Pages

Thursday, June 6, 2013

'13 පළමු වාදය අවසන්, දැන් දෙවන වාදය. අපි සූදානම්' – විමල්

පළාත් කිහිපයක් එකට ඒකාබද්ධ වීමට ඇති හැකියාව, පාර්ලිමේන්තු පනත් කෙටුම්පත් පළාත් සභාවන්හි අනුමැතියට යැවීමේදී ඇති වන ගැටළුකාරී තත්ත්වය පමණක් නොව ඉඩම්, පොලිස් බලතල ඇතුළු මෙරට ඒකීයභාවයට අහිතකර සියලූ කරුණු ආවරණය වන සේ 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය, සංශෝධනයට ලක් විය යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ බත්තරමුල්ලේ පිහිටි පක්‍ෂ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

13 වන සංශෝදනය යලි සංශෝධනය කල යුතු බව රජය පිළිගෙන ඇති බවත් දැන් ඉතිරිව ඇත්තේ සංශෝධනයට ලක් වන්නේ කොපමණ ප‍්‍රමාණයක්ද යන්න පමණක් බවත් ඔහු සඳහන් කලේය. ඒ අනුව 13 වෙනස් කල යුතුද නැද්ද යන පළමු වාදය දැන් අවසන්ව ඇති බවත් දැන් ඇත්තේ කොපමණ ප‍්‍රමාණයක් වෙනස් කල යුතුද යන දෙවන වාදය බවත් කී වීරවංශ මහතා මෙසේද කීවේය.

‘මෙම මාධ්‍ය හමුව කැඳවූයේ 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව පැන නැගී ඇති නව තත්ත්වය පිළිබඳව අප පක්‍ෂයේ ස්ථාවරය දැනුම් දීමටයි. ඔබ දන්නවා අපි මෙවර මැයි දිනය යොදා ගත්තේ වෙන කිසිවකටවත් නොවෙයි, උතුරේ ඡුන්දය දැනට පවතින 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සතු බලතල යටතේ පැවැත්වුවහොත් ඉන් නව දෙමළ ඊළාම් සැලසුම සඳහා පාර කැපෙන අන්දම රටට කීමටයි. ඒ අනුව යමින් අපි වෙනම මැයි දින රැුලියක් පැවැත්වූවා. දසදහස් සංඛ්‍යාත ජනතාවකට අපි අපේ මතය කීවා. ඒ වගේම අපි එතැනින් නොනැවතී, ‘නව දෙමළ ඊළාම් මෙහෙයුම සහ උතුරේ ඡුන්දය’ යන මැයෙන් රට පුරා සම්මන්ත‍්‍රණ මාලාවක් දියත් කොට තිබෙනවා. දිවයින පුරා ප‍්‍රධාන නගර ආවරණය වන සේ අපි මේ පිළිබඳව ලියැවුණු පත‍්‍රිකා දශලක්‍ෂයකට ආසන්න ප‍්‍රමාණයක් ජනතාව අතර බෙදා හැර තිබෙනවා. ඒ වගේම අපි ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවගේ අත්සන්වලින් පිරුණු පෙත්සමක් ජූනි 12 වැනිදාට ජනාධිපතිතුමන්ට භාර දීමට අවශ්‍ය කටයුතු මේ දිනවල සිදු කරමින් සිටිනවා. ඔබ සියලූ දෙනා දන්නවා ඒ මහජන පෙත්සමට මේ රටේ කීර්තිමත් භික්‍ෂූන් වහන්සේලා, නගරාධිපතිවරුන් ඇතුළු බොහෝ ප‍්‍රභූන් පිරිසකගේ සහයෝගය ලැබී තිබෙනවා. ‘13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පූර්ණ බලතල සහිතව උතුරේ ඡුන්දය තබන්න එපා’ කියන පණිවිඩය අපි පක්‍ෂයක් විදියට මුළුමහත් රටටම ලබා දෙමින් සිටිනවා.

ඒ සිදු කරන ලද කාර්යයන්ගේ ප‍්‍රතිඵලයක් විදියට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂ නායකයන්ගේ රැුස්වීමක් අතිගරු ජනාධිපතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණා. එම සාකච්ඡුාවේදී ප‍්‍රධාන තීරණ දෙකක් ප‍්‍රකාශයට පත් වුණා. එකක් තමයි, දැනට පවතින 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැමැති මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සඳහා ගෙන එන ලද පනතෙහි තිබෙන ශ‍්‍රී ලංකා ජනරජයේ එ්කීයභාවයට හානියක් වන සමහර අංශ සංශෝධනය කිරීම. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම පිණිස දෙමළ ජාතික සන්ධානයේ සහභාගී වුවත් නැතත් කැඳවීම දෙවන තීරණයයි. මෙතැනදී ජනාධිපතිතුමන් උදාහරණ විදියට 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි තිබෙන ශ‍්‍රී ලංකා ජනරජයේ ඒකීයභාවයට හානිකර ප‍්‍රධාන කරුණු දෙකක් පෙන්වා දුන්නා. එකක් තමයි, පළාත් සභා දෙකක් හෝ කිහිපයක් එකට ඒකාබද්ධ වීමට තිබෙන ඉඩකඩ නිසා ඇති වන ප‍්‍රශ්නය. දෙක තමයි, පාර්ලිමේන්තුව සම්මත කරන පනත්, පළාත් සභාවල අනුමැතියට යැවීමේදී ඇති වන ගැටුම්කාරී වාතාවරණය.

ඒ අතරතුර අපි ප‍්‍රශ්නයක් මතු කළා ඉඩම් හා පොලිස් බලතල පිළිබඳව ගනු ලබන තීරණය පිළිබඳව. එතැනදී ජී. ඇල්. පීරිස් අමාත්‍යතුමා පැහැදිලි කළා, 17 වැනි සහ 18 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන මගින් ඒ පොලිස් බලතල දැනට භාවිතාවේ නැහැ, ඒවා අවලංගු වී තිබෙනවා කියා. නමුත් එතැනදී අපි පැහැදිලි කළා, වෙනත් කරුණක් අරමුණු කර ගෙන ගෙන එන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තවත් පැත්තක තියෙන කාරණයක් සංශෝධනය වූවා කියලා කිව්වාට අපිට තාක්‍ෂණ වශයෙන් ඒක අපට පිළිගන්න අමාරුයි, ඒක විවාදාත්මකයි කියලා. ඒ වගේම එතැනදී තවත් අදහසක් පළ වුණා, 17 වැනි සහ 18 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන මගින් ජාතික පොලිස් කොමිසමේ ස්වභාවයේ වෙනසක් සිදු වුණාට, පළාත් පොලිස් කොමිෂන් සභා ගැන කිසි සඳහනක් වෙලා නැහැ, ඒවායේ කිසිම සංශෝධනයක් සිදුවෙලා නැහැ කියලා.

එහිදී ජනාධිපතිතුමන් ප‍්‍රකාශ කළා. මේ ගැන යම් යම් මත කිහිපයක් තිබෙන නිසා, (සමහරු කියනවා දැනටමත් මේක සංශෝධනය වෙලා කියලා, සමහරු කියනවා නැහැ කියලා) මේ පිළිබඳව අධිකරණයේ උපදෙස් අරගෙන කටයුතු කරන්න එතුමා බලාපොරොත්තු වෙනවා කියලා. අද සමහර පුවත්පත්වල පළ වී තිබුණා මේ කාරණය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට යොමු කරනවා කියලා. එහෙම දෙයක් සාකච්ඡුා වුණේ නැහැ ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. ජනාධිපතිතුමන්  පැහැදිලිව සඳහන් කළේ ‘අධිකරණයේ උපදෙස් ගන්නවා, මේකෙ මේ දැන් තියෙන ව්‍යවස්ථානුකූලභාවය විමසීමට’, කියලයි. මම හිතන්නේ මේ ගැන එතුමන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා ඇති. දැන් 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තත්ත්වය කුමක්ද? මෙකී බලතල තියෙනවාද, නැද්ද කියලා එතුමාට  ඕනෑම අවස්ථාවක අධිකරණයෙන් විමසීමට හැකියාව තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය දෙනු ලබන අදහසට අනුව තමයි අවශ්‍ය පියවර ගන්නා බව කීවේ.

ඒ අනුව අපට පෙනෙනවා, ඉතාමත් වැදගත් ප‍්‍රතිභලයක් ලැබී තිබෙනවා. ඒ තමයි ‘13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය’ නැමැති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය පිණිස ගෙන එන ලද පනත සංශෝධනය වීම. ‘13 සංශෝධනය කරනවා’ කියලා කියන්නත් මේ රටේ පාලකයන් බියෙන් සිටියේ.

‘ඉන්දු-ලංකා අවජාතක ගිවිසුම’ මගින් තමයි 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය බිහි වුණේ. ඒ 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජාතකව තමයි පළාත් සභා උපන්නේ. එහෙම ආපු මේ පළාත් සභා ක‍්‍රමයේ, ‘බලතල සංශෝධනය කරනවා’ කියන වචනය කියන්නවත් බය පාලකයන් තමයි මෑත කාලයේ මේ රට පාලනය කළේ. ඒක ඉතාම භයානක ක‍්‍රියාවක් ලෙස තමයි ඔවුන් කල්පනා කළේ

පළමු කොටම, ජනාධිපතිතුමන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්‍ෂ නායක     රැස්වීමේදී උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙන මේ රටේ ඒකීයභාවයට අහිතකර වගන්ති සංශෝධනය කරන බව පැවසුවා. අප විශ්වාස කරන්නේ එය ඉතා වැදගත් ඉදිරි ජයග‍්‍රහණයක් ලෙසයි.

ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා, රටේ ඒකීයභාවයට දරුණු තර්ජනයක් වන 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ පවතින පළාත් කිහිපයක් එකට ඒකාබද්ධ කිරීමේ හැකියාව අහෝසි කරනවා වගේම, මධ්‍යම ආණ්ඩුව විසින් ගෙන එනු ලබන පළාත් සභාවලට අදාළ කාරණා පිළිබඳව පනත් කෙටුම්පත්වලට පළාත් සභා සියල්ලෙහිම අනුමැතිය ලබා ගැනීම අහෝසි කරනවා වගේම ඉඩම් බලතල, පොලිස් බලතල ඇතුළු ඒකීයභාවයට අහිතකර වෙනත් වගන්ති තියෙනවා නම් ඒ සියල්ල එකට සංශෝධනය කරයි කියලා. ඒ සියල්ල එකට සංශෝධනය වුණොත් තමයි, 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒකීයභාවයට තිබෙන තර්ජනය අවම කරන්න පුළුවන් වෙන්නේ.

බෙදුම්වාදී බලතල සහිතව උතුරේ ඡුන්දය පැවැත්වුහොත් දෙමළ ජාතික සන්ධානය ඉන් ජය ලබා ඒ බෙදුම්වාදී බලතල උපරිම වශයෙන් භුක්ති විඳීමට පටන් ගන්නවා. ඔවුන් එතැනින් නතර වෙන්නේ නැහැ. නැෙ`ගනහිර පළාත් සභාව තුළ මුස්ලිම් කොංග‍්‍රසය සමග එකතු වී හවුල් පාලනයක් හදා ගන්නවා. එතැනත් පොලිස් බලතල, ඉඩම් බලතල සියතට ගන්නවා. පළාත් දෙකම එකට ඒකාබද්ධ වී හෝ තනි තනිව හෝ මේ බෙදුම්වාදයට පාර කපන බලතල භාවිතා කරන්න පටන් ගන්නවා.

ඒ වගේම මෙරට බෙදුම්වාදයට උඩගෙඩි දෙන බටහිර අධිරාජ්‍යවාදය සමග එක්ව ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී වත්මන් ආණ්ඩුවේ ජන පදනම බිඳ දැමීමට මේ ජාතිවාදී, බෙදුම්වාදී බලවේග කටයුතු කරනවා. බෞද්ධ-කිතුණු ගැටුමක් මගින් කිතුණු ජනතාව ආණ්ඩුවෙන් ඈත් කිරීමට සැලසුම් හදනවා. විධායක ජනාධිපති ක‍්‍රමයට එරෙහි පොදු අපේක්‍ෂක එන්නෙත් ආණ්ඩුවේ ඡුන්ද කැඞීමට. උග‍්‍ර සිංහල බෞද්ධ බලවේගයන් මගින් උත්සාහ කරන්නෙත්, සිංහල-මුස්ලිම් ගැටුම් අවුළවන්නෙත් ආණ්ඩුවට තිබෙන ජන පදනම බිඳ වැට්ටවීමටයි.

මේ සියල්ල හරහා මේ ජාතිවාදී බෙදුම්වාදී බලවේග බලාපොරොත්තු වෙන්නේ මේ රටේ දෙමළ ජාතික සන්ධානයට නැටවිය හැකි දුර්වල අණ්ඩුවක් සෑදීමටයි. එවිට 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ බලතලවලට එහා ගිය බලතල ඉල්ලා කේවල් කිරීමේ බලයක් මෙරට පාර්ලිමේන්තුව තුළ දෙමළ ජාතික සන්ධානයට ලැබෙනවා. ‘පාර්ලිමේන්තුව ශක්තිමත් කණුවක් නම් පළාත් සභා යනු එහි බැඳ ඇති හරකෙකි. මේ හරකාට තණ කෑමට හැක්කේ ලණුව දිග ඇති ප‍්‍රමාණයටයි’ කියලා කියනවා. කණුව ශක්තිමත් නම් හරකාට කළ හැකි දෙයක් නැහැ. නමුත් පාර්ලිමේන්තුව කියන කණුව මඬේ හිටවපු ඉන්නක් නම් හරකාට ඉන්න ගලවාගෙන දුවන්න පුළුවන්. මේ දේ කරන්නයි මේ ජාතිවාදී බෙදුම්වාදී බලවේගයට අවශ්‍යව ඇත්තේ. මේක තමයි නව දෙමළ ඊළාම් මෙහෙයුම.

මේ මෙහෙයුම සම්පූර්ණයෙන්ම වටහා ගෙන ඉන්න නිසා තමයි, ජාතික නිදහස් පෙරමුණ අන් කාටත් ප‍්‍රථමයෙන් පළාත් සභා ක‍්‍රමය, විශේෂයෙන් එහි බෙදුම්වාදයට උඩගෙඩි දෙන බලතල අහෝසි කළ යුතුයි කියන ස්ථාවරයේ ඉන්නේ. අපි ඉතා  ඕනෑකමින් කියනවා, ‘පළාත් දෙකක් හෝ කිහිපයක් ඒකාබද්ධ වීමට තිබෙන හැකියාව, පාර්ලිමේන්තුව සම්මත කරන පළාත් සභාවලට අදාළව කාරණා පිළිබඳ පනත් කෙටුම්පත් සඳහා සියලූ පළාත් සභාවල අනුමැතිය ලබා ගැනීමේ අවශ්‍යතාව අහෝසි කරනවා වගේම ඉඩම් හා පොලිස් බලතල ඇතුළු ඒකීයභාවයට අහිතකර සියලූ කරුණු ආවරණය වන ආකාරයට මෙම ව්‍යවස්ථා සංශෝධනය විය යුතුයි’ කියලා. අපි හිතනවා ඒ විදියට සිදු වේවි කියලා. එසේ සිදුවන බව අපට සහතික වන තෙක් අප දැනට තෝරලා තියෙන සියලූ ක‍්‍රියාමාර්ග ඉදිරියට ගෙන යනවා.

අපි බලාපොරොත්තු වෙනවා 12 වැනිදා වන විට අපේ මහජන පෙත්සම දැවැන්ත ජන ගංගාවක් සමගින් ගොස් ජනාධිපතිතුමන්ට භාර දෙන්න. ඉහත කී කාරණා දෙකට පමණක් සීමා නොවී ඒකීයභාවයට ප‍්‍රබල තර්ජනයක් වන කරුණු ආවරණය වන සේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය, සංශෝධනයට ලක් කෙරෙන බව අපට තහවුරු වන තෙක් අපි අපේ සියලූ ක‍්‍රියාමාර්ග ඉදිරියට ගෙන යනවා’’

June 6, 2013 at 4:02 am | lanka C news

0 comments: