Pages

Sunday, January 5, 2014

2014 විෂ හරණ වසර කරමු

2013 වසර අවසන් වූයේ වස විෂ පිළිබඳ පුලුල් කතිකාවක්‌ සමාජ ගත වෙමින් තිබෙද්දීය. ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිම කෘෂි රසායනික ප්‍රමාණයක්‌ භාවිතා කරන රට බව හෙළිවීමත් පලතුරු ඉදවීම සඳහා මහා පරිමාණයෙන් විෂ රසායනික ස්‌ප්‍රේ කිරීම හෙළිවීමත් කහකුඩු ලෙස රෙදි සායම්වලින් පාට ගැල්වූ කුඩු වර්ග විකිණීම හෙළිවීමත් යන කරුණු වෙන කවරදාටත් වඩා සමාජයට කාවැදුණි. එසේම එම හෙළිදරව්වන්ගේ ප්‍රතිඵලයක්‌ ලෙස මෙවැනි අපරාධ මැඩලීම සඳහා මහා පරිමානයේ වැටලීම් කළ බවද ජනතාවට දැනගන්නට ලැබුණේය. පිටකොටුව මැනිං වෙළඳපොළේ උත්සව සමය ඉලක්‌ක කර වස ස්‌ප්‍රේ කර ඉදවූ පලතුරු කිලෝ 70000 ක්‌ පමණ පාරිභෝගික අධිකාරියේ අත්අඩංගුවට ගැනීම ඉන් එක්‌ උදාහරණයක්‌ වු අතර එය මුළු රටේම ඇස්‌ ඇරවූ ප්‍රවෘත්තියක්‌ද වූයේය. 

මෙම වස විෂ කතිකාව මේ වන විට තියුණු ලෙස සමාජගතවී තිබේ. පොදු ජනයා මේ තත්වය පිළිබඳ දැනුවත්ය. මේ වනවිට රටේ ජනාධිපතිවරයාගේ ස්‌ථාවරය වන්නේද ජනතාවගේ බත් පත වස විෂවලින් තොර විය යුතු බවය. වස විෂෙන් මිදීම සඳහා වූ ස්‌වර්ණමය අවස්‌ථාවක්‌ සඳහා දැන් පරිසරය නිර්මාණය වී තිබේ. එසේ නම් අප 2014 වසර නම් කළ යුත්තේද සැළකිය යුත්තේද වස හරණ වසර ලෙසයි. මෙම අවුරුද්ද අවසන් වන විට අප රටක්‌ ලෙස භාවිතා කරන වස විෂ ප්‍රමාණය 50% කින් අඩු කර ගැනීමට අප සමත් වුවහොත් එය සමස්‌ත ජාතියටම ඉමහත් ජයග්‍රහණයකි. අප මෙහිදී කෙටියෙන් දක්‌වන්නේ එම ඉලක්‌කය සාක්‌ෂාත් කරගැනීම සඳහා වන ජනතාවගේ කාර්යභාරයයි. 

කුමන ආගමට, කුමන ධර්මයට, කුමන සදාචාරයට අනුව සළකා බැලුවත් වස විෂ භාවිතය මහා පාපකර්මයකි. එසේත් නොමැතිනම් අපරාධයකි. නිදසුනක්‌ ලෙස බුදු දහමට අනුව වස විෂ නිෂ්පාදනය සහ විකිණීම නොකළ යුතු අධාර්මික ජීවනෝපායකි. මේ බව සියලු දෙනා විසින්ම අවබෝධ කොට ගත යුතුය. මේ පිළිබඳව බොහෝ දෙනා දනිතත් එය අවබෝධයෙන් සිතට කාවද්දාගෙන නැත. මෙතරම් වස විෂ නිෂ්පාදනයේ වෙළඳාමේ සහ භාවිතයේ යෙදෙන්නේ එබැවිණි.

වස විෂ භාවිතය අවශ්‍ය නොවන භෝග

ඉබේ වැවෙන වස විෂ භාවිතය අවශ්‍ය නොවන ආහාර භෝග වැඩි වැඩියෙන් ආහාරයට එක්‌ කර ගත යුතුය. කොස්‌, දෙල්, දේශීය අල වර්ග කර, මැල්ල, තෙබු ආදී ඉබේ වැවෙන පලා වර්ග, මුරුංගා, එළබටු, තිබ්බටු, තුඹකරවිල ආදී එළවළු වර්ග අවර, බෝංචි ආදී දේශීය පියළි වර්ග වෙරළු, නෙල්ලි, ඇඹරැල්ලා, දිවුල්, බෙලි ආදී දේශීය පලතුරු වර්ග හා කරපිංචා ආදී දේශීය කුළුබඩු වර්ග ඒ සඳහා නිදසුන් කීපයකි.

වැවීම සඳහා අධික කෘෂි යෙදවුම් ප්‍රමාණයක්‌ අවශ්‍ය නොවන බෝග 

සුවඳැල්, හීනැටි, මඩතවාළු වැනි දේශීය සම්ප්‍රදායික වී වර්ග, කොල්ලු වැනි පියළි වර්ග, කතුරුමුරුංගා වැනි පලා වර්ග, දඹල වැනි එළවළු වර්ග, මඤ්ඤොක්‌කා, බතල ආදී අල වර්ග, කුරුඳු වැනි කුළුබඩු වර්ග ඉන් කීපයකි. පාරිභෝගිකයන්ට ද ආහාර ද්‍රව්‍ය තෝරාගැනීමේදී මෙවැනි දෑවලට මුල් තැන ලබා දිය හැකිය.

අධික කෘෂි රසායනික ප්‍රමාණයක්‌ යෙදීමට අවශ්‍ය වන බෝග තෝරාගෙන ඒවා වැවීමෙන්ද පරිභෝජනයෙන්ද වැළකී සිටිය යුතුය. ගෙඩි ගෝවා ඒ සඳහා හොඳම නිදසුන වන්නේ ඉසින ලද කෘමිනාශකද ගෝවා ගෙඩියේ ඇකිලෙන ස්‌වභාවය නිසා එහි ගබඩා වන බැවිණි. එසේම ගෙඩි ගෝවා ඉතාම මාංෂල නිසා පලිබෝධ හානියද ඉතාම ඉහළය.

වාණිජ බෝග වගාවට වඩා යෑපුම් බෝග වගාව උසස්‌ කොට සැළකීම

අප රටේ මෑතක්‌ වන තුරුම පැවතුනේ වස විෂ භාවිතා නොකරන යෑපුම් කෘෂිකර්මයයි. තමාද යෑපෙන්නේ තමා නිෂ්පාදනය කරන දෙයම පරිභෝජනය කිරීමෙන් නිසා යෑපුම් ගොවිතැනේදී වස විෂ භාවිතය අවමය. විකුණන්නේ අතිරික්‌තය පමණි. නමුත් වාණිජ භෝග වගාවේ මුඛ්‍ය පරමාර්ථය වැඩි ලාභය වන බැවින්ද ඒ සඳහා මහා පරිමානයෙන් වගා කරන බැවින්ද වස විෂ භාවිතය උපරිමය.

මෑතක්‌ වන තුරුම අප රටේ සාතිශය බහුතරය ගොවීන්ගේ ජීවනෝපාය වූයේ මෙම යෑපුම් කෘෂිකර්මාන්තයය. එවිට සමාජයේ පාරිභෝගිකයන් අවම වන බැවින් වෙළඳපොල වස විෂ වලින් පිරී යාමේ අවදානම ඇති වන්නේද නැත. 

ගෙවතු වගාවට මුල් තැන දෙමින් තම බත්පතේ කුමන හෝ පංගුවක්‌ ගෙවත්තෙන් ලබාගන්නා තත්ත්වයට සෑම දෙනාම පත් විය යුතුය. ගෙවත්තේ වගාකරගන්නා එළවළු, පලතුරු, පලා ආදියේ වස විෂ අඩංගු නොවනවා පමණක්‌ නොව අනෙක්‌ ආහාරවල ඇති විෂ හරණය කිරීමේ හැකියාවන්ද ඒවා සතුය.

වස විෂ ආහාර ගැනීම ගැන දවස අවසානයේ සමාලෝචනය 

අද මා වස විෂෙන් බේරෙන්නට කළේ කුමක්‌ද? ඊට වඩා දෙයක්‌ හෙට කළ නොහැකිද? අන් අය වස විෂෙන් බේරාගන්නට අද මා කළේ කුමක්‌ද? ආදී ප්‍රශ්න දවස අවසානයේ තමාගෙන්ම ඇසිය හැකිය. මහජනතාවට වස කවන පොවන අයටද මා මෙසේ වස කවා පොවා කොපමණ පාපකර්මයක්‌ කරගත්තා දැයි තමාගෙන්ම විමසිය හැකිය. 

වස විෂ ඇතැයි සැක කළයුතු ආහාර නොවැළැක්‌විය හැකි හේතු නිසා ආහාරයට ගැනීමේදී ඉතා තදින් සේදීම, පොඟවා සෝදා හැරීම, දුවන ජලයේ ගිල්වා තැබීම, තම්බා දිය හැර ඉවීම, දින කීපයක්‌ ගබඩාකර තබා පිසීම ආදිය කළ හැකිය.

වස විෂ විරෝධී ක්‍රියාකාරකම් වල යෙදීම 

සෞඛ්‍ය ක්‌ෂේත්‍රයේ, කෘෂිකර්ම ක්‌ෂේත්‍රයේ, රසායනාගාර ක්‌ෂේත්‍රයේ, ප්‍රමිති ක්‌ෂේත්‍රයේ, සහ පාරිභෝගික කටයුතු ක්‌ෂේත්‍රවල වැඩ කරන සමාගම්වලට නොවිකුණුනු පුද්ගලයන්ට සහ සංවිධානවලට මෙහිදී විශාල කාර්යභාරයක්‌ කළ හැකිය. 

වස විෂ වෙළඳාම් කරන සමාගම් විසින් ජන මනස සකසා තිබෙන්නේ තමාට අවශ්‍ය නැති දේවල් සියල්ලම විනාශ කරන්නටය. ඊටත් වඩා සුන්නද්දූලි කරන්නටය. ඔවුන් කථාකරන්නේ කෘමීන් සහමුලින්ම විනාශ කරන්නටය. වල්පැල චටාස්‌ පටාස්‌ ගා ක්‌ෂණිකව විනාශ කරන්නටය. විෂබීජ යළි කවදාවත් නැගිටින්නට බැරි ලෙස විනාශ කරන්නටය. හිතන්නටවත් බැරි තරම් භයානක විෂබීජ සබන් වර්ග පාවිච්චියෙන් යෝගට්‌ වර්ග කෑමෙන් විනාශවී සුන්නද්දූලි වී යන ආකාරය පෙන්වන්නේ මෙම විනාශකාරී මනෝභාවය පෝෂණය කිරීමටය. කෘමීන්, වල්පැළ හෝ විෂබීජ කිසිදාක විනාශ කර අවසන් කළ නොහැකිය. අප ප්‍රමුඛස්‌ථානය දිය යුත්තේ ඒවා විනාශ කරන්නට නොව ඒවා සමග සහජීවනයෙන් අපේ කටයුතු පවත්වා ගන්නටය. දරුණු වස විෂෙන් ඒවා විනාශ කරන්නට යැමෙන් සිදුවන්නේ පරිසර සමතුලිතතාවය පවත්වාගන්නා හිතකර ජීවීන්ද විනාශ වී යාමයි. විෂබීජවලින් බේරීමට කළ යුත්තේ මිනිසාගේ ප්‍රතිශක්‌තිය ඔප්නංවාගැනීම මිස දරුණු වස විෂෙන් සියල්ලම විනාශ කිරීම නොවේ. 

වස විෂ භාවිතය වැඩි කරන ආහාරයට ගත නොහැකි පරිසර විරෝධී විසිතුරු ශාක වැවිමෙන් වැළකීම තවත් එකකි.

අද පෙර කල මෙන් බොහෝ දෙනාට ගෙවත්තෙන් නිසි ප්‍රයෝජන ලබා ගත නොහැක්‌කේ මෙම පරිසර ඝාතක ශාක වලින් නිකුත් කරන මයිටාවන්, දිලීර, බැක්‌ටීරියා, වෛරස්‌ සහ විෂවර්ග නිසාය. මෙම විසිතුරු පැලෑටි සියල්ලම පාහේ දරුණු ගණයෙ ආක්‍රමණශීලී ශාක වෙයි .

ඒක බෝග වගාව නොව බහු බෝග වගාව උසස්‌ කොට සැළකිය යුතුය. බටහිර ජාතීන් අප රටට වාණිජ ඒක භෝග වගාවන් හඳුන්වාදෙන්නට පෙර අප රටේ පැවතුනේ බහු බෝග වගාවයි. සදාහරිත වනාන්තරයක ආකෘතියට සකස්‌ වුණු උඩරට ගෙවත්ත ඒ සඳහා හොඳම නිදසුනයි. බහු භෝග වගාව පරිසර හිතකාමී වන අතර භෝග අතර සහජීවනයට මුල් තැන දෙන එහිදී විෂ රසායනික අවශ්‍ය වන්නේ නැත. සෝදාපාලුවක්‌ නොවන නිසා රසායනික පොහොර අවශ්‍ය වන්නේද නැත. 

ගොවිතැනේ හරය මතුකිරීම

ගොවිතැනේ වාණිජ වටිනාකම පමණක්‌ උලුප්පා දැක්‌වීමෙන් වැළකී ගොවිතැන උතුම් පරිසර හිතකාමී ජීවනෝපායක්‌ බවට ඔසවා තැබිය යුතුය. ගොවිතැනෙහි සෞඛ්‍ය ප්‍රවර්ධනාත්මක වටිනාකමද එයින් නොමිලේම ව්‍යායාම ලැබෙන බවද ගොවිතැන විවේකය ගතකිරීම සඳහා හොඳම විනෝදාංශයක්‌ ලෙසද ඔසවා තැබිය යුතුය. එසේම චිරාත් කාලයක සිට පැවතගෙන එන ගොවිතැනේ සංස්‌කෘතික වටිනාකම යළි නැංවිය යුතුය. ගොවිතැන එවන් උසස්‌ අධ්‍යාත්මික වටිනාකම් සහිත දෙයක්‌ බවට ඔසවා තැබූ විට වස විෂ භාවිතයෙන් එහි වටිනාකම බාලකරගන්නට ගොවියන් නොපෙළඹෙනු ඇත. 

වස විෂවලින් තොරව ධාර්මික ගොවිතැනේ නිෂ්පාදනයේ සහ වෙළදාමේ යෙදෙන අය තෝරා ඉහළින්ම අගය කළ යුතුය. ඔවුන් සමාජයේ උසස්‌ වැදගත් පුද්ගලයන් සේ ඔසවා තැබිය යුතුය. සැබවින්ම නායකත්වයට සුදුසු වන්නේද එවන් පරිසර හිතකාමී සමාජ හිතකාමී පුද්ගලයන්ය. 2014 වසරේදී මෙවන් ක්‍රියාකාරකම් තුළින් වස විෂෙන් මිදී දීර්ඝායු ලබන්නට සමාජයක්‌ ලෙස එක්‌විය යුතුය.

වෛද්‍ය පාලිත සමන් ජයකොඩි
http://www.divaina.com/2014/01/05/feature07.html

Pic Source

0 comments: