Pages

Wednesday, July 3, 2013

රටේ සැම දෙනා සිංහල බෞද්ධ සංස්‌කෘතියේ සෙවණ ලබනවා - අටමස්‌ථානාධිපති හිමි

මෙරට කවර ජාතියක්‌ වුවද සිංහල බෞද්ධ සංස්‌කෘතිය නම් වූ සුවිසල් වනස්‌පතියේ සෙවණ ලබන අය බව අප නිවැරැදිව වටහාගත යුතු යෑයි අනුරාධපුර අටමස්‌ථානාධිපති උතුර මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියෝ පොසොන් පොහෝ දින පණිවුඩයක්‌ නිකුත් කරමින් කියා සිටිති.

එම පණිවුඩය මෙසේය. 

මහින්දාගමනය සිදුවී මේ පොසොන් පුන් පොහෝ දිනයට වසර 2250 ක්‌ සපිරේ. සැබෑ අර්ථය නම්, එවකට මේ රටේ ඉපදී තිබූ සිංහල සංස්‌කෘතිය, සිංහල බෞද්ධ සංස්‌කෘතිය බවට පත්වී සියවස්‌ විසිදෙකහමාරක්‌ සම්පූර්ණ වන බවයි. මෙරට ජීවත්වන කවර ජාතියක්‌ වුවද සිංහල බෞද්ධ සංස්‌කෘතිය නම් වූ සුවිසල් වනස්‌පතියේ සෙවණ ලබන අය බව අප නිවැරැදිව වටහා ගත යුතුවේ. ලෝකයේ කවර සංස්‌කෘතියක්‌ හෝ තවත් සංස්‌කෘතියකට වඩා උසස්‌ හෝ පහත් හෝ නොවේ. එහෙත් ලෝකයේ අප්‍රමාණ සංස්‌කෘතීන් අතර සිංහල බෞද්ධ සංස්‌කෘතිය මෙසේ අසමසම වන්නේ ඇයි?

මේ බව වටහා ගැනීමට නම් සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි අන්තර්ගත වී ඇති අනන්‍යතා ලක්‍ෂණ මොනවාදැයි අපි වටහා ගත යුතු වෙමු. සමානාත්මතාව, අහිංසාව, අල්පේච්ඡතාව, විචාරශීලී බව යන චතුර් අංග එකී අනන්‍යතා ලක්‍ෂණ අතර ඉහළින්ම දැකගත හැකිවේ. 

සිංහලයෝ කිසි විටෙකත් තමන්ම පමණක්‌ ශ්‍රේෂ්ඨය යන මානයෙන් හිස උදුමා ගත්තෝ නොවෙති. සියලු සම්පත් තමාට පමණක්‌ හිමි විය යුතුය යන ආත්මාර්ථකාමයෙන් පිරීගියෝ නොවෙති. සිංහලයෝ කිසිවිටෙකත් හිංසාවාදී නොවෙති. කිසිවකු හෝ හිංසාවට හා පීඩාවට පත් කිරීම අනුමත නොකරති. මිනිසාට පමණක්‌ නොව සතුන්ට පවා ඉමහත් කරුණාවෙන් හා මෛත්‍රියෙන් සලකති. සිංහලයෝ අසීමාන්තික කාමසුකල්ලිකානු ජීවිතය අර්ථවත්ව පිළිකෙව් කරති. ඔවුහු සෑම විටකදීම ජීවිතයට දරාගත නොහැකි තරම් විශාල බලාපොරොත්තු ඇති කර ගැනීම දුකට මුල බව වටහා ගත්තෝ වෙති. එහෙයින් ජීවත් වීමට තරම් වූ බලාපොරොත්තු ඇතිව සරල වූ අල්පවූත් සම්පත්තිවලින් තෘප්තිමත් ජීවිත ගත කරති. සිංහලයෝ කිසිවිටෙකත් අවිචාරශීලීව කිසිවක්‌ නොපිළිගනිති. අන්ධ භක්‌තිය ප්‍රතිෂේප කරති. යම් ප්‍රශ්නයක්‌ දෙස සියලු පැතිවලින් එය විචාරශීලීව විමසා බලා නිවැරැදි තීරණ ගනිති.

මේ සියල්ල සිංහල බෞද්ධ සංස්‌කෘතියට ලැබුණේ නිර්මල බුදු දහමෙනි. මෙම අංග සිංහලයාගේ ජීවිතවලට බද්ධ වීමෙන් ඔවුන් ලබා ගත් ශ්‍රේෂ්ඨතම ඵලය වූයේ සංතුෂ්ටිමත් පුද්ගලයකු බිහිවීමයි. වර්තමානයේ අපට නැත්තේ ද මෙකී සන්තුෂ්ටිමත් පුද්ගලයා බව පෙනේ. ලෝකයේ අනෙකුත් සියලු සංස්‌කෘතීන්ට නැති පරිදි මේතරම් ශ්‍රේෂ්ඨ තත්ත්වයකට පත්ව සිටි ශ්‍රී ලාංකික ජාතියට අද අත් වී ඇති මේ විපතට හේතුව කුමක්‌ද? එය වූ කලී සිංහල බෞද්ධ සංස්‌කෘතියෙන් උපන් සාරධර්ම අප වෙතින් ගිලිහී යැමයි.

මේ උත්තම ගුණාංග අපෙන් ගිලිහී යැම ඇරඹුණේ ශ්‍රී ලංකාද්වීපය බටහිර විදේශාධිපත්‍යයට නතුවීමත් සමගිනි. ඔවුහු මත්පැන්වල සිට සියලුම දුරාචාර අපට පුරුදු කළහ. බුදු දහමෙන් අපේ ජීවිතවලට හුරුවූ නිදහස්‌ නිවහල් චින්තනය මොට කිරීමට කටයුතු කළහ. සියවස්‌ පහක යටත් විජිත බැම්මෙන් අප නිදහස ලැබූවද තවමත් ඒ මානසික වහල් බවෙන් ශ්‍රී ලාංකිකයා නිදහස්‌ වී තිබේද? මේ පොසොන් පොහෝ දිනය ඒ සත්‍යය යළි යළිත් විචාරශීලීව විමසා නිවැරැදි මාර්ගයට පිවිසීමට ස්‌වර්ණමය අවස්‌ථාවකි. 

ඔබ සැමට ජයසිරි මහ බෝ සමිඳු සරණයි!

http://www.divaina.com/2013/06/22/news09.html

0 comments: