Pages

Wednesday, July 3, 2013

13 වැනි ව්‍යවස්‌ථාව සංශෝධනය නොකළහොත් බෙදුම්වාදීන්ට අවශ්‍ය සියල්ල නීත්‍යානුකූලව ලබාගත හැකියි - ගෝමින් දයාශ්‍රී

13 වැනි ව්‍යවස්‌ථාව සංශෝධනය කර එහි විෂ ඉවත් නොකළහොත් අනාගතයේදී බෙදුම්වාදීන්ට අවශ්‍ය සියල්ල ශ්‍රේෂ්ඨාධිකරණය හරහා නීත්‍යනුකූලව ලබාගත හැකි වන බව අධිනීතිඥ ගෝමින් දයාශ්‍රී මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ඉඩම් හා පොලිස්‌ බලතල ඊළාම්වාදීන්ට දීමේ මෙහෙයුම පරදන්නේ කෙසේද යන මැයෙන් ඉඩම්, පොලිස්‌ බලතල ඉවත් කිරීමේ ජාතික ව්‍යාපාරය මගින් පෙරේදා (20 දා) කොළඹ 08 හෙක්‌ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු ශ්‍රවණාගාරයේදී පැවති විද්වත් හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

13 වැනි ව්‍යවස්‌ථාව තුළින් පොලිස්‌, ඉඩම් බලතල පමණක්‌ නොව උතුර නැගෙනහිර එකතු කිරීමේ හැකියාව ඇති වගන්ති, තමන්ටම නීති නිර්මාණය කර ගැනීමේ හැකියාව පළාත් සභාවලට හිමිවෙනවා. මෙය ඉතා භයානක තත්ත්වයක්‌. රට දෙකඩ වීමේ ආරම්භය එයින්ම හටගන්නවා.

උතුරට පමණක්‌ නොව අනෙකුත් පළාත් සභාවලටත් පොලිස්‌ බලතල දීම එතරම් සුදුසු වන්නේ නෑ. පොලිස්‌ නිලධාරියකුට වුවද අපරාධකාරයකු අල්ලා ගැනීමට වෙනත් පළාත් සභාවල සිට තවත් පළාත් සභාවකට ඇතුළුවීමේදී ගැටලු රාශියකට මුහුණදෙන්න සිදුවෙනවා. ඔවුනට නිල ඇඳුම් ගලවා සිවිල් ඇඳුමින් පළාත් ඇමැතිවරයාගේ අවසරය ලබාගැනීමට සිදුවෙනවා. මෙම ව්‍යවස්‌ථාවේ වගන්තිවල ඇති ආකාරයට අනාගතයේදී බෙදුම්වාදීන්ට හිතෛෂී රජයක්‌ පිහිටුවා ගතහොත් ඔවුන්ගේම අග්‍රවිනිශ්චයකාරයකු පත් කරවා සුප්‍රීම් උසාවියකින් තීරණය දුන්නොත් ඉඩම්, පොලිස්‌, පළාත් සභා බලය පමණක්‌ නොව උතුරු නැගෙනහිර එකතු කිරීමේ හැකියාවත් මේ තුළින් තිබෙනවා. තවත් වසර කිහිපයකින් මේ අවස්‌ථාව ඇතිවීමට ඉඩ තිබෙනවා. එවැනි තත්ත්වයක්‌ වළකාලන්න පුළුවන් වන්නේ මෙවැනි ව්‍යවස්‌ථා සංශෝධනයකින් පමණයි.

සමහරු කියයි මෙවැනි බලතල ඉවත් කිරීම දෙමළ ජනතාවට අහිතකරයි කියලා. දෙමළ ජනතාවට ප්‍රශ්න තියෙනවා. ඒ ඔවුන් වසර තිහක්‌ තිස්‌සේ ත්‍රස්‌තවාදීන්ගේ ග්‍රහණයට හසුව ජීවත්වීමට සිදු වූ නිසයි.

දහතුන ක්‍රියාත්මක කිරීමෙන් සිදුවන්නේ උතුරේ දේශපාලකයන්ට බලය ලබාදීමක්‌. මෙයින් පළාත් ප්‍රධාන ඇමැතිවරයාට සහ ඔවුන්ගේ ගෝලයන්ට මුදල් හම්බු කරන්න, වෙනත් වෙනත් දේවලට හැකියාව ලැබෙනවා.

පොදුරාජ්‍ය මණ්‌ඩල රැස්‌වීම පැවැත්වීම අපිට වාසියක්‌ වෙයි කියල හිතන්න එපා. මෙහිදී යුරෝපා රටවලින් විශාල මාධ්‍යවේදීන් පිරිසක්‌ එනවා. මෙහිsදී වෙනත් බලවේග ඔවුන්ගේ පණිවිඩ මොවුන් හරහා ගෙනයාවි. කවුරු මොනවා කිව්වත් අප කළ යුත්තේ අපේ අනාගතයට අවශ්‍ය කරන අයුරින් ක්‍රියා කිරීමයි.

දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ නායක ගුණදාස අමරසේකර මහතා, මේ ව්‍යවස්‌ථාව තමයි මේ රට බෙදා වෙන්කර ඊළම පිහිටුවීමේ මූලික පියවර. මෙයින් දෙමළ ජාතිවාදීන්ට ජයග්‍රහණය හිමිවෙනවා .මේ ව්‍යවස්‌ථාවට ඉඩ දුන්නොත් රටේත් ජාතියේත් අවසානය පමණක්‌ නොව මේ රජයෙත් අවසානයයි. අප මේ පිළිබඳව විශාල ජනමතයක්‌ ඇතිකළ යුතු වෙනවා. විමල් වීරවංශ මහතාගේ ව්‍යාපාරය මේ පණිවුඩය ඈත ගම්මානවලට පවා ගෙනගොස්‌ තිබෙනවා. මහානායක ස්‌වාමීන් වහන්සේලාටත් විශාල වශයෙන් වගකීමක්‌ තියෙනවා. වහාම ඉදිරියට ඇවිත් තම කාර්යභාරය ඉටුකරන්න කියල ඉල්ලා සිටිනවා. මේ ව්‍යවස්‌ථාව මුළු රටම ප්‍රතික්‍ෂේප කරන දෙයක්‌. ඇල්ලේ ගුණවංශ හිමියෝ ද මෙම විද්වත් හමුවේදී අදහස්‌ ප්‍රකාශ කළහ.

මෙම විද්වත් හමුවට බෙංගමුවේ නාලක හිමි, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය විමල් වීරවංශ, අමාත්‍ය පාඨලී චම්පික, නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන යන මැති ඇමැතිවරුන් ද මහාචාර්ය කාලෝ ෙµdන්සේකා ඇතුළු විද්වතුන්, කලාකරුවන් විශාල පිරිසක්‌ සහභාගි වූහ.

ධම්මික සල්වතුර
http://www.divaina.com/2013/06/22/news23.html

0 comments: