියාදාමයක්‌ නොව ඒ අවස්‌ථාවේ එතන සිටින නිලධාරිනියක්‌ තම දැත්වලට රබර් අත්වැසුම් දමා ඇඟිලිවලින් කරන රළු ක්‍රියාදාමයකි. තානාපති නිලධාරිනියට මේ සියල්ල ඉවසීමට සිදුවූවා පමණක්‌ නොව ඇයට ඇප ලබාදෙනතුරු රඳවා තැබුවේද ගණිකාවන් හා කුඩුකාරියන් රඳවා සිටි සිරමැදිරියකය.

නිව්යෝර්ක්‌ නගරයේ තම නියෝජ්‍ය කොන්සල් ජනරාල්වරියට සිදුවූ මෙම අකරතැබ්බ ගැන ආරංචි වූ විට මුළු ඉන්දියාවම ගිනි ගත්තේය. මෙම තානාපති නිලධාරිනියට එරෙහිව ඇමරිකානු ආණ්‌ඩුව නිකන්ම නඩු පැවරුවේ නම් එය විශේෂ අවධානයට යොමුවන කාරණයක්‌ නොවනු ඇත. නමුත් ඉන්දියාවේ ප්‍රධාන පෙළේ තානාපති නිලධාරිනියකට මාංචු දමා ගෙනගොස්‌ යෝනි හා ගුද මාර්ග පරීක්‍ෂාවට ලක්‌කොට ඇයව ගණිකාවන් හා කුඩුකාරියන් සමග සිර කොට තැබීම සෑම ඉන්දියානුවෙක්‌ම තමාට පුද්ගලිකව සිදුවූ අපහාසයක්‌ ලෙස ගණන් ගෙන ඇති බව පෙනේ. මෙම තානාපති නිලධාරිනියට එරෙහිව ඇමරිකාවෙන් නඟා ඇති එක්‌ චෝදනාවක්‌ වන්නේ ඇය තම නිවසේ සිටි ගෘහ සේවිකාව සූරාගෙන කෑ බවයි. සාමාන්‍යයෙන් ඉන්දියාවේ නම් මධ්‍යම පන්තියේ කාන්තාවක්‌ තම ගෘහ සේවිකාව සූරා කෑමකට ලක්‌ කළා යෑයි චෝදනාවක්‌ නැඟුවහොත් ජනතාවගේ අනුකම්පාව යන්නේ එම ගෘහ සේවිකාව වෙත මිස ඇයගේ ස්‌වාමි දියණිය වෙත නොවේ. නමුත් මේ අවස්‌ථාවේදී සියල්ල වැඩකරන්නේ අනෙක්‌ පැත්තටය. මෙම ඉන්දීය තානාපතිනියගේ ගෘහ සේවිකාවට ඉන්දියාවේ හැටියට ඇත්ත වශයෙන්ම ගෙවා ඇති ගණන විශාල වැටුපකි. එය ඇමරිකාවට යැමට අත්සන් කරන ලද වීසා ඉල්ලුම් පත්‍රයේ සඳහන් ගණනට සමාන නොවූවත් ඉන්දියාවේ සිටින ගෘහ සේවිකාවකට ලැබිය හැකි මුදලට වඩා කීප ගුණයකින් වැඩි මුදලකි. මේ හේතුව නිසා මත භේදයට තුඩුදුන් මෙම ගෘහ සේවිකාවට අඩුම වශයෙන් ඉන්දියාවේ සිටින ගෘහ සේවිකාවන්ගේ වත් අනුකම්පාවක්‌ ලැබී නැති බව ඉන්දීය මාධ්‍යයේ පළවූ වාර්තාවලින් පෙනේ. මුළු ඉන්දියාවම ගෙන ඇත්තේ තානාපති නිලධාරිනියගේ පැත්තය.

නිව්යෝර්ක්‌ නගරයේදී තම තානාපති නිලධාරිනියට සිදුවූ අපහාසයට ප්‍රතිචාර දැක්‌වීමක්‌ වශයෙන් ඉන්දියාව දැඩි ක්‍රියාමාර්ග කීපයක්‌ ගෙන ඇත. ඔවුන් මුලින්ම කළේ නවදිල්ලියේ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේ තිබූ ආරක්‍ෂක මාර්ග බාධක බුල්ඩෝසර් හා බැකෝ යන්ත්‍ර දමා ඉවත් කිරීමයි. ඒ අවස්‌ථාවේදී ඉන්දියාවට පැමිණ සිටි ඇමරිකානු කොංග්‍රස්‌ මණ්‌ඩලයේ නියෝජිත කණ්‌ඩායම හමුවීම ඉන්දියාවේ ආණ්‌ඩුව මෙන්ම විපක්‍ෂයද ප්‍රතික්‌ෂේප කළේය. ඉන්දියාව තුළ සිටින ඇමරිකානු කොන්සල් මට්‌ටමේ නිලධාරීන්ගේ තානාපති හැඳුනුම්පත් සියල්ල අවලංගු කොට ඔවුන්ට අඩු වරප්‍රසාද පිරිනමන නව හැඳුනුම්පත් නිකුත් කිරීමට පියවර ගෙන ඇත. නවදිල්ලියේ ඇමරිකානු තානාපති කාර්යාලයට මත්පැන් ගෙන්වීමට තිබූ බලපත්‍රයද අහෝසි කොට ඇති අතර ඉන්දියාවේ සිටින ඇමරිකානු නිලධාරීන් තම ගෘහ සේවිකාවන්ට ගෙවන වැටුප් යනාදිය පිළිබඳව වෙනමම විමර්ශනයක්‌ ආරම්භ කොට ඇත. ඉන්දියාවේ සිටින එක්‌ ඇමරිකානු තානාපති නිලධාරියෙක්‌ සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවයට පවසා තිබුණේ ඉන්දියානු පොලිසිය විසින් කුමක්‌ හෝ හේතුවක්‌ පෙන්වා ඇමරිකානු තානාපති නිලධාරියෙක්‌ව සිර භාරයට ගෙන ඔහුටද මාංචු දමා සියලු ඇඳුම් ගලවා ශරීරයේ විවර පරීක්‍ෂාවකට ලක්‌ කරාවි යෑයි ඔවුන් බියෙන් සිටින බවයි.

නිව්යෝර්ක්‌ නගරයේ මෙකී ඉන්දීය තානාපති නිලධාරිනියගේ ගෘහ සේවිකාව පිළිබඳ ප්‍රශ්නය එක්‌ වරම ඇතිවූවක්‌ නොව මාස ගණනක්‌ මුළුල්ලේ ඇදී ගිය ක්‍රියාදාමයක ප්‍රතිඵලයකි. පසුගිය ජුනි මාසයේ සිට නිව්යෝර්ක්‌ නගරයේ තානාපතිනියගේ නිවසෙන් ගෘහ සේවිකාව අතුරුදන් වී ඇත. ඉන්දියාවේදී ගිවිසුම් අත්සන් කොට ඇමරිකාවට ගොස්‌ අතුරුදන් වූ මේ ගෘහ සේවිකාව පිළිබඳව ඉන්දීය ආණ්‌ඩුව විමර්ශනයක්‌ ආරම්භ කොට තිබිණි. ඇමරිකානු ආණ්‌ඩුව පසුගියදා ඉන්දියානු තානාපති නිලධාරිනියව සිරභාරයට ගැනීමට දින කීපයකට පෙර අතුරුදන් වූ ගෘහ සේවිකාවගේ මුළු පවුලම ඉන්දියාවෙන් ඇමරිකාවට ගෙන්වා තිබිණි. මේ ආකාරයට ඉන්දීය පුරවැසියන් හොර රහසේ ඉන්දියාවෙන් ගෙනයැම ගැන ද ඉන්දීය ආණ්‌ඩුව මහත් සේ උරණ වී සිටී. ඉන්දීය ආණ්‌ඩුව තම තානාපති නිලධාරිනියව ඇමරිකානු උසාවියෙන් බේරා ගැනීම සඳහා ඇයව නිව්යෝර්ක්‌ නගරයේම එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ධුරයකට මාරුකර යවා ඇත. ඇයගේ නව ධුරය නිසා ඇයට ඇමරිකානු උසාවියෙන් ආරක්‍ෂාවක්‌ ලැබේ. නමුත් ප්‍රශ්නයකට ඇත්තේ ඇයට එරෙහිව උසාවියේ චෝදනා ගොනුකොට තිබෙන්නේ නව ධුරය ලැබීමට පෙරය. ඒ නිසා ඇයට දිගටම තානාපති මුක්‌තභාවය ලැබීමට පෙර ගොනු කරන ලද චෝදනාවලට උත්තර බැඳීමට සිදුවනු ඇත. මේ අවස්‌ථාවේදී දිව්Hdනි කොබ්රගේඩ් නමැති මෙම නිලධාරිනිය සිටින්නේ ඇමරිකානු ඩොලර් 250,000 ක ඇප ගිවිසුමක්‌ මතය. ඇය සතියකට වතාවක්‌ ඇමරිකානු පොලිසියේ පෙනී සිටිය යුතුය. ඇය චෝදනාවලට වැරදිකරු වුවහොත් අවුරුදු 15 ක සිර දඬුවමක්‌ විඳීමට සිදුවනු ඇත. ඇමරිකානු බලධාරීන් ද මේ ප්‍රශ්නයෙන් පස්‌ස ගසන්නේ නැත. ඔවුන් කියන්නේ ඇමරිකාවේ නීතිය කාටත් එක සමානව ක්‍රියාත්මක විය යුතු බවයි. එමෙන්ම මෙම තානාපති නිලධාරිනිය හිරභාරයට ගෙන ඇයගේ ඇඳුම් ගලවා ශරීර විවර පරීක්‍ෂා කිරීමට ඇමරිකාවේ සාමාන්‍ය ක්‍රියාපටිපාටියට අනුකූල බව කියමින් එය ද ඔවුන් සාධාරණීකරණය කරයි.

මෙම තානාපති නිලධාරිනියට සිදුවූ මේ අකරතැබ්බයට ඉන්දියාවේ සෑම තරාතිරමකම මිනිසුන් දක්‌වා ඇති ප්‍රතිචාරය අහඹු ලෙස ඇතිවූවක්‌ ද නොවේ. මෙය පසුගිය වසර ගණනාව තුළ ඇමරිකාව විසින් ඉන්දියාවට කර ඇති මහා අපහාස වැලක නොඉවසිය හැකි අවසාන සිද්ධියකි. ලංකාවේ රාජපක්‍ෂ ආණ්‌ඩුව බලයට පත්වීමටත් පෙර ඇමරිකානු ආණ්‌ඩුව ගුජරාට්‌ ප්‍රාන්තයේ මහ ඇමැති වූ නරේන්ද්‍ර මෝඩිට ඇමරිකාවට පැමිණීම තහනම් කරන ලදී. ඒ ඔහු මානව හිමිකම් උල්ලංඝනය කර තිබෙනවාය යන චෝදනාව මතය. ඉන්පසු 2009 දී ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයකු වන අබ්දුල් කලාම් මහතා ගුවන් යානයකට ගොඩවීමට පෙර ඇමරිකානු ආරක්‍ෂක නිලධාරීන් විසින් මුලු සර්වාංගයම අතපත ගා පරීක්‍ෂාවට ලක්‌ කොට තිබිණි. ඒ ඔහු හිටපු ජනාධිපති බව දැන දැනම ය. එම වසරේම ඉන්දීය නළු ශාරුක්‌ ඛාන් මුස්‌ලිම් නමක්‌ තිබීම හේතුවෙන් ඇමරිකානු ගුවන්තොටුපළක පැය කිහිපයක්‌ අත්අඩංගුවේ සිටියේය. 2010 දී ඇමරිකාවේ සිටි ඉන්දීය තානාපතිනිය වූ මීරා ශංකර් මැතිනිය මිසිසිපි ගුවන්තොටුපළේදී පැත්තකට ගෙනගොස්‌ පරීක්‍ෂාවට ලක්‌ කොට තිබිණි. තමා ඇමරිකාවේ සිටින ඉන්දීය තානාපතිනිය බව පවසා තානාපති මුක්‌ත භාවය ප්‍රකාශ කොට සිටියදීත් ඇය මේ ආකාරයට පරීක්‍ෂාවට ලක්‌කොට තිබිණි. 2011 දී ඉන්දියාවේ හිටපු ජනාධිපති අබ්දුල් කලාම් මහතා නිව්යෝර්ක්‌ ගුවන්තොටුපළේදී නැවත වතාවක්‌ පරීක්‍ෂාවට ලක්‌ වූ අතර මේ දෙවැනි අවස්‌ථාවේදී ඇමරිකානු නිලධාරීන් විසින් ඔහු පැලඳ සිටි සපත්තු කුට්‌ටමත් කබායත් පරීක්‍ෂා කිරීමට යෑයි කියා ගලවාගෙන ගොස්‌ තිබිණි. ඔවුන් එය කළේ ද ඔහු ඉන්දියාවේ හිටපු ජනාධිපති බව හොඳාකාරවම දැනගෙනය.

2012 සැප්තැම්බර් මාසයේදී ඉන්දීය පාලක කොංග්‍රස්‌ පක්‍ෂයේ නායිකා සෝනියා ගාන්ධි ඇමරිකානු රෝහලක වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි අවස්‌ථාවේදී ඇමරිකානු උසාවියක්‌ විසින් ඇය 1984 ඉන්දිරා ගාන්ධිගේ ඝාතනයත් සමග ඉන්දියාව පුරා පැතිර ගිය සික්‌ විරෝධී කෝලහාලයට වගකිව යුත්තන් ආරක්‍ෂා කොට ඔවුන්ට වරප්‍රසාද පැවරීමේ චෝදනාවට වගඋත්තරකරු කොට ඇයට සිතාසි නිකුත් කළේය. සෝනියා ගාන්ධි ඒ අවස්‌ථාවේදී ගැලවුණේ ඇයට සිතාසි ලැබුණේ නැතැයි කීමෙනි. නමුත් මෙහි ප්‍රතිඵලය වන්නේ සිර භාරයට පත් වීමේ අවදානම නිසා සෝනියා ගාන්ධිට ද නැවත ඇමරිකාවට යැමට නොහැකි වීමයි. මේ අනුව ඉන්දියාවේ කොංග්‍රස්‌ පක්‍ෂයේ නායිකාව වන සෝනියා ගාන්ධිට පමණක්‌ නොව භාරතීය ජනතා පක්‍ෂයේ අගමැති අපේක්‍ෂක නරේන්ද්‍ර මෝඩි යන දෙදෙනාටම ඇමරිකාවට යාමට නොහැකි තත්ත්වයක්‌ උද්ගත වී ඇත. පසුගිය මස නොවැම්බර් 19 වැනිදා ඇමරිකාවේ රිපබ්ලිකන් පක්‍ෂය හා ඩිමොක්‍රටික්‌ පක්‍ෂය යන දෙකම එකතු වී නරේන්ද්‍ර මෝඩිටත් භාරතීය ජනතා පක්‍ෂයටත් එරෙහිව ඇමරිකානු කොංග්‍රස්‌ මණ්‌ඩලයේ විශේෂ යෝජනාවක්‌ ඉදිරිපත් කළ ආකාරය අපි පසුගියදා විස්‌තර කෙරුවෙමු. මේ යෝජනාවේ එක්‌ පරමාර්ථයක්‌ වුයේ 2014 ඉන්දීය මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්‍ෂයට ඡන්දය නොදෙන්නැයි ඉන්දීය ජනතාවට උපදෙස්‌ දීමටය.

මේ අතරතුර 2012 සැප්තැම්බර් මාසයේදී සෝනියා ගාන්ධිට සිතාසි නිකුත් කළ ඇමරිකානු උසාවිය නැවත වරක්‌ ඇයට එරෙහිව ඇති චෝදනාවලට 2014 ජනවාරි 2 වැනිදාට පෙර උත්තර බඳින්නැයි කියමින් නොතීසි නිකුත් කර ඇත.

1984 සික්‌ විරෝධී කෝලහාල යනු ඉන්දියාවේ සිදුවූ සිද්ධියකි. ඉන්දියාවේ සිදුවූ දෙයකට ඇමරිකානු උසාවියක්‌ ඇමරිකාවේදී නඩු ඇසීමෙන් සිදුවන්නේ ඉන්දියාවද තමාට අයත් බලප්‍රදේශයක්‌ වශයෙන් ඇමරිකානු උසාවිය සලකා කටයුතු කිරීමයි. ඒ අනුව ඇමරිකානු උසාවියකට ඕනෑම ඉන්දීය පුරවැසියකුට එරෙහිව නඩු අසා දඬුවම් ක්‍රියාත්මක කිරීමට ද බලය ඇත. මේ ආකාරයට නඩු පවරා ඇත්තේ ද වත්මන් ඉන්දීය පාලක පක්‍ෂයේ නායිකාවට එරෙහිවය· මුලු ඉන්දියාවේම සියලුම පුරවැසියන්ගේ ශරීර විවර ඇමරිකාව විසින් පරීක්‍ෂාවට ලක්‌ කළ ආකාරයේ ප්‍රතිචාරයක්‌ ඉන්දියාව පුරා අපට දැන් දක්‌නට ලැබෙන්නේ මේ සියලු සිද්ධීන් එකපිට එක සිදුවීම නිසාය. නමුත් මේ සියල්ල තිබියදීත් ඉන්දියාව ඇමරිකාවේ මිත්‍ර රටක්‌ ලෙස සැලකේ. මිතුරන් මෙබඳු නම් සතුරන් කුමට දැයි ඕනෑම කෙනකුට මේ සිද්ධීන් දාමය දෙස බලන විට පෙනේ. ඇමරිකාව විසින් 2005 සිට අද දක්‌වා ඉන්දියාවට කර ඇති අපහාස මෙන් දශමයක්‌ වත් ලංකාවට කර නැති බව කිව යුතුය.

ඇමරිකාවට එරෙහිව ඉන්දියාව තුළ ඇති වී තිබෙන මේ විරෝධයත් සමග ලබන මාර්තු මාසයේදී ඉන්දියාවට ඇමරිකාව සමග එක්‌ වී ලංකාවට එරෙහිව යෝජනා ගෙන ඒමට හැකිවේද යන්න සැක සහිතය. අද භාරතීය ජනතා පක්‍ෂයත් කොංග්‍රස්‌ පක්‍ෂයත් යන දෙකම තරගයට ඇමරිකාවට විරෝධය පළ කරති. මේ පක්‍ෂ දෙකටම ඇමරිකාවෙන් මහා බරපතළ අපහාස සිදුවී ඇත. ඒ හේතුවෙන් ලබන මාර්තුවේදී ඇමරිකාව ලංකාවට එරෙහිව ගෙන එන යෝජනාවේදී ඡන්දය දීමෙන් වැලකී සිටීමට ඉන්දියාවට සිදුවීමට ඉඩ ඇත. මෙවර තමිල්නාඩුවේ බලපෑම නිසාවත් ඉන්දීය මහ ආණ්‌ඩුව ඇමරිකාව සමග එක්‌ වී ලංකාවට එරෙහිව යෝජනා ගෙන ඒවි යෑයි සිතීමට අසීරුය. ඇමරිකාව අතින් අපහාසයට ලක්‌වූ ඉන්දීය හිටපු ජනාධිපති අබ්දුල් කලාම් ද තමිල්නාඩුවේ උපත ලද දෙමළ කතා කරන මුස්‌ලිම්වරයකු බව මෙහිදී සැළකිය යුතුය.

වම් ඉවුර | සී. ඒ. චන්ද්‍රප්‍රේම
http://www.divaina.com/2013/12/30/feature01.html

0 comments: