Pages

Tuesday, June 4, 2013

දෙමළ පත්තර දෙමළ ජනතාවගේ ඔළුවලට පුරවන්නේ ඒ ජාතිවාදී, බෙදුම්වාදී මතවාද. දෙජාස ඊලාම් සටන වෙන ආකාරයට ගෙනයනබව පවසා තිබෙනවා. - වීරවංශ

‘‘ඉඩම්, පොලිස් බලතල සහිතව උතුරේ ඡන්ද එපා..’’ යන ඉල්ලීම රැගත් මහජන පෙත්සම් පෙළපාලිය අද පුංචි දිය පහරක් ලෙස කැලණිය පඤ්ඤානන්ද ධර්මායතනයෙන් ගමන් ඇරඹුවත් රටපුරා ලක්‍ෂ සංඛ්‍යාත ජනකායකගේ අත්සන් ලබාගෙන 12 වැනිදාට කොළඹට එන්නේ මහා ජන ගංගාවක් ලෙස බව ජාතික නිදහස් පෙරමුණේ නායක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

ඊයේ (02) කැලණිය පඤ්ඤානන්ද ධර්මායතනයේදී පැවැති ජානිපෙ දසදින මහජන පෙත්සම අත්සන කිරීමේ ජාතික වැඩපිළිවෙළේ සමාරම්භක උත්සවයේදී අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මෙසේ අවධාරණය කළේය.

එහිදී අදහස් දැක්වූ විමල්  වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘‘දේශපේ‍්‍රමී භික්‍ෂු පෙරමුණේ සභාපති, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් වැඩ සිටින මේ ජය භූමියෙන් අපි අද අරඹන්නේ මේ මාතෘභූමියේ අනාගතය වෙනුවෙන් අත්නොහැර ඉටු කළ යුතු ව්‍යාපෘතියක්. එදා යුද්ධය ජයගන්න බැහැ කියලා මත වපුරලා තිබුණු කාලයේ, කොටි ත‍්‍රස්තවාදීන් සමග සාකච්ඡුා කිරීමෙන් පමණයි රටට සෙතක් වන්නේ කියන මතය වපුරලා තිබුණු කාලයේ, මේ විහාරස්ථානය වටා පෙළගැසුණු මේ රටේ දේශමාමක, ජාතිකවාදී බලවේග උඩුගම් බලා පිහිනුවා. එහෙම උඩුගම් බලා පීනලා එසේ පිහිනා දිනන්න පුළුවන් කියලා ඔප්පු කළා.

තමුන්නාන්සේලා දන්නවා අපේ රණවිරුවෝ ලෝකයෙ  ඕනෑම යුද්ධයකට වඩා කැපවීම් කරලයි මේ සටන දිනුවේ. කොටි සංවිධානයේ බලවත් අවි බලය, වෙඩි බලය, සුවිශේෂ කැපකිරීම් යනාදිය මගින් හිරිවට්ටලා තිබුණු ආරක්‍ෂක හමුදා මානසිකත්වය, ධෛර්යය සම්පන්න කරලා ජීවය දීලා, අතිගරු ජනාධිපතිතුමන්ගේ නායකත්වය ඊට ලැබිලා මේ රට සාමය දිනාගත්තු රාජ්‍යයක් බවට පත් වුණා. නමුත් තමුන්නාන්සේලා දන්නවා එදා පරාජයට පත් වුණේ බෙදුම්වාදී මතවාදය කරපින්නා ගත්තු සන්නද්ධ බලකාය පමණයි. නමුත් බෙදුම්වාදී මතවාදය දරපු දේශපාලන බලවේග පරාජයට පත් වුණේ නැහැ.

පසුගිය දා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වන මාවෙයි සේනාධිරාජා විසින් මාධ්‍ය හමුවකදී සිදු කළ ප‍්‍රකාශයක් වීරකේසරී පුවත්පතේ මුල් පිටුවේ පළ වුණා. එහිදී මාවෙයි සේනාධිරාජා ‘කොටි සංවිධානය ගෙන ගිය සටන නිවැරදියි, සාධාරණයි. ඒක යුදමය වශයෙන් පරාජයට පත් වුණා. ඒකට හේතු වුණේ කොටි සංවිධානයේ යම් යම් රාජතාන්ත‍්‍රික දුර්වලකම්. ඒ මොනවා වුණත් අපි ඒ සටනට පක්‍ෂපාතියි. අද කොටි සංවිධානය නැතත් අපි ඒ සටන ඉදිරියට ගෙන යනවා සාමකාමීව. උතුරේ දෙමළ සහ මුස්ලිම් ජනතාව සතු ඉඩම් අද ශ‍්‍රී ලංකා රජයේ හමුදා චීනයේ සහාය ඇතිව කොල්ලකනවා. මේකට එරෙහිව අපි සාමකාමීව සටනක් ඇරඹිය යුතුයි’ කියලා දෙමළ ජනතාවට ආරාධනා කරලා තිබුණා.

එදා ඇන්ටන් බාලසිංහම්ලා, ලන්ඩනයට වෙලා පතුරපු මතවාදයට අනුකූලව පණ පෙවුණු වෙඩි හඩ පමණයි අද නැත්තේ. ඒ මතවාදය තවමත් තිබෙනවා. දෙමළ පත්තර ටික බැලූවොත් පැහැදිලි වෙනවා, දිනපතා මේ රටේ අහිංසක දෙමළ ජනතාවගේ ඔළුවලට පුරවන්නේ ඒ ජාතිවාදී, බෙදුම්වාදී මතවාදය පමණක් බව. මේ බෙදුම්වාදී ජාතිවාදී බලවේගය එදා අවි ආයුධ බලයෙන් අත්පත් කර ගන්න හදපු ජයග‍්‍රහණය, නැවත වෙනත් ආකාරයකින් අත්පත් කර ගැනීමේ මෙහෙයුමක් අද ආරම්භ වී තිබෙනවා. අපි ඒකට කියන්නේ නව ඊළාම් මෙහෙයුම.

මේ බලවේගය නව ඊළාම් මෙහෙයුම පටන් ගන්න හදන්නේ උතුරු පළාත් සභා මැතිවරණයෙන් උතුරු පළාත් සභාවේ බලය තමන් අතට ගැනීමෙන්. එදා කොටි සංවිධානයේ නායකත්වයෙන් තිබුණු නීති විරෝධී පාලන බලය ඉල්ලීම් දිනා ගැනීමේ මාධ්‍ය බවට පත් කර ගත්තා වගේ මේ බෙදුම්වාදී බලවේගය, උතුරු පළාත් සභාව පළමුව තමන් අතට අරගෙන, 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සභාවලට දීපු සම්පූර්ණ බලයම පාවිච්චි කරන පළමු පළාත් සභාව බවට ඒක පත් කරනවා.

ඒ කියන්නේ මේ බෙදුම්වාදී බලවේගය යටතේ පොලීසියක් වෙනම හැදෙනවා, ඉඩම් බලය වෙනුවෙන් වෙනම ප‍්‍රඥප්ති හැදෙනවා, පරිසර ප‍්‍රඥප්ති හැදෙනවා. වෙන වෙනම ප‍්‍රඥප්ති විදියට නීති හදමින් මධ්‍යම ආණ්ඩුවේ නීතියෙන් ගැලවෙන වැඩපිළිවෙළ පටන් ගන්නවා. 13 වැනි සංශෝධනය අනුව, පළාත් සභා කෙරෙහි බලපාන පනතක් මධ්‍යම ආණ්ඩුව ගෙන එනවා නම් ඒ පනත යවන්න  ඕනෙ පළාත් සභාවල අනුමැතියට. ඒත් පළාත් සභා ගෙන එනවා නම් ප‍්‍රඥප්ති ඒවා පාර්ලිමේන්තුවේ අනුමැතියට එවන්නේ නැහැ. මධ්‍යම ආණ්ඩුව ගෙන එන පනත් කෙටුම්පතකට එරෙහිව අධිකරණය හමුවට යන්න පුරවැසියකුට පුළුවන් එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නම්. හැබැයි පළාත් සභාවක් ගෙන එන ප‍්‍රඥප්තියකට එරෙහිව පුරවැසියකුට අධිකරණයට යාමේ අයිතිවාසිකමවත් දීලා නැහැ. එතැන උඩින් පහළට පෙන්නවා. හැබැයි පහළින් උඩට පෙන්වන්නේ නැහැ.

ඒ විදියට තමයි වයඹ පළාත් සභාව පරිසර ප‍්‍රඥප්තිය හැදුවේ. අද වයඹ පළාත තුළ මධ්‍යම පරිසර අධිකාරි පනත කි‍්‍රයාත්මක වන්නේ නැහැ. හේතුව තමයි වයඹ පළාත් සභාව එතැන ඔවුන්ගේම නීතියක් හදා ගැනීම. මේ තත්ත්වය වයඹ, පරිසර ප‍්‍රඥප්තියෙන් නතර වුණාම, ඒක උතුරේදී එතැනින් නතර වෙන්නේ නැහැ. උතුරු පළාත් සභාව බෙදුම්වාදීන්ගේ අතට ගිය මොහොතේ පටන් වෙන වෙන ප‍්‍රඥප්ති හදන්න පටන් ගන්නවා. වෙනම පොලීසි පිහිටුවනවා. ඉඩම් බලය තමන්ගේ අතට අරගෙන දැනටත් බිංදුවට බස්සලා තිබෙන සිංහල, මුස්ලිම් ජනතාව එළවන්න එම බලය යොදා ගන්නවා. මේ දේශපාලන බලය මුලින් ගන්නවා දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී දේශපාලන බලවේග අතට. ඊළගට හමුදා කඳවුරුවලට ඉවත් වෙන්න, කියන බලපෑම එන්නේ පළාත් සභාවේ සම්මත වන යෝජනා හරහා. ඊට පස්සේ පළාත් සභාවේ සම්මත වන යෝජනා සමග ගොඩනැෙගන මහජන විරෝධතා එනවා. ඊට පසුව පළාත් සභාවේ ඉඩම් ප‍්‍රඥප්තිය පාවිච්චි කරලා හමුදා කඳවුරු ඉවත් කිරීමේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේ දෙමළ ජාතිවාදී, බෙදුම්වාදීන් තමන්ගේ ඊළග ඉලක්කයට යන්නේ උතුරු පළාත් සභාව නැමැති මේ තමන්ගේ ව්‍යවස්ථානුකූල බලකොටුව පාවිච්චි කරලයි.

එතැනින් නතර වෙන්නේ නැහැ. නැෙගනහිර පළාතත් මේකට ඈඳා ගන්නවා. වීරකේසරී පුවත්පතේ පළ වූ මා ඉහත කියූ ප‍්‍රකාශය මාවෙයි සේනාධිරාජා මහත්තයා සිදුකර දින 02ක් ගත වන කොට, මුස්ලිම් කොංග‍්‍රස් මහ ලේකම් හසන් අලී මහතා කියනවා, ‘මුස්ලිම් – දෙමළ ජනතාවගේ ඉඩම් හමුදාව කොල්ල කනවා ඊට එරෙහිව අපි සාමූහිකව නැගී සිටිය යුතුයි’ කියලා. දැන් අපට වැඬේ තේරෙනවා, එහෙන් එක අත්පුඩියක් ගහනකොට මෙහෙන් එක අත්පුඩියක් ගහනවා. මේ දෙගොල්ලො දැන් උත්සාහ ගන්නේ දෙමළ ජාතික සන්ධානයේ සහ මුස්ලිම් කොංග‍්‍රසයේ හවුල් පාලනයක් නැෙගනහිර පළාත් සභාව තුළ හදන්න. ඒකට නැෙගනහිර මුස්ලිම් ජනතාව අකමැති හින්දා ඒ මුස්ලිම් ජනතාව කැමති කර ගන්න තමයි, සිංහල – මුස්ලිම් ගැටුම් වර්ධනය කිරීමේ ප‍්‍රවණතාව පසුගිය කාලයේ මතු වුණේ. ඒ අනුව පැහැදිලියි, මේ මාවෙයි සේනාධිරාජලා, හසන් අලීලා උත්සාහ ගන්නේ නැෙගනහිර පළාත් සභාවේ හවුල් පාලනයක් හදලා ඒකත් උතුරට ඈඳෙන්න, ඒ වගේම නැගෙනහිරත් පොලිස් බලතල, ඉඩම් බලතල පාවිච්චි කරලා සිංහල ජනතාවට එරෙහිව කටයුතු කරන්න.

මේ මෙහෙයුම මෙරට බෙදුම්වාදයට උඩගෙඩි දෙන බටහිර අධිරාජ්‍යවාදයේ පූර්ණ ආශිර්වාදය සමග ඉදිරියට යන එකක්, ඒ නිසා මේක මෙතැනින් නතර වන්නේ නැහැ. ඊළග ජනාධිපතිවරණය එළඹෙන විට සිංහල බෞද්ධ ඡන්ද කඩන්න උග‍්‍ර සිංහල බෞද්ධ ව්‍යාපාරයක් වෙනම හදනවා. ඒකෙන් සිංහල බෞද්ධ ඡන්ද ටිකක් කඩනවා. ඊට පසුව විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ පොදු අපේක්‍ෂකයෙක් දානවා. එයාගෙන් සිංහල ඡන්ද තව ටිකක් කඩනවා. මේ අතරතුර කාලයේ කිතුණු-බෞද්ධ ගැටුමක් හදන්න ඉඩකඩ තියෙනවා. එහෙම කරලා කිතුණු ඡන්දත් ආණ්ඩු විරෝධී තැනකට තල්ලූ කරන්න බලනවා. සිංහල මුස්ලිම් ගැටුමේ දී ආණ්ඩුව සිංහල පාර්ශ්වයේ පැත්ත ගත්තා කියන මතය මුස්ලිම් පාර්ශ්වය අතරට ගෙනගිහිල්ලා මුස්ලිම් ජනතාව ආණ්ඩු විරෝධී තැනකට තල්ලූ කිරීමත් ඔවුන්ගේ සැලසුමක්.

මේ විදියට හැම ඡුන්දයක්ම ආණ්ඩු විරෝධීව මෙහෙයවලා මේ බටහිර අධිරාජ්‍යවාදය ඇතුළු බෙදුම්වාදී බලවේග උත්සාහ කරන්නේ ඊළගට ලැබෙන පාර්ලිමේන්තු බලය අස්ථාවර එකක් කරන්න හෝ නැතිනම් ආණ්ඩුව එළවලා දාන්න. ඊට පස්සේ මොකා ආවත් දෙමළ ජාතික සන්ධානයට නටවන්න පුළුවන් ආණ්ඩුවක් පාර්ලිමේන්තුව ඇතුලේ හැදීම ඔවුන්ගේ අරමුණයි. ඊට පස්සේ ඒ ආණ්ඩුවට බල කරනවා ‘උතුරු නැෙගනහිරට තව බලතල දෙන්න, 13+ දෙන්න’ කියලා. ඉන් පසුව නොදැනුවත්වම උතුරු නැගනහිර දෙමළ ඊළම ගොඩනැගීම සිදු වෙනවා. මේක තමයි නව දේමළ ඊළාම් මෙහෙයුම. මේක හමුදාවට පරද්දන්න බැහැ. ආරක්‍ෂක හමුදාව පැරැදදුවා අවි ආයුධ තිබුණු දෙමළ ඊළාම්වාදීන්ගේ සටන. නමුත් හමුදාවට පරදවන්න බැහැ, අවි ආයුධ නැතිව මේ දෙමළ ඊළාම් බෙදුම්වාදීන් ගෙන යන සටන. මේ නව ඊළාම් මෙහෙයුම පරදවන්න හමුදාවට බැහැ. ඒක පරදවන්න  ඕනෙ මේ රටේ ජනතාව. ඒක පරදවන්න  ඕනෙ මේ රටේ මහජන බලවේග. ඒක පරදවන්න නායකත්වය දෙන්න  ඕනෙ මහා සංඝරත්නයයි. මේ මහා සියලූ බලවේග එකට එකතු වෙලයි ඒක පරදවන්න  ඕනෙ.

උතුරු පළාත් සභා මැතිවරණය මේ පවතින බලතල යටතේ පැවැත්වුවහොත් පටන් ගන්නේ නව ඊළාම් මෙහෙයුමේ පළමු පියවරයි. මේක වෙන්න දෙන්න බැහැ. අපේ පූජ්‍ය බෙංගමුවේ නාලක හාමුදුරුවෝ යුද්ධය පවතින කාලයේ හමුදා කඳවුරෙන් කඳවුරට ගිහිල්ලා බණ කියලා, ආරක්‍ෂක හමුදා තරුණයන්ට ශක්තිය, ජීවය දුන්නා. ඒ විදියට අපේ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කරමින් හමුදා කඳවුරක් කඳවුරක් පාසා ගියා. එවැනි දැවැන්ත මහජන බලවේගයක ක‍්‍රියාකාරිත්වයේ ප‍්‍රතිඵලයක් තමයි ඒ මහා යුද ජයග‍්‍රහණය. ඒ නිසා එවැනි මහා කැප කිරීමක් කරලා යුද්ධයේ අන්තිම සටනින් බිම් බෝම්බ වළලපු පොළොවේ තමන්ගේ අත්, පා, ජීවිත අහිමිවන බව දැනගෙන ඒවා උඩින් ගිය තරුණයන්ගේ කතාවලින් පිරුණු ඉතිහාසයක් අපට තිබෙන්නේ. ඒ ජීවිත පරිත්‍යාග අපතේ යවන්න අපට බැහැ. ඒ නිසා තමයි, අපි කියන්නේ ‘ජනාධිපතිතුමනි, ආරක්‍ෂක ලේකම්තුමනි, ඔබතුමන්ලා මේ රටේ බැහැයි කියපු වැඩක් කරලා පෙන්නුවා’ කියලා. ආරක්‍ෂක ලේකම්තුමා ත‍්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්‍ෂක බලකාය මේ සියල්ල එකට කළමනාකරණය කළා. ජනාධිපතිතුමන්, බටහිර බලපෑම් එකපිට එක ආවත් එක බලපෑමකටවත් යටත් නොවී යුද්ධයට නායකත්වය දුන්නාත ජීවිත අවදානම භාරගත්තාත විවෘත සිරකාරයෙක් හැටියට ජීවත් වුණාත කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් එන මරණීය තර්ජනයට බය වුණේ නැහැත ඒ නිසා මේ රටට සාමය ආවා.

එදත් හිටියා මේ රටේ දේශපාලනඥයන් කණ්ඩායමක්, ‘බලය බෙදන්න, සාකච්ඡ කරන්න, සටන් විරාම ගිවිසුම් ගහන්න, නමුත් සටන් කරලා දිනන්න බැහැ’ කියපු. ඔවුන්ට තානාපති කාර්යාලවලින් Treatment ලැබෙනවා. ඡුන්දයට පොඩි පොඩි උදව් ලැබෙනවා. අද පැරණි වමේ පක්‍ෂවල මධ්‍යම කාරක සභාවල ඉන්නේ එන්. ජී.  ඕ. කාක්කෝ ටිකක්. ඒ පක්‍ෂ අද මේ පිරිසගේ අත්අඩංගුවට පත්වෙලා ඉවරයි. අද මේ පැරණි වමේ පක්‍ෂවලට ‘සූරියමල් ව්‍යාපාරය’ තිබුණු කාලයේ පැවැතුණු ජාතිකවාදය බිංදු මාත‍්‍රයක්වත් නැහැ. ඒ ‘රතු කොඩිය’ කියුබාවේවත් නැති ජාතියේ රතු කොඩියක්. සම්පූර්ණයෙන්ම න්‍යාය, මූලධර්මවලින් විතරක් පිරුණු පක්‍ෂ බවට ඒවා අද පත් වෙලා. ඒ ගොල්ලො, එදා යුද්ධය පවතිනකොට, ‘යුද්ධ කරන්න එපා, සාකච්ඡ කරන්න, සටන්විරාම ගහන්න, සාමයෙන් මේක බේරන්න’ කියපු අය.

අද මේ නඩයම අනෙක් පැත්තට කියනවා, ‘උතුරේ මැතිවරණය තියන්න, මේ බලතල තිබ්බා කියලා ප‍්‍රශ්නයක් නැහැ. අනෙක් තැන්වල තිබ්බා නම් උතුරේ නොතියා බැහැ’ කියලා. අනෙක් තැන්වල තියන්න කලින්ම තමයි අපි කීවේ, පළාත් සභා අහෝසි කරන්න කියලා. යුද්ධය ජයග‍්‍රහණය කළ විගසම මේක කළා නම් මේ ප‍්‍රශ්නය එන්නේ නැහැ. නමුත් අහෝසි කරන්න බැරි නම්, අඩුම ගානේ බෙදුම්වාදී විෂ දළ ඉවත් කරලා  ඕනේ මේ උතුරේ ඡුන්දය තියන්න.

පැරණි වාමාංශිකයන් සහ යුද්ධයට විරුද්ධ මතය දරපු සාම කාක්කන් හැටියට කටයුතු කරපු දේශපාලනඥයන් ටිකක් ආණ්ඩුවට 2/3 බලය දෙන්නේ නැහැ. අපි මේ මහජන පෙත්සම, දසලක්ෂ ගණන් මහජනයාගේ අත්සන්වලින් පුරවලා ජූනි 12 වැනිදා වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දෙනවා. මේක පුංචි දියපාරක් විදියට පටන්ගත්තාට 12 වැනිදාට මේ පෙත්සම් පෙළපාලිය මහා ජන ගංගාවක් විදියට තමයි කොළඹට එන්නේ. අපි කියන්නේ වෙන කිසිවක් නොවේ, ‘ආණ්ඩුවට 2/3 බලයක් පාර්ලිමේන්තුවේ නැතිනම්, ජනමත විචාරණයක් තියන්න, එමගින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ඉවත් කිරීම හෝ එහි තිබෙන ඉඩම් පොලිස් බලතල ඇතුළු බෙදුම්වාදී බලතල නමැති විෂ දළ ගලවන්න, ඒ දෙකෙන් එකක් හෝ නොකර උතුරේ පළාත් සභා මැතිවරණය තියන්න එපා’’ කියලයි.

මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ ගම්පහ දිස්ත‍්‍රික් නායක, හිටපු සංස්කෘතික කටයුතු අමාත්‍ය පියසිරි විජේනායක, අනුරාධපර දිස්ත‍්‍රික් නායක, සාම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල්, ලක්මව දියණියෝ ජාතික සංවිධායිකා පි‍්‍රයංගා කොතලාවල, ප‍්‍රවීණ රංගන ශිල්පී, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී රොජර් සෙනවිරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

මෙම මහජන පෙත්සමට අත්සන් කිරීමේ කටයුතු දේශපේ‍්‍රමී භික්‍ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මැද සිදු කෙරිණි. ඉන් අනතුරුව මහජන පෙත්සම් රථ පෙළපාලිය කඩවත, යක්කල, පස්යාල, වරකාපොළ, පොල්ගහවෙල යන නගරවලදී ජනතා අත්සන් ලබා ගනිමින්, ජනතා සහයෝගය මැද පිළිගැනීම් සහිතව ඊයේ දිනයේ තම ගමනාන්තය වූ කුරුණෑගල නගරය වෙත පැමිණියේය.

මහජන පෙත්සම් පෙළපාලිය පොල්ගහවෙල නගරයට සපැමිණි අවස්ථාවේදී පොල්ගහවෙල ප‍්‍රාදේශීය සභා සභාපති පී. ඩබ්ලිව්. කේ. ලිවේරා මහතාද මෙම මහජන පෙත්සමට අත්සන් තැබීම සුවිශේෂ සිදුවීමක් විය.

කි‍්‍රිස්තියානි-බෞද්ධ ගැටුමක් … ?
June 4, 2013 at 12:01 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/95103/

0 comments: