Pages

Tuesday, July 2, 2013

13 අහෝසි කළොත් ආණ්‌ඩුවෙන් යනවා - වාසු

දහතුන්වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කරන්නේ නම් තමා තවදුරටත් ආණ්‌ඩුව තුළ රැඳී සිටින්නේ නැතැයි ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්‌කාර මහතා ඊයේ (01 වැනිදා) පැවසීය.

13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කරන ලෙස පාර්ලිමේන්තුවේ සිට කතා කරන අයද මේ රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ආරක්‍ෂා කරන බවට පොරොන්දු වී පැමිණි පිරිසක්‌ බව මතක තබාගත යුතු යෑයි ඇමැතිවරයා කියා සිටියේ ඊයේ (01 වැනිදා) සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

"මම මේ ආණ්‌ඩුවේ රැඳී සිටින්නේ අධිරාජ්‍යවාදී විරෝධී පිළිවෙතක සිට රට පාලනය කරන නිසයි. ඒත් ප්‍රජාතන්ත්‍රවාදී විදියට නම් මේ ආණ්‌ඩුව හැසිරෙන විදිය මදියි.

මේ ආණ්‌ඩුවට 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් ඇතිකර තිබෙන පළාත් සභා අහෝසි කිරීමට හෝ සංශෝධනය කිරීමට තවම අදහසක්‌ නැහැ. පළාත් දෙකක්‌ ඒකාබද්ධවීම අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය කියා තිබෙනවා. ඒකට අපිත් එකඟයි. පළාත් සභාවල පොලිස්‌, ඉඩම් බලතල තිබීම මධ්‍යම රජයට ගැටලුවක්‌ වන්නේ නැහැ. පළාත් සභාවල යම් විෂයක්‌ සංශෝධනය කිරීමට සියලුම පළාත් සභාවල එකඟතාව ලබාගත යුතුය යන අදහස වෙනුවට පළාත් සභා බහුතරයක එකඟතාව ලබාගත යුතුය යන සංශෝධනයට අපිත් එකඟ වෙනවා.

පළාත් සභා අහෝසි කරන්න මේ ආණ්‌ඩුව කටයුතු කරන්නේ නැහැ. ඒ බව දන්න නිසයි මම කිව්වේ අහෝසි කරනවා නම් මම ඉන්නේ නැහැ කියලා. මේ ආණ්‌ඩුව නොවේ වෙනත් ආණ්‌ඩුවකවත් පළාත් සභා අහෝසි කරනවා නම් මම ඒ ආණ්‌ඩුවෙත් ඉන්නේ නැහැ."

චමින්ද සිල්වා
http://www.divaina.com/2013/07/02/news02.html

0 comments: